29 March 2018

ෆිල්ම් බලද්දී තිර නොපෙනීම


මීට වසර දෙකකට පමණ පෙර මියගිය මිතුරෙක් මීට වසර 30කට පමණ පෙර යථාර්ථය සහ මායාව ගැන මෙහෙම දෙයක් කිව්වා: 'ෆිල්ම් හෝල් එකේ ඉද්දි අපට ෆිල්ම් එක පෙනෙනවා ඒත් කාටවත් තිරය පෙනෙන්නේ නැහැ.  හරියට පොත්තයි පෙත්තයි වගේ. මතුපිට ලස්සනයි, ඇතුලත කැතයි. කැත වහන්න පොත්තක් අවශ්‍යයි. ලස්සන පොත්තක් නම් වඩා හොඳයි.

කයිවාරුව ෆිල්ම් එකක්, කෙරුවාව තිරයක්.  මේකප් කියන්නේ ෆිල්ම් එකක්, ඒක යට තියෙන හම තිරයක්. ප්‍රතිපත්ති ප්‍රකාශන ෆිල්ම්, කරන නොකරන දේ තිර.  ඇඩ් එක ෆිල්ම් එකක්, ඇඩ් එකෙන් විකුණන දේ තිරයක්.  

හැම මතුපිටක්ම බොරුවක් නෙවෙයි. ඒත් බොහෝ අවස්ථාවලදී 'මතුපිට' කියන්නේ රැවටිල්ලක්. හරියට දේශපාලන නිරවද්‍යතාවය වගේ. වචන සෙට් එක හරි. අහන කෙනෙක් ට වැරැද්දක් ඇහෙන්නේ නැහැ.  නොකියන දේ කාටවත් ඇහෙන්නේ නෑ.  

මේකේ දරුණුම ස්වභාවය තමයි මතුපිට විතරක් තියෙන බව විශ්වාස කිරීම.  පොත්ත නඩත්තු කරන එක ගොඩ කාලයක් කරන කොට පෙනෙන්නේම පොතු.  ඇහෙන දකින දේ එලෙසම බාර ගන්නවා. 'ටීවී එකේ පෙන්නුවා නේ, රේඩියෝ එකේ කිව්වනේ' වගේ දේවල් කියමින් විශ්වාසය තහවුරු කර ගන්නවා.  

මුලින්ම සහ පහසුවෙන් ම රැවටෙන්නේ ඇහැ. ඊට පස්සේ කණ. මේව අල්ල ගත්තට පස්සේ හිත පාලනය කරන්න පහසුයි.  අහවලා කිව්වා, අර පොතේ තිබුන, රේඩියෝවෙන් කිව්වා ඇහුන, රූපවාහිනියේ දැක්ක වගේ 'තහවුරු කිරීම්' කොතරම් අහල තියෙනවා ද!  ඒ සියලු දේ ගත්තහම් ෆිල්ම් මොනවාද තිර මොනවාද කියල කල්පනා කරනවද? 

'මූලාශ්‍ර' කියන්නේ (ඇතැම් අවස්තාවලදී) ෆිල්ම්.  මූලාශ්‍රය තීරයක්ද ෆිල්ම් එකක් ද කියල විමසන්න උවමනාවක් නැති සංස්කෘතියක් අපට තියෙන්නේ. ඉතින් ශාස්ත්‍රීය පෙනුමක් තිබුනත් බොහෝ 'ශාස්ත්‍රීය' කෘති තිර නෙවෙයි, ෆිල්ම්.  

වෙන විදිහකට කිව්වොත් ඇඳීම සහ ඇඳගැනීම. පහසු මාවතේ යෑම. වාරණය වගේම ස්වයංවාරණය. අඩුම තරමින් ෆිල්ම් එකක් බලල ඒ ගැන යම් අදහසක් කියනවා වෙනුවට වෙන කව්රුහරි ඒ ෆිල්ම් එක ගැන කියපු දෙයක් තමන්ගේම විශ්ලේෂණයක් වගේ කීම. 

හැම තැනම ෆිල්ම්. තිර ඇත්තෙම නැති තරම්.  නැහැ...තිර නැත්තේ නෑ...තිර පෙනෙන්නේ නැහැ. තිර කම්මැලියි, ෆිල්ම් විනෝදජනකයි, ලාබ-බාල ෆිල්ම් පවා තිර වලට වඩා 'රහයි'.  

ඒ වුනාට සමහර ෆිල්ම් තියෙනවා රූප රාමු හරහා සියලු ඇඩ් විනිවිදින්න අපට කියල දෙන. තිරය වෙතටම අපව කැඳවන. තිරයම පෙන්නන. ඇඩ් තියෙනවා භාණ්ඩය, සේවාව නැත්තම් සන්නාමය අප මනසේ ස්ථාපිත කරන අතරම අපට අපවම පෙන්වන. කැඩපත් තියෙනවා සියලු කඩතොළු සමග අපට අපව පෙන්වන. පොත්ත වෙනුවට පෙත්ත පෙන්නන. මේකප් මකල දාන. තිරයම යෝජනා කරන.     

අඩි හප්පනකොට තිරය මැකෙනවා, ෆිල්ම් එක මතු වෙනවා. සුවඳ විලවුන් තවරනකොට ෆිල්ම් පෙනෙන්න පටන්ගන්නවා, තිරය නොපෙනෙන්න පටන්ගන්නවා. ඒ වුනාට සමහර අවස්ථා වලදී හීන වලින් ඇහැරවන්න අඩි හප්පන්න ඕන, නැත්තම් සැර ඕඩිකොලෝන් එකක් ඉහින්න ඕන.  

මෙහෙමත් වෙනවා. 'තිරය මෙයයි' කියමින් ෆිල්ම් පෙන්නනවා.  විමුක්තිය මෙයයි කියල වහල්කම් අලෙවි කරනවා. යතාර්ථය මෙයයි කියල මායාව වපුරනවා.  චේ ගුවේරා විකුණන විදිහට, උදාහරණයක් හැටියට.  

වෙලාවකට සාපේක්ෂතාවාදවල අතරමං කරනවා අපව: 'උඹ කොහොමද කියන්නේ ඔය කියන දේ තිරය කියල?' නැත්තම් 'මේක ෆිල්ම් එකක් කියල උඹනේ කියන්නේ....මට නම් මේක තිරයම තමයි.'

ෆිල්ම් තියෙනවා. තිරත් තියෙනවා. ඒවා හදන්නේ අපි. ඒවා දකින්නෙත් අපි. අපට තෙරුවන් සරණයි. 

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි
Reactions:

0 comments: