17 April 2018

දුක අදේශපාලනික ද?

'අනේ පව්'.  දුක හිතෙන දේවල් ගැන අහද්දී, කියවද්දී ඉබේටම වගේ කියවෙන වචන දෙකක්.  ඒ එක්කම අදාළ අයගේ දුක නිවන්න නොයෙකුත් යෝජනා ඉදිරිපත් වෙනවා.  පුංචි උදාහරණයක් ගමු.

මීට සති  කිහිපයකට කලින් උතුරු පළාත්සභාවේ මහ ඇමති සී.වී. විග්නේස්වරන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට දුක හිතෙන කතාවක් ගැන ලියුමක් ලියල තිබුනා.  මරණයක් ගැන. අවසන් ගමන් ගිහින් තිබුනේ යෝගරානී. යෝගරානී ගේ සැමියා සචිතානන්දම් ආනන්ද සුදාකරන්. එයාල  කුඩා දරුවෝ දෙන්නෙක් එක්ක ජීවත් වෙලා හිටියේ කිලිනොච්චි යේ. 

මරණය හැමෝටම පොදුයි. අඩු වයසේ මැරෙන අය බොහෝයි. ඒත් මෙතන විශේෂයක් තිබුනා. සචිතානන්දම් සිරකරුවෙක්. බිරිඳගේ මළගෙදරට සහභාගී වෙන්න එයාට ලැබුනේ පැය තුනයි.  සෑයට ගිනි තියන අවස්ථාවේ සචිතානන්දම්ට බන්ධනාගාර වෑන් රථයට නගින්න සිද්ද වුනා. අම්මාඅහිමි වුන චූටි දුව දුව ගෙන ගිහින් බන්ධනාගාර වෑන් එකට ගොඩ වුනේ තාත්ත එක්ක යන තැනකට යන්න වෙන්න ඕන.  විග්නේස්වරන් මහත්තයා කියන විදිහට බලාගෙන හිටපු පොලීස් නිලධාරීන්ගේ ඇස් වලට පවා කඳුළු ඉනුවලු.

විග්නේස්වරන් ලිපියේ මෙහෙම සඳහන් කරනවා: 'මේ සිරකරුවා ගැන විස්තර මම දන්නේ නැත.  ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබුණු අයෙක් කියල (සමහරු) කියනවා.  මේ අසරණ දරුවන්ගේ වයස් ගැන කල්පනා කොට මානවවාදී පදනම මත ඔහුට සමාව දී නිදහස් කරනු  මැනවි.'

දුක හිතුනෙ විග්නේස්වරන්ට විතරක් නෙවෙයි. සචිතානන්දම් නිදහස් කල යුතුයි කිව්වේ විග්නේස්වරන් විතරක් නෙවෙයි. 'අනේ පව්' කිව්වේ විග්නේස්වරන් විතරක් නෙවෙයි.  මුහුණු පොතේ ඇති තරම් ලයික් වැටුණු ෂෙයාර් වුන කතාවක් මේක. 

කතාව මෙතනින් නවත්තමු දැනට.  වෙන කතාවකට යමු.

සිද්ධිය වුනේ 88-89 භීෂණ සමයේ.  දිවයිනේ විවිධ ස්ථාන වල වධකාගාර සහ නීති විරෝධී රැඳවුම් කඳවුරු තිබුණ කාලයක් එය. 'ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය' කියන සංවිධානයේ සාමාජික කම්කරුවෙක් ඉන් එක කඳවුරක රඳවා සිටියා. විවිධ පහරදීම් වලට ලක් වුන මේ සිරකරුවාගේ ඇඟ පුරා තුවාල. සමහර තුවාල වල පණුවෝ. ඔහු සමග එකම කුටියක සිටිය අනෙක් සිරකරුව ඊට අවුරුදු 3 කට පමණ පසුව මෙහෙම කිව්වා.

'ඒ මනුස්සයා ට අවුරුදු 3 ක දුවක් හිටිය. තුවාල වල වේදනාව නිසා නැත්තම් අසරණ කම නිසා මනුස්සයාට පිස්සු හැදිලයි හිටියේ. චූටි දුව මතක් කරලා මනුස්සයා නිතර නිතර කෙඳිරි ගෑවා. නිතරම කිව්වේ "චූටි දූ තාත්තට ජෝ ටිකක් දෙන්න" කියලයි. පස්සේ ඒ මනුස්සයා මලා."

කතාව අහගෙන හිටිය සමහර අය 'අනේ පව්' කියල කිව්වා.  ඒ මනුස්සයාගේ නම කව්රුවත් දන්නේ නෑ. දුවගේ නම දන්නෙත් නෑ. ඒ කාලේ 'අනේ පව්' කියල 'අනේ මානවවාදය අවදි කරලා ඒ මනුස්සයා නිදහස් කරන්න' කියල ඉල්ලන්න කෙනෙක් හිටියෙත් නෑ.

අහන්න සූදානම් නම්, හොයල කියන්න ඔය වගේ කතා දහස් ගනනක් ඇති. හැම සිරකරුවටම වගේ ඥාතීන් ඉන්නවා. චූටි දුවල නැත්තම් ආදරණීය අම්මලා තාත්තලා ඉන්නවා, එයාල ගැන දුක් වෙන. එයාලගේ කතා අහද්දී 'අනේ පව්' කියවෙයි කියල හිතෙනවා මට.

නීතිය සාධාරණ නෑ, ඇත්ත. යුක්තිය විසඳෙන්නේ බල ව්‍යුහයන් තුල. හොරු, මිනීමරුවෝ එළියේ.  ඇතුලේ ඉන්න අය අතරේ අහිංසක මිනිස්සුත් ඇති. නීතිය, යුක්තිය සමතල නෑ. මේ හැම දෙයක් ම අපි දන්නේ නැතුව නෙවෙයි. සචිතානන්දම් සමහරවිට අහිංසක වෙන්න පුළුවන්. අහිංසක නොවෙන්නත් පුළුවන්.

සචිතානන්දම්ගේ දුව ගැන දුක හිතෙන එක සාධාරණයි.  'අනේ පව්' කියල සචිතානන්දම්ව නිදහස් කරන්න කියල ඉල්ලන එක තුල 'මනුස්සකමක්' නැත්තේ නෑ. ඒවා හොඳ දේවල්. ඒ වුනාට 'අනේ පව්' ඉල්ලීම ඉෂ්ට කලොත් ඒ පූර්වාදර්ශය මත දිවයිනේ ඇති බන්ධනාගාර වල ඉන්න බහුතරයක් සිරකරුවන් නිදහස් කරන්න වෙන එක ගැන හිතන්න සූදානමක් පෙනෙන්නේ නෑ. විග්නේස්වරන් මහත්තයා හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවෙක්. එතුමටවත් මෙතන තියෙන අවුල පෙනිලා නෑ වගේ. එක්කෝ දැකලා නොදැක්කා වගේ ඉන්නවා වෙන්න පුළුවන්.

'අනේ පව්' කියන වචන දෙක තුල, ඒ වචන කියන ස්වරය තුල ශිෂ්ටත්වයක් තියෙනවා.  'දුව ගැන හිතල තාත්තව නිදහස් කරන්න' කියනකොට කියන කෙනා ගැන පැහැදීමකුත් ඇති වෙන්න පුළුවන්.  මේ කතා සමග අනිවාර්යයෙන්ම බැඳෙන 'නීති එපා, සිරකුටි එපා, බන්ධනාගාර එපා, යුක්තිය එපා' කියන කතාව කව්රුවත් කියන්නේ නෑ.  එතන පොඩි අවුලක් තියෙනවා. මිනීමරුවා මනුස්සයෙක්. මිනීමරුවන්ට දරුවෝ ඉන්න පුළුවන්, අර සචිතානන්දම්ට වගේ. එයාලගේ දුවල ගැන හිතල මිනීමරුවෝ නීතියේ රැහැනට ගන්න එපා කියල කව්රුවත් යෝජනා කරන්නේ නෑ.

'අනේ පව්'.  සුන්දරයි. තෙතමනයක් සහිතයි.  අසම්පූර්ණයි. මට හිතෙන්නේ එහෙමයි. 

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'     
Reactions:

0 comments: