12 January 2015

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වෙත

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමනි (අති ගරු),

අත්දැකීම් බහුල, පරිනත දේශපාලනඥයෙකු පමණක් නොව මැතිවරණයේ ඔබ විසින් පරදවන ලද ප්‍රතිවාදියාගේ ප්‍රධානහිතවතෙක් ලෙස වසර ගණනාවක් කටයුතු කළ කෙනෙකු ලෙසද ඉදිරියේ ඔබ හමුව ඇති අභියෝග තේරුම් ගැනීමටත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමටත් ඔබ ඉතා සුදුසු යැයි සිතමි.

ජනාධිපති ධූරය කරා ආ ගමන දුෂ්කර විය.  එහෙත් ඔබ ට ගමන් කිරීමට සිදුවූයේ  තනිවම නොවේ.  අද කලන මිතුරා හෙට පරම සතුරා විය හැකි බව ඔබ නොදන්නවා විය නොහැක.  ඒ කෙසේ වෙතත් ඔබ එරෙහි වූයේ ශක්තිමත් නායකයෙකුටය.  මේ රටේ ජනතාව ඉමහත් ලෙස ආදරය කළ කෙනෙකුට ය ඔබ එරෙහි වූයේ.  දේශපාලන සංස්කෘතිය මෙන්ම ආයතනික ව්‍යූහය ඔහුට අසීමිත වාසියක් ලබා දුන් තත්වයක් තුලය ඔබ මේ තරඟයට පිවිසුනේ.  ඔබ අවසානයේ ජයග්‍රහණය කළේය.

ඔබ ජයග්‍රහණය කළේ විවිධ දේශපාලන මත නියෝජනය කරන විවිධ දේශපාලන  පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින් ඔබ සමග ගමන් ගත බැවිනි.  මැතිවරණ වේදිකාවෙන් වේදිකාවට නොනවත්වා ගමන් කොට, හොඳටම තෙහෙට්ටුවී මොහොතක් විවේක ගන්නා විටද ඔබගේ අනුගාමිකයින් ඡන්ද ව්‍යාපාරයේ දිගටම නිරත විය.  ඔබ හොඳින් දන්නා පරිදි ඉන් බොහෝ දෙනෙක් පෙර දවසක මෙලෙසම ඔබගේ ප්‍රතිවාදියා වෙනුවෙන් ද වෙහෙස මහන්සි වූවෝ වෙති.  සැලූන් දොර වල් ඔබ දැකල ඇති බව මට විශ්වාසයි.  විශ්වාසය නරකම දෙයක් නොවේ.  මද පමණින්.

අද දින ඔබ වෙනුවෙන් බොහෝ ප්‍රශස්ති ගී නිර්මාණය වෙමින් පවතී.  හෙට ත් එසේම වේවි.  විවේචන ගැනද කිව යුත්තේ එය මයි.  සද්භාවය සහ වෛරය විසින් ඒවා උත්පාදනය වනු ඇත.  ආදරයද ක්‍රෝදයද අමතක කොට විවේචන වල හරය පමණක් ඉතුරු කරගන්නා මෙන් ඉල්ලමි.  විවේචනය ඔබගේ කල්‍යාන මිතුරා කරගන්නැයි යෝජනා කරමි.

දින සියයක වැඩ පිළිවෙලක් ඔබ ඉදිරිපත් කොට ඇත.  පටන් ගත්  එනමුත්  අවසන් නොකළ වැඩ සටහන් ද ඇත.  ඉතින් මුලින්ම ඔබගේ දීර්ග පොරොන්දු පිලිබඳ ජනතා විශ්වාසය තහවුරු කරනු වස් එම අසම්පූර්ණ කටයුතු වෙත ද ඔබගේ අවධානය යොමු කලේ නම් මැනවි.

හදිස්සියේ, හිතා ගත නොහැකි ලෙස 'අතුරුදහන්' වුන ඖශධ පනත පිලිබඳ මතකය අවදි කළ මැනවි.  දුම්කොළ සමාගම් වලට එරෙහි සටන අවසන් නොවන බවද ඔබට මතක් කළ යුතුය.

මෛත්‍රිය පොරොන්දු වීමෙන් ඔබ ඔබවම එක්තරා රාමුවක් තුල සිරගත කරගෙන ඇත.  ඔබ අතින් වැරදීම් සිද්ද වනු ඇත.  ආපස්සට යන්නට වන අවස්ථාද තිබෙනු ඇත.  මෙය පහසු කාර්යයක් නොවන බව දන්නා අප විසින් නැවත නැවතත් එවන් අවස්ථාවන්හි ඔබට සමාව දෙනු ඇත.  ඒ ඔබ නිවැරදි දිශාවක් ඔස්සේ ගමන් ගන්නා තෙක් පමණි.

ඔබට තෙරුවන් සරණයි.