24 January 2015

'රනිල් ගේ මොහොත' සහ එහි දිග-පළල

මීට මාස දෙකකට පමණ පෙර රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන තීන්දුවක් ගන්නට සිදුවුණි.  එනම් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නොවනවාද යන්නයි.  මීට වසර 5 කට පෙර, එනම් 2009 අග භාගයේදී ද මෙවන් තීන්දුවක් ගැනීමට ඔහුට සිදු විය.  එවර මහින්ද රාජපක්ෂ ව පරාජය කිරීමට මොන ජගතෙකුට වත් හැකියාවක් තිබුනේ නැති බව වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවා පවසා ඇත (ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව).  ඉතින් රනිල් වික්‍රමසිංහ කළේ රාහු කාලය ගෙවා ගැනීම වස් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා බිල්ලට දීම යැයි කෙනෙකුට තර්ක කළ හැක.  මෙවර දේශපාලන වාතාවරණය  ඊට වඩා වෙනස් විය.  

පහුගිය වසර සතර තුළ සිදු වූ නොයෙකුත් අක්‍රමිකතා ඇතුළු බොහෝ කරුණු හේතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට 2010 ට වඩා වැඩි අවකාශයක් රනිල් ට තිබිණ.  ඒ කෙසේ වෙතත් රනිල් තරඟ කළේ නම් මහින්ද ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ ඊට වඩා වැඩි බව පොදු පිළිගැනීමයි.  රනිල් තරඟ නොකළේද මේ නිසා විය යුතුයි.  එබැවින් ඔහුට යම් අවදානමක් සහිත තීරණයක් ගන්නට සිදුවිය.  රනිල්ට තමන්ට වඩා සුදුසු අපේක්ෂකයෙකු ට සහයෝගය දිය යුතුව තිබිණ.  ඒ මෛත්‍රිපාල සිරිසේනයි.  

ඉහත සියල්ල 'අද' තත්වයට පෙරවදනකි.  මෛත්‍රිපාල සිරිසේන දැන් ජනාධිපති ලෙස වැඩි ඡන්දයෙන් පත් වී ඇත.  ඔහු සතු පළමු කාර්යය වූයේ ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමයි.  ඔහුට පක්ෂයක් තිබුනේ නැත.  පාර්ලිමේන්තුවේ එජාප යට පිටින් තිබූ සහයෝගය අල්ප විය.  සහයෝගය දැක්වූ අයද දේශපාලන යෝධයෝ නොවූහ. ජාතික හෙළ උරුමයේ චම්පික රණවක සහ පූජ්‍ය අතුරෙලියේ රතන හිමි ඔවුනට සාපේක්ෂව දේශපාලන පෞරුෂ ගොඩ නගා තිබුන ද සංඛ්‍යාත්මක වශයෙන් පාර්ලිමේන්තුව තුළ ඔවුනගේ ශක්තිය ඉතා කුඩා විණ.   එම මොහොතේ මෛත්‍රිපාල සැබවින්ම එජාප යේ ප්‍රාණ ඇප කරුවෙක් විය.  එජාපය සමග ගිවිසගත් ලෙස රනිල් අගමැති විය.  පාර්ලිමේන්තු අංක ගණිතය තුළ ඔවුනගේ ශක්තිය ඉතා කුඩා විණ අසරණ වූ මෛත්‍රීට 'එජාපයින්' බහුල ඇමති මණ්ඩලයක් පත් කිරීමටද සිදු විය.  

මැතිවරණ වේදිකාවේ චම්පික පල කළ අනාවැකි සැබෑ කරමින් සිදු වීමට නියමිත සියල්ල සිදු විය.  පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප යේ සියල්ල මෛත්‍රී ට සහයෝගය පල කළ අතර පක්ෂයේ සභාපතිකමද ඔහුට පැවරූහ .  එසැනින් පාර්ලිමේන්තු සමීකරණය වෙනස් විය.  සංඛ්‍යා බලය මෛත්‍රිපාල සතු විය.  රනිල් එක අතකින් මෛත්‍රිපාල ප්‍රමුඛ ශ්‍රීලනිප යේ ප්‍රාණ ඇප කරුවෙකු වූයේය.  2004 දී චන්ද්‍රිකා  කළාක් මෙන් ඇමති කම් උදුරාගනීමේ බලය ද ඔහු සතුව ඇත. පවතින තත්වය තුල එම බලය පාවිච්චි නොකරනු ඇත, නමුත් එය වෙනම කාරණයකි.  එජාප යේ බොහෝ අය මේ වනවිට එජාප ය රටේ බලය අල්ල ගත්තා යැයි සිතා උද්දාමයට පත් වූ බවක් පෙනේ.  එනමුත් එම පක්ෂයේ දේශපාලනය පිළිබඳව පරිණත අවබෝධයක් ඇති අය අනතුරේ ප්‍රමාණය හොඳින් දන්නවා විය යුතුයි. විශේෂයෙන්ම රනිල්!

රනිල් කළ යුත්තේ කුමක් ද?  කෙනෙකුට එසේ ඇසිය හැකිය. එහෙත් වඩා නිවැරදි පැනය වන්නේ  'රනිල් ට  කළ හැක්කේ කුමක් ද?' යන්නයි. ඔහු තම පක්ෂය ගැන සිතිය යුතුය. පශ්චාත් ප්‍රතිසංස්කරණ තත්වයක් තුල පවත්වන මහා මැතිවරණයක දී ශ්‍රීලනිප යට වාසි සහගත වීමේ ප්‍රවනතාවයක් ඇත.  'කාටවත් ඉවර කරන්න බැරි වුන යුද්ධය මගේ ධූර කාලය තුල අවසන් කළා' කියා මහින්ද කියූ සේම, 'මගේ නායකත්වය යටතේ කාටවත් වෙනස්කරන්න බැරි වුන ව්‍යවස්ථාව මම බලයට පත් වී මාස තුනක් ඇතුලත වෙනස් කෙරුණා' යයි මෛත්‍රී ට කිව හැක.  මහා මැතිවරණයක දී ආකර්ශනීය සටන් පාඨ තෝරා ගැනීමට හැකි වන්නේ ඔහුට ය.  රනිල් මේ ගැන සිතිය යුතුය.  

මීළඟ මාස තුන ඇමති මණ්ඩලය හරහා පක්ෂයේ ජන පදනම පුළුල් කිරීම ට උත්සහ කළ හැක. මේ සඳහා රාජපක්ෂ රෙජීමයේ අක්‍රමිකතා විභාග කිරීමටත් ඒවාට වගකිවයුත්තන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කළ හැක.  මින් බහුතරයක් දැනට පාර්ලිමේන්තු වේ සිටින ශ්‍රීලනිප යේ මන්ත්‍රීවරුන්ය (මෛත්‍රීපාලට සිය පක්ෂපාතිත්වය ප්‍රකාශ කර ඇති). එවන් 'සුද්ද කිරීමක' දේශපාලන වාසිය බැලු බැල්මට එජාපය ට හිමි වූවත්, සුද්ද කිරීම තමන්ගේ පක්ෂයෙන්ම ආරම්භ කළා යැයි කියා මෛත්‍රීපාල ට ද එහි හිමිකම හෝ ඉන් කොටසක් තමන් සතු කර ගත හැක.  ඔවුන් වෙනුවට පිරිසිදු චරිත ඡන්දයකට ඉදිරිපත් කළ හැකිය.  කැළැල් මකා ගැනීමට ඔහුට අපහසු නොවනු ඇත, මන්ද නිකැළැල් පක්ෂ නොමැති බැවිනි.  සියල්ල තීන්දු වන්නේ සටන් පාඨ, ක්‍රියාමාර්ග, අපේක්ෂකයින් යනාදිය විෂයන්හි ඥානාන්විත තෝරාගැනීම් මත ය. එහිදී වැඩි වාසිය (මෙම මොහොතේ) මෛත්‍රීපාලට ය.  රනිල් ට සහ එජාප ය ට ජයග්‍රහණය කළ නොහැකි යැයි මින් අදහස් නොවේ.  ඒ නමුත් තමා නැවතත් විපක්ෂ නායකයා වීමේ අනතුරක් ඇති බව රනිල් නොදන්නවා විය නොහැක.  

එසේ නම් ඔහු මේ මොහොතේ කල්පනා කළ යුතු තවත් කාරණයක් වේ -- මෙම 'අන්තර්' කාලය තුල වැඩි බරක් යෙදවිය යුත්තේ කුමක් සඳහාද යන්නයි.  මෛත්‍රිපාල ජනාධිපතිවරණය ට (ප්‍රායෝගිකව) ඉදිරිපත් කළේ රනිල් ය.  ඔහු ගේ 'අවසරය' නොමැති තත්වයක් තුල මෛත්‍රිපාල තරඟ නොකරනු ඇත.  මෛත්‍රිපාල ව ඉදිරිපත් කළ මොහොතේ පවා රනිල් ට උපරිම වශයෙන් ලැබෙන්නේ සැනසිලි තෑග්ගක් බව ඔහු අනිවාර්යයෙන්ම දන සිටි බව පැහැදිලිය.  'මීළඟට කුමක්ද?' යන පැනයට පැහැදිලි පිළිතුරක් නොමැති තත්වයක් තුල, මහා මැතිවරණයේ ජයග්‍රහණය සාක්ෂාත් කිරීම වස් එම අපැහැදිලි කාරණා පසෙක තබා වැදගත්, කළ හැකි කාරණා වෙත අවධානය යොමු කල යුතුය.  තමා දේශපාලනාඥයෙකු නොව රාජතාන්ත්‍රිකයෙකු බව ඔප්පු  කළ යුතු වේ.  පහු ගිය දශක කිහිපය තුල ජයග්‍රහණය කල නායකයින් ට වඩා යමක් 'පරාජිතයෙකු' වූවත් 'පරාජිතයෙකු' ලෙසත් තමන් කළ බව ට සටහනක් ඉතිරි කිරීමට එවිට ඔහුට හැකි වනු ඇත.  

විනිවිදභාවය සහ වගවීම උත්පාදනය කල හැකි ප්‍රායෝගික, කාර්යක්ෂම ආයතනික ව්‍යුහයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල පුරවැසියා ට සැබෑ වටිනාකමක් ලබා දෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ දැවන්ත කර්තව්‍ය ට පූර්ණ බුද්ධිමය දායකත්වයක් ඔහු ගෙන් අවශ්‍ය වී තිබේ.  ඔහු ගේ විරුද්ධවාදීන් සටන් විරාම ගිවිසුම ගැන ද, එජාප ජනාධිපතිවරු දෙදෙනෙක් ගේ අධාර්මික සහ මුග්ධ  ක්‍රියාකලාපයනට ඔහු ඍජුව හෝ වක්‍රව දායක වීම ගැනද දොස් නගනු නොඅනුමානය.  2015 වසරේ ශ්‍රී ලාංකේය දේශපාලන කරලියේ සංකීර්ණ ප්‍රජාතන්ත්‍රකරණ ක්‍රියාදාමයක නිරත වන රනිල් වික්‍රමසිංහ 2001-2004 වකවානුවේ 'සටන් විරාම රනිල්' නොවන බව ඔප්පු කිරීම ඔහු සතු කාර්යයකි.  එනම් ඔහු තමන්ට සහ පක්ෂයට පෙර රට ගැන සිතන එදාට වඩා පරිණත, ජාතිකවාදී, ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රිකයෙකු බව ක්‍රියාවෙන් පෙන්විය යුතු ය.  




7 comments:

Mayya said...

රනිල් ප්‍රජාත්‍රන්තවාදි රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයෙක් බව කීමට අපගේ දිව මැලි නොවුනත් රනිල්ගේම ක්‍රියාවන් එය තහවුරු කල යුතුය. මාලින්දගේ ප්‍රධාන තර්කයද එයම වේ.

නමුත් හරීන් ප්‍රජත්‍රන්ත විරෝධී ලෙස ඌවේ බලය ඇල්ලීමේදී රනිල් ගේ නිහඩතාවය ඔහුගේ ප්‍රජත්‍රන්තවාදී රාජ්‍ය ත්‍රාන්ත්‍රිකත්වයට නොගැලපෙන බව කිව යුතුය

හරීන් ඔයා හරිද?

Chandima Gomes said...

This is a really good analysis of the situation. "How good Ranil will understand the situation" is a question that will be answered by time.

Malinda Words said...

ඌවේ 'බලය ඇල්ලීම' ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා මම නම් හිතන්නේ නැහැ. මහා ඇමති වන්නේ සභාවේ බහුතර කැමැත්ත සතු කෙනා නේ.

Malinda Words said...

ඌවේ 'බලය ඇල්ලීම' ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා මම නම් හිතන්නේ නැහැ. මහා ඇමති වන්නේ සභාවේ බහුතර කැමැත්ත සතු කෙනා නේ.

Mayya said...

@ malinda

That is an answer of a politician and necessarily not of a statesman...


hope u read my blog post

aaa said...

මම ඔබව කියවමින් සිටිය ,,,,,, ලිවීමේදී ඔබගේ බුද්දිමය බාවිතය විශ්ලෂණයන් විශ්වසනීය මට්ටමක පැවතුනා ,,, නමුත් ඔබගේ රනිල් පිළිබඳව කියවීම සහ ඔහුගෙන් බලාපොරොතු වන දෙය පුදුම සහගත බාවයක් පෙනෙනවා ,,, රනිල් ගැන මේ දියාරු කියවීම රාජකීය මානසිකත්වයද ,,, නැතිනම් වෙන මොනවා විදියට අපි තේරුම් ගන්ඩද ,,,

Malinda Words said...

Check date of the article