03 April 2015

තිරය විවර වූයේ පරිපූර්ණ බොහීමියානුවාගේ නික්ම යෑමට යි


පසන් කොඩිකාරගේ දේහය ආදාහනය වී හමාරයි. පසුගිය අඟහරුවාදා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ පසන් සැතපී සිටියේ හීන් සිනහවක් සමගයි. ඒ සිනාව සමච්චලයක් වගේ. අවට සිදු වන යෑම් ඊම් පිළිබඳව අහිංසක විනෝදයකින් සිටියා වගේ. සිනාසෙන්නද ඔහු සමග? නැත්නම් තැවෙන්නද ඔහු සමඟ? එසේ නැත්නම් එක්ව යන්නද ඔහු සමඟ? කිසිවක් තෝරාගන්න බැරුව බොහෝ දෙනා අපහසුතාවට පත් වී සිටියා වගෙයි.

පසන් ගැන කතා බොහෝයි. මෙය ඉන් එකක් පමණයි. මෙය මීට වසර විස්සකට පෙර සිදුවූවක්. පසන් ඔහුගේ මිතුරන් කිහිප දෙනකු සමග පුංචි බොරැල්‍ලේ උදය රාජපක්ෂගේ ගෙදර රැයක් ගත කරමින් සිටියා. ඔවුන් පැය ගණනක් විවිධ දේ සාකච්ඡා කරන්න ඇති. සෑහෙන බොන්නත් ඇති. පහුවදා ඇහැරුණත් ඔවුන් වැතිරගත් පැදුරුවලම සැතපී පෙරදින යම් මොහොතක නතර කළ තැනින් කතාව පටන්ගෙන නැතහොත් වෙනම මාතෘකාවක් තෝරාගෙන කතා කරමින් සිටියා. “දැන් නැගිට්ටොත් හොඳයි” කෙනෙක් යෝජනා කළා. “හ්ම්ම්... එහෙමවත් කරලා බලමු හරි යයිද කියලා” පසන් එසේ කීවා.  අසාගෙන සිටි අයටත් එකවර ග්‍රහණය කර ගන්න අපහසු ආකාරයට  දාර්ශනික දේවල් ඇඟට නොදැනී වගේ කියන කෙනෙක් පසන්.

කොහොමු වුණත් ඔහු දැන් නික්ම ගොසින්. බොහෝ හදවත් තුළ සාහිත්‍යමය සහ සාහිත්‍යමය නොවන බොහෝ මංමාවත් මත ඉතාම මෘදු පා සටහන් ඉතිරි කොට ඔහු නික්ම ගොසින්. ඒවා මකා දමන්නට අපහසු වන්නේ එතරම්ම මෘදු බැවින්.  කොතරම් මෘදුද කිවහොත් ඔහු මේ මොහොත මේ ස්ථානය පසුකර ගියේ දැයි අපට අපෙන්ම ප්‍රශ්න කරන්නට සිදුවෙලා.

දීප්ති කුමාර ගුණරත්න පවසන්නේ පසන්ගේ බිම ගැන කතා කරන, ඒ ගැන තැවුන අය ඔහු බිව්වේ ඇයි කියන ප්‍රශ්ණය අහන්නේ නැති බවයි. 

"ඔහු තුළ මූලධර්ම දෙකක් ක්‍රියාත්මක වෙනවා. සතුටු වීමේ මූලධර්මය සහ මරණ ආශය. මේ දෙක අතර සම්බන්ධය පසන්ට සාපේක්ෂව කතා කළ යුතුයි." 

මතට ඇති කැමැත්ත දැකිය යුත්තේ එක අතකට සැබෑව කෙරෙහි ලාලසාව ලෙසත් අනෙක් අතට මරණ ආශය ලෙසත් බව දීප්ති කීවා.

ජනක ඉනිමන්කඩ කීවේ පසන් මධුවිතට ලොල් වුවත් ඔහු බේබද්දෙකු නොවූ බවයි. පසන්ගේ සුමිතුරන් බොහෝ දෙනා මෙන්ම ජනකද පවසන්නේ පසන් අර්ථ දැක්විය නොහැකි කෙනෙක් බවයි. පුද්ගලයෙක් හැටියටත්, ‍ලේඛන චර්යාව ගත් විටත් කිසිම කෝවකට දාන්න බැරි කෙනෙක්. වෙනත් විදිහකට කිවහොත් අප දන්නා කිසිම කෝවකින් උත්පාදනය කළ ප්‍රතිඵලයක් නොවේ ඔහු.

"බොහෝ ‍ලේඛකයින් ආසයි තමන් වෙනස් කියලා හිතන්න. නැතහොත් දැක්විය නොහැකි යැයි හිතන්න. කියන්න. ඒත් අඩු වැඩි වශයෙන් සියලු දෙනාම අපට හඳුනාගත හැකි කුමන හෝ රාමුවක ස්ථානගත වෙලා. ඒත් පසන් වෙනස්. ඒ ජනකගේ මතයයි." 

මෙහිදී ජනක සිහි ගැන්වූයේ කේ. කේ. සමන් කුමාර නොහොත් සර්පයා පසන් ගැන තැබූ බ්ලොග් සටහනක්. (අපේ සනුහරේ යන්න අරන්)

“කොළඹදී මා දුටු විට පුංචි උන් හැංගෙති. එහෙත් දෙණියායේදී ඔහු දුටු විට ‍පොඩි උන් අම්මලා පිටිපස්සේ හැංගුණෝය. ඒ පසුපස යන ගමන් ඔහු මෙසේ කීවේය. 'මචං අපි මෙහෙට ‍පොඩ්ඩක් අවුට් වගේ නේද?' යළි මඳ විරාමයකින් 'කොහොමටත් අපි එහෙටත් අවුට්නේ' කීවේය." 

මේ අවුට් එක උපුල් ශාන්ත සන්නස්ගල දකින්නේ මෙලෙසයි.

“පසන් වැනි ප්‍රතිසංස්කෘතික චරිතවලට ශ්‍රී ලංකාවේ පවතින අසංකෘතික සමාජයේ සිටිය නොහැක. ඔහුගේ ඉතාම රූමත් රුසියානු පෙම්වතිය මීට වසර පහළොවකට පමණ පෙර ලංකාවට පැමිණියේ ඔහුව නැවත රුසියාවට ගෙන යාමටයි. එම අවස්ථාවේ මට ඔවුන් මුණ ගැහුණා. මම පසන්ගෙන් ඇහුවා “උඹ රුසියාවට ආයෙත් යනවද?” කියලා. “නෑ මචං. එහෙ මට හරියට සෙට් වෙන්නෙ නැහැ.” කියලා පසන් කිව්වා. “මෙහෙ?” මම එහෙම ඇහුවාම පසන් මෙහෙම කිව්වා. “මෙහෙත් මට සෙට් වෙන්නෙ නැහැ.”

සන්නස්ගල වැඩිදුරටත් මෙසේ පවසනවා. “ප්‍රතිසංස්කෘතික ජීවිතයක් ඇති මිනිසුන්ට ‘සෙට් වෙන’ තැන් ලෝකයේ අඩුය. ඔවුහු තැන තැන සැරිසරති. පසන් මිය ගොස් බොහෝ කල්ය."

ප්‍රසන්න  ජයකොඩිද මේ හා සමාන අදහසක් දරයි: "පසන්ගේ භෞතික ශරීරයයි මේ මිය ගොස් තියෙන්නේ. ඒත් මැරුණේ මීට බොහෝ කලකට පෙරයි. ජීවත් වුණේ පසන් ලියපු දේවල් විතරයි. ඒවා තවමත් ජීවත් වෙනවා."

ඇතැම් ත්‍රිරෝද රථ වල මෙසේ  ලියා තිබෙනවා: 'ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා?" ඉතින් පසන් ගැනත් හරියට තෝරා ගත නොහැකි මේ මොහොත ගැනත් මෙහෙම කිව හැකි යැයි සිතමි: "මොහොත ඔහුගේ නම්, ඔහු මොහොතේ නම්, අපට ඇයි මේ වේදනා?"  

පසන් මියගියාද ජීවතුන් අතරද, පසන් ඉන්නවනම් ඉන්නේ කොහෙද, හිටියා නම් හිටියේ කොහොද? මේ වගේ ප්‍රශ්න දැන් දැන් කට්ටිය අසන්නේ පසන් කව්ද කියලා තෝරගන්නද තමන් කව්ද කියලා තෝරගන්නද යන්න විමසිය යුතුයි.  පුද්ගලයින් හැටියට.  වැදගත් ම කාරණය වන්නේ පසන් ව ඔහුගේ 'විදිහෙන්' අවබෝධ කර ගන්න උත්සහා කිරීම අනවශ්‍ය බවයි.  පසන් කව්ද කියල පසන් ම ඉතාම ලස්සනට, ඉතාම සංක්‍ෂිප්තව පැහැදිලි කර ඇත. ඒ ඔහුගේ අනිත්‍යය' කාව්‍ය සංග්‍රහයේ.  ජීවිතය ද මරණය ද එවන් වදන් වල සීමාවන් ද පසන් පැහැදිලි කොට ඇත.  

නන්දන වීරරත්නට අනුව පසන් යනු ඔහුට මුණගැසුණු සර්ව සම්පූර්ණ බොහීමියානුවායි. මොහොත තුළ මොහොත සඳහා ජීවත් වූවෙකි පසන්. පෙරක්, පසුවක් ඔහුට තිබුණේ නැහැ. කිසිම දෙයක්, කිසිම කෙනෙක් මායිම් නොකරන සරල ජීවිත භාවිතයක් ඔහුට තිබුණේ. දේවල් වැලඳ නොගත් පසන්ට දේවල් අතහරින්න අපහසු වුණේ නෑ. ඔහු ලුහුබැන්දේ ඔහු විශ්වාස කළ දේ පමණයි. “එම මොහොතේදී ලෙස එය සංශෝධනය කළ යුතුයි. ඔහු ඔහු වීමටයි බිය වුණේ. කිසිම දෙයකට සමාව ඉල්ලන්න අවශ්‍යතාවක් ඔහුට තිබුණේ නෑ. වරහන් සහිත වදන් නොමැති භාවිතයකි ඔහුට තිබුණේ.

පසන් කිසිම දෙයක් පසුපස හඹා නොගියත් පසන් පසුපස ණයකරුවෝ ලුහුබැන්දා. සැබැවින්ම ඔවුන් දරුණු ණයකාරයෝ. ඔවුන් ඔහු පරිවර්තන කාර්යයට තල්ලු කළ අයයි. එනම් පරිවර්තනය කිරීමට ආසා කෘතිවලට නොව මුදල් ප්‍රශ්න විසඳා ගැනීම සඳහාම කිරීමට සිදුවූ පරිවර්තන වෙත ඔහු තල්ලු කළ අය. එම කෘතිවලට ඔහුගේ නම එකතු කිරීමට ඔහු තරයේ විරුද්ධ වුණා.

කෙසේ වෙතත් නන්දන, ජනක, ජගත් මාරසිංහ ඇතුළු බොහෝ දෙනා පවසන සේ රුසියානු කෘති සිංහලයට පෙරළුෑ විශිෂ්ටතම පරිවර්තකයෙක් පසන්. නන්දන එය විස්තර කළේ මෙසේයි. “බොහෝ පරිවර්තකයන් වෙන භාෂාවල කෘති සිංහලට පෙරළුවේ ඉංග්‍රීසි කෙක්කකින්. ඒත් පසන් රුසියානුවෙක් තරමටම රුසියාවත්, රුසියන් භාෂාවත්, සාහිත්‍යයත් හඳුනාගෙනයි හිටියේ. ඒ නිසාම ඔහුගේ පරිවර්තන සියල්ලම විශිෂ්ටයි.”

පසන් ගැන නන්දන මෙන්ම ජගත්ද ජනකද සඳහන් කරන්නේ ඔහු මොන තරම් ලිව්වත් ඔහුගේ සැබෑ වුවමනාව වූයේ වේදිකාව කියායි. ඒත් පසන් නිතරම කිව්වේ ඔහුට ඒකට නාට්‍ය කරන්න ලංකාවේ නළු නිළියෝ නැති බවයි. මේ හැම දෙනාටම පසන් පවසා ඇත්තේ එයයි. නන්දන තර්ක කරන්නේ කවුරු හරි යාළුවෙක් සමග හෝ යාළුවන් සමග කොහේ හරි වැටිලා අරක මේක ගැන කතා කළ පසන් ඇහුම්කන් දුන් අවස්ථා මතක් කරද්දී ඒවා සැබැවින්ම නාට්‍ය වන බවයි. ඒත් පසන් කාලයට ගැළපුණේ නෑ. එසේ නැත්නම් කාලය ඔහුට ගැළපුණේ නෑ. එසේත් නැත්නම් ඔහුගේ ගැලපීම් නොගැලපීම් තෝරා ගන්න අපට නොහැකි වී ඇත. කෙසේ වෙතත් අපට පසන්ගේ අල්පයයි විඳින්න හැකි වුණේ.

අවසානයේ මේ සියලු දෙනාම අපේ අවධානය යොමු කරන ඒ ‘මෙහොත’ හිමි වුණේ පසන්ටයි. එය කුමක් වුවත් කොහේ තිබුණත් එහි සිටියේ පසන්මයි. සර්පයා හමු වූ අවසාන අවස්ථාව පසන්ට මෙලෙස කරුණු පැහැදිලි කළ හැකි වූයේද ඒ නිසාම විය යුතුයි. ‘අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බ වෙමු.’ 

ඉතින් අප සැවොම බොරැල්‍ලේ ජයරත්න මල් ශාලාවට ගියෙමු. ඒ ගියේ පසන්ට ‘අවසන් ගෞරවය දන්වන්නට’ද, නැත්නම් පසන් පිළිබඳ මතක අවදි කර ගන්නටද, එසේ නැත්නම් හඬන්නටද සිනාසීමට ද කියා හරියටම දන්නා අය දන්නවා ඇති. නොදන්නවුන් ද ඒ අතර ඉන්න ඇති. පසන්ව දන්නා අය නැති තරම්. නොඑසේ නම් පසන් ඉන්නවාද කියා සැබැවින්ම දැනගෙන සිටිය අය නැති තරම්. ඒත් මල්ශාලාවට පැමිණි කෙනෙකුට මෙහෙමද හිතෙත්න ඇතැයි සිතමි: "පසන්ව නොදන්නා කෙනෙක් නැහැ නේද?" එය මල් ශාලාවකි. ඒත් රවීන්ද්‍ර විජේවර්ධන සඳහන් කළ පරිදි එය මළ ගෙදරකි. ඔහු අවධාරණය කළේ ගෙදරයි. මුළු ගමම පැමිණ සිටි මළ ගෙදරයි.

පසන් කිසිදා ජීවත් නොවුණා විය හැකියි. එය එසේ නම් මෙයද සත්‍යයක්. ඔහු කිසිදා මිය ගියේද නැහැ. ඒ නිසාම විය යුතුයි මේ මොහොත, මේ නික්ම යෑම අපට තෝරාගැනීමට අපහසු. මොහොත යන්න හොඳින් වටහා ගත්තෙක් ඔහු . මොහොත අපට නුහුරු දෙයක්. නැතහොත් සොයාගත නොහැකි දෙයක්. ඇතැම් විට පසන් සිටි මොහොත අපට කිසිදා හමු නොවනු ඇති. ඔව්, පසන් ‘අවුට්’(OUT) ලෙසයි ජීවත් වුණේ. මරණයේදී ඔහු ‘ඉන්’ (IN) වුණා. අපද එක්තරා ආකාරයට ‘ඉන්’ වෙනවා. ඒත් අපි මොන තරම් ‘අවුට්’ ද කියලා සිතෙන්නේ මේ මොහොතේයි.


[මාර්තු 31 දා 'රිවිර' පුවත් පතේ 'කලස' අතිරේකයේ මෙම ලිපිය පල කරන ලදී ]

0 comments: