බොහෝ අය ඔහුව හැඳින ගත්තේ දක්ෂ පරිවර්තකයෙකු ලෙසයි. එබැවින් ම ඔහු ගේ වචන හරඹය මැනෙනු ඇත්තේ වෙනත් ලේඛකයින් රචනා කළ වියමන් කෙතරම් සාර්ථකව එම ලේඛකයින්ට නුහුරු බස් හුරුවූ පාඨක සමාජයකට දායාද කලේද යන්නෙනි. ඒ කෙසේ වෙතත් ඔහුගේ සාහිත්‍යකරණය මෙන්ම ඔහුගේ චර්යා රටාවන් හේතු කොට ගෙනද පසන් කොඩිකාර සැමරුම් වනු ඇත. ඔහු ඔහුටම සීමා වූ සුවිශේෂ වූ ප්‍රවර්ගයකි.
පසන් ගේ භෞතික ශරීරය අප අතර දැන් පවතින්නේ ඡායා රූපයක්, මතකයක් ලෙස පමණි. එම නික්ම යාම ට අනතුරුව මේ 'අමුතු' මිනිසා පිළිබඳව බොහෝ දේ ලියවුනි. මොහොත තුල පමණක් ජීවත් වූ පරිපූර්ණ බොහෙමියානුවෙක් ලෙස ඔහුව කෙනෙක් විස්තර කලේ ය. ඇතැම් අය පැවසුවේ ඔහු මිය ගොස් බොහෝ කල් ගතව ඇති බවයි. එනම් ඔහු ජීවත් වුයේ (සහ ජීවත් වන්නේ) ඔහු කුරුටු ගෑ අකුරු අතරේ යන්නයි. මේ සමාජ සංස්කෘතික දේශපාලන භූමියේ ඔහු ඉතිරි කර ගිය සටහන් දකින්නට, එකතු කර ගැනීමට සහ කියවීමට ඔහුගේ සහෘදයින් අවංක උත්සහායක යෙදුනී. ඒ ඔහු කල දේ සහ කල සැටි හරහා ය, විශේෂයෙන්ම කල සැටිය එම කියවීම් තුල ප්‍රධාන විය.
එක් අතකට ඔහුව කියවන්න උත්සහා කල අයගේ කාර්යය ඔහුම පහසු කල බව ඔවුන් නොදැනගෙන සිටීම භාග්‍යයකි, මන්ද මෙම කොහේටවත් 'සෙට්' නොවන එනමුත් බොහෝ දෙනා 'අපේම' කරගත් මිනිසා කොතැනක හෝ 'සෙට්' කිරීමට උත්සහා කිරීම ම සුන්දර වූ අභ්‍යාසයක් බැවිනි. පසන් ව කෙසේ හෝ 'සෙට්' කිරීමට මහන්සි වූ යමෙක් සිටී නම් ඔහු හෝ ඇය තමන්ගේ 'සෙට්-නොවන කම' යම් ප්‍රමාණයක ට හෝ පසක් කරගනු නො අනුමානය. පසන් ට නම් ඒ අ-නිශ්චිත කම ඔහු දන්නා ඔහුට හුරු තත්ත්වයක් විය. කාලයේ ඒක රේඛීයත්වයෙන් කොටු වූ අන් අය, නැති 'සෙට් වීමක' නැති අභිමාන භුක්ති විඳින්නෝ වෙති.
ඉතින් පසන් ගේ කවි පාඨක සමාජයට අභියෝග කරති: තමන් පිළිගත් සත්‍යයන් නැවත සලකා බැලීමට ද, දැඩි ව වැළඳගත් සමීකරණයන්හි අසම්පූර්ණකම් දැක ඒවා නිවැරදි කරගැනීමට ද ඔවුනට සිදුවේ.
'අනිත්‍යය' නම් වූ පසන්ගේ ප්‍රථම සහ එකම කවි එකතුව ඔහු 'පැදි වියමන්’ලෙස විස්තර කර ඇත. එම කෘතිය පිට වුයේ 2008 වසරේ දී ය. පසන් තමන්ගේ 'මොහොත තුල ජීවත් වන' ස්වභාවය එම කෘතියේ පිටු අතරේ ඉතා සරල ලෙස එනම් 'ඇඟට නොදනී' නැතහොත් 'කොහේටවත් සෙට් නොවී' එසේත් නැතහොත් 'සෙට් නොවුනත් මොකෝ' යැයි කියන්නාක් සේ ප්‍රකාශ කර යි. එම කෘතිය තුල වෙසෙන පසන් කොඩිකාර ම ය ඊට පෙරත් ඉන් පසුවත් අප අතර මියගියාක් මෙන් විසුවේ, විසීම නොදැනෙන සේ නොදන්වන සේ සරන්නේ නික්ම යන්නේ.
ප්‍රකාශයේ දරිද්‍රතාවය පිලිබඳ අවංක සහ තීව්ර අවබෝධයක් ඔහුට තිබුනා නිසැකය. ඕනෑම තැනකින් ඕනෑම කතාවකින් ඕනෑම මොහොතක ඉවත් වන්නට ඔහුට හැකි වුනේ මේ නිසා විය යුතුයි.
ඇසින් ඇසට වැදෙන ඉඟිය
සිතෙන් සිතට කිඳෙන හැඟුම
තොලින් තොලට දැනෙන රසය
කටින් කණට කියනු කෙලෙස!
මේ ලොව මායාවන් ගෙන් සමන්විත බව ඔහු හොඳාකාරව දැන සිටි සේය. ඒ පිලිබඳව ඔහු ගේ කියවීම සියුම් ය. ප්‍රබලය. ඔහුගේ ඉදිරිපත් කිරීම කාව්‍යමය ය.
මායා නමැති කැඩපත ඉදිරියෙහි සිට
දුටුවෙමි සත්‍යයේ අපමණ රූප නෙක
වැදුනා කැඩපතට පරිනත බවෙහි ගල
එහි සුන්බුන්වලට පිළිබිඹු මුසුව ඇත
තමන් ද මායාවක් වන බව පසක් කර ගැනීම (තර්කයෙන් පමණක් නොව භාවිතයෙන්ද) විශිෂ්ට වේ. ඉහත කවියෙන් පැහැදිලි වන්නේ 'තමා' යන්න විසංයෝජනය කිරීමෙන් ලත් ඵලයද මායා-කොටස් බවය, නැතහොත් මායාව ගුණ කිරීමේ ක්‍රියාවලියක් පමණක් බවය. දීප්ති කුමාර ගුණරත්න ට අනුව පසන් ගේ ජීවිත භාවිතය මූලධර්ම දෙකක් ක්‍රියාත්මක වුයේය. සතුටු වීමේ මූලධර්මය සහ මරණ ආශය. ඉහත කවිය විශිෂ්ඨ වන්නේ එය මේ මූලධර්ම දෙකම මුසු කොට තනා ඇති නිර්මාණයක් බැවිනි. එසේ නැතහොත් එය තුලින් මේ මූලධර්ම දෙකම පිළිඹිබු වන බැවිනි. දීප්ති නිවැරදි නම් ඔහු අපට පෙන් වා දී ඇත්තේ බොහෝ අයට හසු නොවූ ඒත් පසන් තමන් ගැන තමන්ට කල විවරණයකි.
එම කවියේම සඳහන් වන නොනැසෙන නැතහොත් නොනැසිය හැකි ස්වභාවය පිළිබඳ අදහස් පසන්ගේ වෙනත් කවි වලද දැකිය හැක. ඔහු 'හිස් බව' බොහෝ දෑ තුල දුටුවේය. මරණය තුලද කාලය යන්නෙහි ද ඔහු මේ හිස් බව දුටුවේය.
ලෝකයේ කතර මත
මිරිඟුවකි විනාශය
කාලයේ නිරන්තර
හිස් තැනකි අතීතය
පිපාසිත ජීවිතේ
තොල් අතර ගැටෙන මුත්
කිසිත් ඒ තුල නොමැත
හිස් ය මරණයේ බඳුන
මෙම කෘතිය මෙවන් අදහස් වලින් පිරී ඇත. පාඨකයාට දැනෙන්නේ පසන් ට වධ දුන් නැත්නම් පසන් නිතර නිතර නිරාකරණය කර ගැනීමට උත්සහා කල උභතෝකෝටිකය මෙය බවයි. ද්‍රව්‍යාත්මක වූද, ක්‍රියාදාමික වූද, සමාජමය වූද බොහෝ දේ නිරර්ථක ලෙස ඔහු ට පෙනුනේ එබැවින් බව අනුමානය කල හැක. පසන් කොඩිකාර යනු 'මේ දැන් හිටිය එත් දැන් නැහැ' ඝනයට අයත් වූ කෙනෙක් බව පැහැදිලි වේ. අනිත්‍යය ඔහු ඔහුගේ භාවිතයෙන්ම ප්‍රකාශ කළේය. භෞතිකව හෝ සාමාජීය ලෙස හෝ ඔහුට නේවාසික වන්නට තැනක් නැතුවා සේ ය.
ජීවිතය සඟලක් ය මිරිවැඩි
කාලයේ මඟ මත ගෙවී යන
කබල් වී ගැලවිලා යනු ඇත
ලෝකයේ පාවලින් ඉවතට
පසන් කොඩිකාර දිග හැරෙන්නට, ලෙහෙන්නට, බිඳෙන්නට, දියවන්නට පටන් ගත්තේ මීට බොහෝ කලක ට පෙරය. මෙය කණපිට පෙරලුවද නිවැරදි යැයි සිතේ. එනම්, පසන් කොඩිකාර සංයුක්ත වන්නට පටන් ගත්තේ මීට බොහෝ කලකට පෙරය. ලෝක යේ දිග පළල ද ජීවිතයේ ගැඹුරද තියුණු ලෙස නිරීක්ෂණය කල ද ඔහු ජීවිතයෙන් ද ලෝකයෙන් ද දික්කසාද වූවාක් මෙනි. ඇත්තටම ලෝකය සහ ජීවිතය ඔහුගෙන් දික්කසාද වූ බවද සත්‍යයකි.
අවසානයේ ඔහු මිය ගියේය. කවදාවත් ජීවත් නොවූ ඔහු මිය ගියේය. එත් මීට බොහෝ කලකට පෙර මිය ගිය ඔහු තවමත් ජීවමානය. පුදුමයක් වන්නේ කාටත් හොරා පසන් තමන් ගේ මරණය, එහි ස්වභාවය සහ ඔහුගේම මල ගම දුටු බවයි. එය ඔහු හැර දමා ගිය නොමළ බොහෝ දෙනෙකු ගේ මරණ ස්වභාවය ගැන ද සියුම් 'පසනාත්මක' කියවීමකි.
ජීවත් වෙන එක් මිනිසෙක්
බහාලූ පෙට්ටියක්
මළ මිනිසුන් හතර දෙනෙක්
ඔසවාගෙන යනු දුටුවෙමි
ඔහු අප හමුවේ ඉතිරි කර ගියේ 'ඔහු කවුද?' හෝ 'ඔහු කුමක් දුටුවේද?' යන ප්‍රශ්න ය. ඊටත් වඩා ඔහු අපට අස්සන්නට ඉතිරි කල යමක් ඇත: අප කවුරුන්ද, අප දකින්නේ කුමක්ද? 'අනිත්‍යය' නම් වූ මෙම කාව්‍ය සංග්‍රහය හරහා සදාකාලික යැයි සිතිය හැකි කවි බොහොමයක් අපට ඉතිරි කරමින් ය ඔහු නික්ම ගියේ, ඔහු අප අතර සිටින්නේ.
2 comments:
u quenched the curiosity of him in me......this is mesmerising....between life and death how many stops v experience...how many dyings v c among livings......and vise versa....thanx...nice touch....
Sthuuthi wewa!
Post a Comment