22 June 2015

පියවරු සහ පුත්තු (හෝ දියණියන්)


මගේ අම්මා සංසාරේ ඈ ගොනු කර ගත කර්ම ඵල වලට අනුකූල භාවයක් පතා අපෙන් සදහටම සමුගෙන දැනට පස් වසරකි.  ඈ අපෙන් සමුගත් දුක්බර මොහොතේ දී මාගේ මිතුරියක් මගෙන් මෙසේ ඇසුවාය: 'අම්මා ට ඔයා ගැන ආඩම්බරයක් තිබුනද?'

මා සිතන පරිදි සියලු දෙමාපියෝ තමන්ගේ දරුවන් පිළිබඳව ආඩම්බර වේ.  ඒ බව දරුවන්ට නොකිව්වද, ආඩම්බරයක් නොදැනෙන මවුපියන් අඩුය.  නොකියන්නේ දරුවන් හදා වඩා ගැනීම ජීවිතාන්තය දක්වා දිවෙන ක්‍රියා වලියක් බැවිනි.  දෙමාපියන් ට දරුවන් ගැන දැනෙන හැම දේම දනවන්නේ නැත්තේ ඉන් අනිසි ප්‍රයෝජන ගත හැකි බැවිනි.  එසේ වුවහොත් ඉන් පීඩා විඳින්නෙත් දරුවන්ම වන බැවිනි.  මෙය දකුණු ආසියාවේ පොදු සිරිතක් විය හැකිය.  ආදරය, දයාව නොපෙන්නනවා ම නොවේ.  විටෙක හිස අතගා එය පෙන්වති.  විටෙක සිනහවකින් ද විටෙක වදනකින් ද දැනෙන දේ දරුවන්ට දනවන්න දෙමාපියන් ප්‍රමාද වන්නේ නැත.  එත් එය එක ප්‍රමාණයකටය.  දරුවන් ගැන දෙමාපියන් වැඩිපුරම උදම් අනන්නේ දරුවන් නොමැති තැන හි ය.  අන් අයට ය.  දරුවන්ගේ සවන් වලට එවන් වදන් වැටෙනුයේ කලාතුරකිනි.

මාගේ මිතුරිය මෙසේද ඇසුවාය: 'මව්වරුන්ට මේ තරම් ලැදි ඇයි, මව්වරුන් ගැනම ලියවෙන්නේ ඇයි?'   නිහඬව නගන ප්‍රශ්නය මෙයයි: 'පියවරු නොසලකා හැරෙන්නේ ඇයි?'  එය පරණ යි.  එය ලස්සනටම අසා ඇත්තේ මාලිනි ජයරත්න ය.  ඇය අසන ඒ දුක්බර ප්‍රශ්නය වඩාත් දුක්බර වන්නේ එය ඇයගේ ජීවන මගේ සහකාරයා වන ටී. ඇම්. ජයරත්න ගේ මියුරු හඬින් ප්‍රකාශ වූ බැවිනි.  

'පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ...අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ?'

නිගමනය සඳහන් වන්නේ ගීතයේ මුල් කොටසෙහිය:  'පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි.'    

සත්‍යයකි.  පියවරු පිලිබඳ කව් ගී ඉතා අඩුය.  ඉතින් අප අපෙන් මෙසේ අසමු.  අපගේ පියවරු අපගේ ළමා වියේ, ගැටවර වියේ, වැඩිහිටි ලොවට පිවිසීමට සූදානම් වන අවදියන් හි අම්මාවරුන් තරම් අප අසල ගතින්, වදනින් සහ මනසින් නොසිටියේද?  සිටියත් නොසිටියා මෙන් දුරස්ථ බවක් පෙන්නුවේද ඔවුන්?  මම නොදනිමි.  සෑම පිය-පුතු සම්බන්ධයක් ම එම පියාට සහ පුතාට සුවිශේෂ වේ.  ඒ අනුව මටද මගේ පියා සමගත් මාගේ දරුවන් සමගත් ඇති සම්බන්ධය සුවිශේෂ වේ. 

මම දරුවන් හදා වඩා ගන්නා ආකාරය ගැන ඇතැම් අවස්ථාවලදී මගේ අප්පච්චී මට බැණ වැදී ඇත.  ඇතැම් අවස්ථා වලදී මම පෙරලා ඔහුගෙන් මෙසේ අසා ඇත: 'දරුවෝ හදන හැටි ගැන අප්පච්චි මොනවාද දන්නේ?  අපි පොඩි කාලේ අප්පච්චි අපිත් එක්ක ගෙදර හිටියේ මොනතරම් අඩුවෙන්ද!'  ඒ අවස්ථා ගැන අද සිතද්දී එවන් ප්‍රකාශ වලින් උත්පාදනය වූ නිහැඬියාව තුල ගැබ් වූ වේදනාව සියුම් ලෙස දැනේ.  මට ලැජ්ජාවක් මෙන් ම දුකක් ද දැනේ.  මොන තරම් අසත්පුරුශයෙක්ද කියා මම මගෙන් ප්‍රශ්න කරමි.  

අපගේ ළමා කාලයට අම්මාගේ ආලෝකය මෙන්ම හෙවනල්ලද වැටුනද අප්පච්චි ගේ ඇසුර සාපේක්ෂව අල්ප විය.  ළමා වියද තුරුණු වියද ගත වූ පසු මාගේ මිතුරෙක් 'ගැහැණු' සහ 'පිරිමි' අතර පවතින ප්‍රධාන වෙනසක් පවසද්දී ඔහු මාගේ අම්මා සහ අප්පච්චි විස්තර කරනවා යැයි සිතුනි. 

'අම්මලාට ළමයින්ගේ උපන් දින මතකයි.  ළමයින්ට එන්නත් විදින්න අවශ්‍ය  කවද්ද කොයි කාලේද කියලත් මතකයි.  පන්ති වලට ගෙනියන්නේ කවදද, කීයටද, ළමයින් වඩා කැමති පාට මොනවාද අකමැති කෑම වර්ග මොනවාද....මේවා සියල්ල අම්මලා දන්නවා.  එතකොට තාත්තලා? තාත්තලා ට ලාවට මතකයක් තියෙනවා අවුරුදු 15 ක කාලයක් තමන් ගේ ගෙදර කොට පුද්ගලයින් ජීවත් වුන බව.'


දැන් මම පියෙක් වෙමි. මාගේ පීතෘත්වය ගැන කල්පනා කරද්දී මාලිනි ජයරත්න මහත්මිය ඕනවට වඩා පරිත්‍යාගශීලී වුනා දැයි මට සිතේ.  'අම්මාවරුන් පමණ යි මතු බුදු වන්නේ,' යන නිගමනය අසාධාරණ නොවේ යැයි සිතේ.  මොන තරම් කැප වූවද මොන තරම් දායක වූව ද පියවරුන්ට කිසි සෙත් සිතාගන්නට වත් නොහැකි ආකාරයෙන් මව්වරු දරුවන් 'හදති'.    මට එසේ සිතේ.  ඇතැම් විට මම හොඳ පියෙක් නොවන නිසා විය හැකිය.  එත් මට එසේ සිතේ.  අමරදේව ශූරීන් ගේ 'තාත්තා වුනත්' ගීතයෙන් මතු කරන්නේ මෙම තත්වය විය යුතුයි.  

ඒ කෙසේ වෙතත් පියවරු ළමයින් අතර, ඔවුන්ගේ ළමා කාලය පුරා, ඔවුන් අසලම වෙසෙති.  'නිසි දේ' තෝරා ගැනීමට බොහෝ අවස්ථා වලදී අපොහොසත් වූවද ඔවුන් සිය දරුවන් අසලම රැඳී සිටිති.  බිය වෙති. දුක් වෙති. කාටවත් නොපෙනෙන්න කඳුළු සලති.  අප්පච්චි අපට තඩි බෑවේ ඉතා කලාතුරකිනි.  ඒ කාර්යය අම්මාට බාර වී තිබිණ.  අප්පච්චි එකම එක අවස්ථාවකදී කෝට්ටක් ගෙන මට පහර දුන් බව මතක ය.  එයද එකම එක කෝටු පහරකි.  අහල පහල සිටීම ම අප පාලනය කිරීමට ප්‍රමාණවත් විය  ඔහුට.   දැඩි නිහඬතාවයද ඔහු බොහෝ අවස්ථා වලදී උපයෝගී කරගත් අවියකි.  

පාඩම් ගැන, විභාග ගැන, ගෙදර වැඩ ගැන ඉතා අඩුවෙන් විමසු අප්පච්චි කෙසේ වෙතත් අවශ්‍ය යැයි සිතු ජීවිත දැනුම ඔහුට රිසි ආකාරයට අපට නොමසුරුව දුන්නේය.   ළදරු වයසේ සිට ළමා කාලය දක්වාද, ළමා විය සිට ගැටවර වයස හරහා වැඩිහිටි අවදියට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට පියමන් කරද්දී ඇතිවන සිත් කැළඹීම් අවම කලේ ඔහුටම ආවේනික වූ සියුම් ආකාරයකටය.  ඔහු මට දායාද කල දේ අතරින් ප්‍රධාන වූයේ චෙස් කක්‍රීඩාව ට සහ සාහිත්‍යය ට, ලිවීමට ඇති රුචියයි.  මාගේ ජීවිතය පුර මේ වා කලන මිතුරන් සේ මා අසලම ගැවසී ඇත.  
කෙනෙක් මැදි වියට ආ බව පසක් වන්නේ ඔහු කැඩපතින් බැලු කල ඔහුගේ පියාව පෙනෙන්නට පටන් ගත විට බව සමහරු පවසති.  මට තවම අප්පච්චි කැඩපතෙහි පෙනී නැත.  එත් මා තුල මම ඔහු දකිමි.  අන් අය ද එසේ මා තුල මගේ අප්පච්චි දැක ඇති බව පවසා ඇත.  අප්පච්චි ඉතා පහත් හඬින් කතා කරයි.  'අප්පච්චි ගේ වචන අප්පච්චි ගේ රැවුලේ පැටලිලා නවතිනවා,' යැයි අපි ඔහුට විහිළු කරන්නෙමු.  ඔහු කියන්නේ කුමක්ද කියා තෝරාගැනීමට කෙනෙකුට ඔහු අසල පුටුවක කෙලවරෙහිම හිඳ ගත යුතු වේ.  දැන් දැන් මා ගැනද එවැනිම කතා ඇසෙන්නට පටන් ගෙන ඇත.

මාගේ ළමා කාලයේ 'පීතෘත්වය' මා වෙත පැමිණි අවස්ථා දෙකක් සිහි වේ.  පළමුව නම් අප්පච්චි ඔහුගේ පියා සඳහා ලිවූ කවියකි. අප්පච්චි ලියා ඵල කල පළමු කවි එකතුවෙහි ('Twenty Five Poems' නොහොත් 'කවි විසි පහක්') 'පිදුම' ලෙස එම කවිය සැලකිය හැක.  එහි වූ කව් පෙළක් දෙකක් තවමත් මට මතක ය.

‘You kissed me much, last time we met’.  

'අවසන් මොහොතේ 
අප හමුවූ 
සිප ගත්තෙ හි ය
ඔබ මා නැවත නැවත ...' 

වසානය මෙසේ ලියවිණ:

'....but this, my first poor giving, which you shall not receive’.  

'මෙය පමණි....මාගේ පළමු වූද, දුප්පත් වූද දීම....ඔබට නොලැබෙන....'

 සීයා මිය ගියේ මා උපදින්න ට පෙරය.  එබැවින්ම මාගේ දෙවන 'පිය-කතාව' සීයා ගැනය.  එය ගීතයක් හා බැඳේ.  අප්පච්චි නිතර නිතර ගැයූ ගීයකි එය.

‘Oh my papa’ (මගේ අප්පච්චි) එඩී ෆිෂර් ගේ ජනප්රියම ගීතයකි.  

Oh, my papa, to me he was so wonderful
Oh, my papa, to me he was so good

හරිම අපූරුයි මගේ අප්පච්චි මට 
හරිම හොඳයි මගේ අප්පච්චි මට

Gone are the days when he could take me on his knee
And with a smile he'd change my tears to laughter

කාලය ගෙවී ගෙවී ඇත 
තුරුලට ගෙන ඔහු 
මතකයි ඔහු මගේ කඳුලු පිසදා 
සිනහවන් මැවූ සැටි
ගෙවුනු ඒ කාලේ 

Oh, my papa, so gentle, so adorable
Deep in my heart I miss him so today.

ඉතා මෘදුයි, ආදරණීයයි,  
මගේ අප්පච්චි 
මහදෙහි 
ඉතා ගැඹුරු පතුලෙහි 
ඔහු අද නොමැති බව ය 
සටහන් වන්නේ.

අප්පච්චි එඩී ෆිෂර් ගේ ගීතය තුලින් විස්තර කලේ ඔහුගේ පියා ද නැතහොත් තමන්වමද?  පියවරු එක්තරා ආකාරයකට ඉතාම අසරණ සත්ව විශේෂයක් නොවේද?  ඔවුනට ඔවුන්ගේ තරම නොතේරෙනවා නොවේද?  සැබවින්ම තමන්ගේ  කුදු බවම මෙනෙහි කරමින් තැවෙමින් නොවේද ඔවුන් දරුවන් හදා වඩා ගන්නා කාර්යයෙහි යෙදෙන්නේ?  

එත් පියවරු වන අප එසේ නොවිය යුතුය.  අප අපගේ අප්පච්චිලාට ආදරේ කරමු.  අපගේ දරුවන් අපට ආදරේ කරති.  මා මිතුරිය මා හමුවේ තැබූ පැනයට පිළිතුරක් සපයුවේද නැද්ද නොදනිමි.  එහෙත් දශක ගණනාවක් පුරා පැත්තකට දමා තිබු ප්‍රශ්නයකට දෙකකට පිළිතුරු ලැබුණි යැයි දැනේ.
Reactions:

8 comments:

මගේ කිචී said...


තාත්තගේ ගුණ වර්ණනා කරන්න වචන ගන්න මට සල්ලි නෑ. මාව මිනිහෙක් කරන්න තාත්තා ඒ සල්ලි සේරම වියදම් කරලා

swarna senanayaka said...

Dear Malinda I enjoy reading all your articles but this is a classic. I really want to share this with my children. For that could you be having an English translation of this ? If not could you please get it done for us ?

Malinda Seneviratne said...

http://malindawords.blogspot.com/2011/11/fathers-and-sons-or-daughters.html

rukmal gamage said...

Agreed Malinda.

hiran thilakaratne said...

"One can never be a decider for his father"

Fathers & sons - Ivan thurginev.

Note Book said...

අප්පච්චී
දිලෙන තරුමත නැගෙන සදවත
ලොවක අසිරිය මවනු ලැබුවද
සොමිගුණෙන් යුතු එසද අසිරිය
නිබද රුදුනේ අහස් කුස මත
අහස හැරවී ධවල පැහැයට
චමත්කාරය පොවයි සද වෙත
එහෙත් සදකට තිබෙන තැන නැත
කිසිම දවසක අහස් තලයට
ඔබ අහස විය තෙරක් නොපෙනෙන
දරා සිටිමින් පැවැත්මේ ඉඩ
එයින් මතුවී දිලෙන හැම විට
ඔබ තරම් තුටු අයෙක් සිටියෙද
කදුල දුටු කළ එය ඔබේ විය
මා ද ඔබ යැයි සිතෙන තරමට
අහස නැති වූ කලෙක දැනෙනා
හුදකලා බව විදින මොහොතක
පළමු කවියෙන් මම ම කී බස
බොරු කරන්නට දරන්නෙමි තැත
චරිත හේරත්
(මීට මාස තුනකට පෙර මිය ගිය මාගේ ආදරනීය පියාණන්ගේ වෙනුවෙනි)

Anonymous said...

සියල්ල යහපත්.නමුත් ඔබෙන් පිටවු වදන්වලට ඔබගේ පසු තැවීම නොසැහේ.සමාව ගන්න ඔහුගෙන්.ඔව්! මේ දැන්ම.නැතහොත් ජීවිත කාලය පුරාවට ඒ වදන්වල දෝංකරය ඔබට ඇසෙනු ඇත.එය තිව්‍රව දැනෙන්න පටන් ගන්න දිනයක් ද ඔබට උදාවනු ඇත.

ambika said...

This is a beautiful piece of writing. It reminded me of my father who only once raised his hand to slap me, but held back. You too are a wonderful father. I realized it during the very short time we talked.