23 June 2015

"මගේ කවියට අරමුණක්‌ නැහැ"



'Edges' ('එජස්' නොහොත් 'මායිම්') නම් කාව්‍ය සංග්‍රහය සඳහා 2013 වසරේ ග්‍රේෂන් සම්මානය ලැබීමෙන් අනතුරුව ලක්මාල් බෝගහවත්ත මා සමග කල සංවාදයක් 2014 ජූලි 3 දා 'ඉංග්‍රීසියෙන් සිංහල ආරක්‌ෂා කිරීම මගේ වෑයමයි' යන ශීර්ෂ පාඨය යටතේ දිවයින පුවත් පතෙහි පල විය.  එහි පිටපත පහත දැක්වෙ.

මාලින්ද සෙනෙවිරත්න ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ නියෑලෙන නිර්මාණකරුවෙකි. ඔහුගේ 'එජස්‌' කාව්‍ය සංග්‍රහය 2013 වසරේ ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලැබීය. දැනට 'ද නේෂන්' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් කටයුතු කරන ඔහු සමග 'වටමඬල' කළ සංවාදයේ සංක්‍ෂිප්තය පහතින් පළ වේ.

පස්‌වතාවක්‌ම ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වී අවසානයේදී ඔබ එය හිමිකර ගන්නවා. මේ සම්මානය ඔබේ නිර්මාණ ජීවිතයට කරන බලපෑම මොනවගේද?
2007 වසරේ සිට පසුගිය වසර දක්‌වාම ග්‍රේෂන් සම්මානය සඳහා මගේ නිර්මාණ යොමු කළා. ඉන් පස්‌වතාවක්‌ම මගේ නිර්මාණ අවසන් වටය නියෝජනය කළා. මුල් වතාවේ වගේ නොවෙයි, අවසානයේ මා සම්මානයට පාත්‍ර වෙද්දී ඒ පිළිබඳ මගේ තිබෙන උද්‍යෝගය ක්‍රමයෙන් අඩුවෙමින් තිබුණේ. ඒ බොහෝ විට මගේ නිර්මාණ අවසන් වටයට තේරුණ නිසා. මෙවරත් මගේ කෘතිය අවසන් වටයට තේරුණත් සම්මාන උළෙලට පවා සහභාගිවෙන්න මට අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. ඒ ඊට අගෞරවයක්‌ කිරීමේ අදහසින් නොවේ. එදා තිබුණු බන්දුල නානායක්‌කාරවසම් මහතාගේ මහගම සේකර උපහාර උළෙලට සහභාගිවූ නිසා.

ග්‍රේෂන් සම්මානයට කවි ඉදිරිපත් කිරීමෙන් මා ලැබූ වාසිය නම්, ඒ වසරට අදාළ මා නිර්මාණය කළ කවි එකතුකර ගැනීමට හැකිවීමයි. එහෙම නැතිනම් මා ළඟ එවැනි ගොනුවක්‌ නැහැ. මා අතින් ලියෑවී තිබෙන කවි ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්‌ හොයාගන්නත් නැහැ. සම්මානය ලැබුණට පසුව ලොකු සතුටක්‌ ඇතිවුණා. සම්මානයට පාත්‍ර වූ 'එජස්‌' කාව්‍ය සංග්‍රහය පසුගිය මාසයේ සුරස පොතක්‌ ලෙසින් පළවුණා. ඒ වගේම මම තීරණය කර තිබුණේ සම්මානය ලැබුණත් නැතත් මේ වසරින් පසුව ග්‍රේෂන් සම්මානයට ඉදිරිපත් වෙන්නේ නැති බව. ග්‍රේෂන් සම්මානය සහ මගේ සාහිත්‍ය ජීවිතය අතර තිබෙන සම්බන්ධය නතර කිරීමට මේ හොඳම අවස්‌ථාව බවයි, මට හිතුණේ.

ජාතික චින්තනය ඔස්‌සේ පෑන මෙහෙයවන ඔබ මෙරට සාහිත්‍ය සමාජය ඇමැතීමට තෝරාගන්නේ ඉංග්‍රීසි මාධ්‍යය. ඊට බලපෑ හේතු මොනවාද?
මා වැඩිපුරම කියවා තිබෙන්නෙත්, ලියන්නෙත් ඉංග්‍රීසියෙන්. අවුරුදු හතක්‌ පමණ ශාස්‌ත්‍රීය වැඩකටයුතු සමග මා ගතකළේ ඇමරිකාවේ. සමාජ විද්‍යාවයි මා ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගත්තේ. 2002 වසරේ 'දිවයින' පුවත්පතට ලියන්න පටන් ගත්තා හැරෙන්න සිංහලෙන් ලියූ කාලයක්‌ මට මතක නැහැ. අවුරුදු දහඅටක්‌ පමණ සිංහලෙන් ලිපි ලිව්වේ නැහැ. මගේ බොහෝ කවි ලියෑවුණේ 2000 වසරින් පසුවයි. මම වැඩිපුරම ලිවීමේ කටයුතු කළේ ඉංග්‍රීසියෙන්. ඒක තමයි ඔබ ඇසූ ප්‍රශ්නයට හේතුව. අනෙක අපේ සිංහලකම පාලි භාෂාව හරහා ආරක්‌ෂා කළා වගේ සිංහලකම ඉංග්‍රීසියෙන් ආරක්‌ෂා කරන්න බැරි නැහැ. මේ සියලුම දේවල් තුළ අපේ සංස්‌කෘතික අගයන්, කරුණු කාරණා ගැබ්වී තිබෙනවා. මේ සියලු කවිවල බෞද්ධ දර්ශනය ස්‌පර්ශ වී තිබෙනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ මගේ කියෑවීම සීමිත විය හැකියි. නමුත් ඒ සීමාව තුළ මගේ නිර්මාණ එය ස්‌පර්ශ කර තිබෙනවා.

අපේ බොහෝ නිර්මාණකරුවන් දේශීය මූලයන්ගෙන් ආභාසය ලැබුවත් ඒ බව පවසන්නට මැලිකමක්‌ දක්‌වනවා. නමුත් ඔබගේ නිර්මාණකරණයට බුද්ධ වචනය තරම් බලපෑ යමක්‌ නැති බව ඔබ පවසනවා...

මම දන්නේ නැහැ ඔවුන් හීනමානයකින් පෙළෙනවාද කියල. අපි අවුරුදු පන්සියයක යටත්විජිත බරක්‌ එක්‌ක හැදුණු පරම්පරාවක්‌. මම ද්විභාෂිකයි. ඒ නිසා මට ඉංග්‍රීසි ලොකු නැහැ. ඉංග්‍රීසි ලොකු නැති නිසා සිංහල පොඩිත් නැහැ. අනෙක මම බටහිර දැක තිබෙනවා. මෙහේ අය වන්දනාමාන කරන තැන්වල මම ඉඳල තිබෙනවා. විශ්වවිද්‍යාලය හෝ සමාජය හෝ වේවා ඒවායේ යටිපැත්ත මා දැක තිබෙනවා. මගේ මිත්‍රයෙක්‌ මගෙන් අහනවා 'ඔයා හාවඩ් එකට ගිහින් ගෙනාවේ මොනවද?' කියලා. මම කිව්වා කිසි දෙයක්‌ ගෙනාවේ නැහැ. පළමු වැනි කාරණය හාවඩ් එක මට ගේන්න ලොකු වැඩියි. අනෙක හාවඩ් එක මට පොඩි වැඩියි කියලා. ඞ එකේ දීප්ති මට කියනවා උඹ ඔය පත්තරයක ඉඳගෙන තවත් පත්තරකාරයෙක්‌ වෙනවා. අලුත් දැනුමක්‌ දීපන් කියල. මම ඇහුවා අලුත් දැනුම කියන්නෙ මොකක්‌ද කියලා. එවිට ඩෙරිඩා ගෙන් පටන් අරගෙන නම් වැලක්‌ කියාගෙන ගියා. මම කිව්වා මට ඒ ඔක්‌කොටම වැඩි බුදුහාමුදුරුවො ලොකුයි කියල.

බටහිරට වන්දනා මාන කර ඒවා පිළිගන්නා අය කියන හැමදේම බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙනවා. මොකක්‌දො ලෙඩක්‌ හින්දා ඔවුන්ට ඒක පේන්නේ නැහැ. සුද්දා කිව්වොත් ඒක බුද්ධාගමේ තිබෙන බව එවිට පිළිගනියි. ඒත් සුද්දව උස්‌සලා බුදුහාමුදුරුවෝ පාදසටහනකට දාලයි කියන්නේ. මම හිතන්නේ ඒක යටත්විsජිත මානසිකත්වය විය හැකියි. අද සමාජයේ ඉංග්‍රීසි භාෂාව හසුරුවන පුද්ගලයා තමයි උඩින් ඉන්නේ. පත්තර ගනිමු. ඇයි ඉංග්‍රීසි මාධ්‍යවේදීන්ට වැඩි පඩි ලැබෙන්නේ? ඒ හොඳ නිසා නොවේ. ඉල්ලුමට අනුව සැපයුම නැති නිසා. එතැනදි වුණත් අපට හිතෙන්නේ ඉංග්‍රීසි ලියන්න තිබුණානම් හොඳයි කියලා. ඒ අඩුවයි පෙනෙන්නේ. මම හිතනවා ඕක ලෙඩක්‌. නමුත් ඒ ලෙඩේ දරුණුයි. දරුණු ලෙඩෙන්, සංස්‌කෘතියෙන් ගොඩ එන්න, සළුවෙන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. අඩුම තරමේ එහෙම නැතිවුණත් සිංහල දේට ගරහා, පාගා, විවේචනය කර සළුවෙන්න ඕන. ඔය දෙකෙන් එකක්‌ තමයි තිබෙන්නේ. මම කියන්නේ නැහැ පාරිශුද්ධ වූ ඉතිහාසයක්‌ සිංහල අපට තිබෙන බව. මහ අසික්‌කිත වැඩ සිදුව තිබෙන රටක්‌ මේක. නමුත් ඒ හින්දා අපේ හොඳ දේවල් බැහැර කරන්න බැහැ. අනෙක්‌ ඒවාවල ඒවා සිදුවී නැද්ද? මෙහි පූජනීය දේවල් ටිකක්‌ තිබෙනවා. ඒවා දකින්න අපට ඇස්‌ නැත්නම් එය අඩුවක්‌. සමහර වෙලාවට ඇස්‌ තිබෙනවා. නමුත් ඇස්‌ වහගන්නවා. අද සිවිල් සමාජය කියාගෙන යන කොට්‌ඨාසයක්‌ සිටිනවා. ඔවුන් සිවිල් සමාජය යෑයි කියන්නේම ලෙඩක්‌ නිසා. ඒ අය සිතනවා එහෙම සිවිල් නොවුණොත් ගෝත්‍රිකයි කියල. සිවිල් සමාජය කියන ලේබල් එක ගැනීමත් සළුවීමක්‌.

ඔබගේ ප්‍රකාශනයට ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කිරීම නිසා ඉන් සිංහල පාඨක සමාජය ඇමැතීමට නොහැකි වීම ඔබේ නිර්මාණකරණයට අවාසියක්‌ නොවේද?
දවසට පැය විසිහතරක්‌ තිබෙනවා. මම ඒ පැය විසිහතරෙන් අඩුවෙන්ම කතා කරන්නේ ඉංග්‍රීසි. වැඩියෙන්ම කතාකරන්නේ සිංහල. ඉංග්‍රීසි පුවත්පතක මා සේවය කළාට ගුවන්විදුලි, රූපවාහිනි, පුවත්පත් ආදී ඕනෑම මාධ්‍යයක්‌ සමග මා ගනුදෙනු කරන්නේ සිංහලෙන්. ග්‍රේෂන් සම්මානය මට ලැබුණට පස්‌සේ සිංහල පුවත්පත් තමයි මාව හොයාගෙන ආවේ. ඒ නිසා මම හිතනවා සිංහල සමාජය සමග මගේ තිබෙන ගනුදෙනුවේ කිසිදු අඩුවක්‌ සිදුවී නැති බව.


නිර්මාණකරුවෙක්‌ තමන් දරන දේශපාලන මතවාදයන් තම ප්‍රකාශනය තුළින් එළිදැක්‌විය යුත්තේ කෙසේද?
පුද්ගලික දේශපාලන මතවාද තමන්ගේ ප්‍රකාශනයෙන් පැවැසීමට ගියොත් එම නිර්මාණය බාලවෙනවා. සටන් පාඨ ලියන්න නොවේ අපි කෙටිකතා, කවි ලියන්නේ. මතවාද ලියන්න නොවේ. නමුත් අපි නිර්මාණයක්‌ කරනවා නම්, අපේ මතයකුත් තිබෙනවා නම් ඒ මතය ඔලුවේ තිබෙනවා නම් එය ප්‍රකාශනය තුළ පිළිබිඹු විය හැකියි. නමුත් සෘජුවම නොවෙයි. උදාහරණයකට 'වානේ පන්නරය ලැබූ හැටි' ගත්තොත් එය දේශපාලන මතවාදයක්‌ කියන්න ලියූ කතාවක්‌. ෂොලොහොව් ගේ 'පෙරලූ නැවුම් පස' සහ 'දොන් නදිය නිසලව ගලා බසී' ගෙන බලමු. දොන් නදිය නිසලව ගලා බසී කියන එක තුළ දේශපාලන මතවාදයක්‌, කියෑවීමක්‌ තිබෙනවා. පෙරලූ නැවුම් පසෙත් තිබෙනවා. නමුත් පෙරලූ නැවුම් පස දේශපාලන මතවාදයක්‌ කියන්න තැනූ කතාවක්‌. මානව හැඟීම් හා සම්බන්ධතා ගැන ඉතා සියුම් ලෙස කතා කරන්නේ දොන් නදිය නිසලව ගලා බසී කෘතියයි. මතවාද තිබිය හැකියි. මගේ කවි තුළත් එය ඇති. නමුත් මා දකින්න කැමැති ලෝකය අනෙකුත් දේවලුත් ඒවා තුළ ගැබ්වී තිබෙනවා.

කාව්‍යකරණයට ඉංග්‍රීසි භාෂාවේ තිබෙන නම්‍යශීලිත්වය කෙබඳුද?
මම නම් හිතන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා සිංහල භාෂාව එහිදී වඩාත් පොහොසත් බවයි. අපේ භාෂාව හරිම නිර්මාණශීලියි. ඉංග්‍රීසියෙන් LOVE නමුත් සිංහල භාෂාවේ එයට කෙතරම් වචන තිබෙනවාද? ප්‍රේමය, ආදරය, සෙනෙහස, මිතුදම ආදී ලෙස. අපට අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට වදන් යොදා ගැනීමේ අවස්‌ථාව සිංහල භාෂාවේදී වැඩියි. ඉංග්‍රීසියේදී ඒ අඩුව තිබෙනවා. සිංහල භාෂාව පිsළිබඳ මට මීට වඩා අවබෝධයක්‌, අධ්‍යයනයක්‌ තිබුණා නම් මීට වඩා ලස්‌සන සිංහල කවි මගේ අතින් ලියෑවෙයි. උදාහරණයක්‌ ලෙස සිංහල ගීත රචනය ගනිමු. අපේ සිංහල ගීත රචනා ගත්තාම ලංකාවේ ලියෑවෙන ඉංග්‍රීසි කවි මොනවද කියා හිතෙනවා.

ඔබේ කවිය ආමන්ත්‍රණය කරන්නේ සහෘද හදවතටද? බුද්ධියටද?
මම කාටවත් අමතන්නේ නැහැ. මම කරන්නේ මගේ ඔලුවේ තිබෙන ප්‍රශ්නයක්‌ නිර්මාණයක්‌ හරහා ඉදිරිපත් කිරීමයි. ඒක පාඨකයෝ පිරිසක්‌ හෝ සමාජයක්‌ ආමන්ත්‍රණය කිරීමක්‌ නොවේ. මම පුවත්පතට ලිපියක්‌ ලියන්නේ කාටහරි යම් දෙයක්‌ දනවන්න. මේ ඒක නොවෙයි. මට දැනෙන දෙයක්‌, ලිවීම හරහා නිරාකරණය කර ගැනීමක්‌ තමයි මගේ කවියෙන් කරන්නේ. ඒක කාටහරි දැනුණා නම්, ඉන් යම් දෙයක්‌ ගන්න පුලුවන් නම් පොදු බවක්‌ ඇතිවෙනවා. ඒක සාකච්ඡාවට බඳුන් වෙනවා. පිරිසක්‌, ප්‍රජාවක්‌ ඇතිවෙනවා. නමුත් මම ලියන්නේ ඒ සඳහා නම් නොවේ.

විශිෂ්ට කවිය නම් එය සමස්‌ත මානව වර්ගයාව අමතන්නක්‌ විය යුතුයි. ඔබගේ කවියේ අරමුණත් විශ්වය ඇමැතීමද?

මගේ කවියට අරමුණක්‌ නැහැ. විශ්වීය වන්නේ කොහොමද? ඉංග්‍රීසි කතා කරන අය හැම තැනම නැහැ. විශ්වීය වෙන්න නොවේ මේ හැමදෙයක්‌ම කරන්නේ. නමුත් මධ්‍ය කාලීන යුගයේ සුෆී ආගම අදහන පූජකවරුන් සහ ඒ දාර්ශනිකයෝ ලියූ කවි ඉංග්‍රීසියට පරිවර්තනය කර මම කියවද්දී මට යම් දෙයක්‌ දැනෙනවා. ඒ වගේම මගේ කවි යම්කිසි කෙනකුට දැනෙනවා නම් මම සතුටු විය යුතුයි. අපට පාලනය කළ නොහැකි තාක්‌ෂණික කරුණුත් තිබෙනවා. ප්‍රබුද්ධ ඉංග්‍රීසියෙන් තිබුණා නම් යෑයි අපට හිතෙන්නේ. සයිමන් නවගත්තේගම මහතාගේ පොත් ඉංග්‍රීසියෙන් තිබුණා නම් කියා අපට හිතෙන්නේ. පතිරාජගේ සිනමා කෘති ඉංග්‍රීසියෙන් තිබුණා නම් අපට ලෝක සිනමාව තුළ අපේ සලකුණක්‌ තැබීමට හැකියාව තිබුණා. ඒවා ඒ යුගයටත් ඉදිරියෙන් තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ.

කාව්‍ය පරිවර්තනය පිsළිබඳ විවිධ මතවාදයන් තිබෙනවා. ඔබ මේ වනවිට ප්‍රබුද්ධ කාව්‍ය පරිවර්තනයේ යෙදෙමින් සිටින්නේ. පරිවර්තනයේදී කවිය මියෑදෙන බවයි අමරසේකරයන්ගේ මතය. කවිය මිය යා නොදී පරිවර්තනය කළ හැකිද? 
කවිය පැත්තකින් තබා කෙටිකතාව ගනිමු. එහි වාක්‍යයක්‌ ගනිමු. වාක්‍යයක අර්ථ දෙක තුනක්‌ ගැබ්වී තිබිය හැකියි. එය වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී අර අර්ථ දෙක තුනෙන් එකක්‌ දෙකක්‌ හැලී, නැති අර්ථයක්‌ එකතු විය හැකියි. ඒ සීමාව නිරන්තරයෙන්ම තිබෙනවා. හොඳ පරිවර්තනත් තිබෙනවා. නරක පරිවර්තනත් තිබෙනවා. බොහෝ පරිවර්තනවල මුල් කෘතියේ කියූ දේවත් නැහැ. නැතිදෙයක්‌ තමයි තිබෙන්නේ. ඒවා දුර්වල පරිවර්තන. කවිය ඊට වඩා සියුම් දෙයක්‌. එනිසා එය ඊටත් වඩා දුෂ්කර කාර්යයක්‌. ඔව්, මරණවා තමයි. ඒ ලේ හැලීම කරන්නේ නැතිව මේක කරන්නත් බැහැ. නමුත් සමහර දේවල් තිබෙනවා තනියම විඳින්නේ නැතිව බෙදාගන්න කැමැති. ඒ වගේ 'ප්‍රබුද්ධ' ලෝකයට බෙදාදෙන්න මම ආසයි. එනිසා මගේ සීමාවන් තුළ, මගේ භාෂා හැදෑරීම සහ අවබෝධය තුළ අවංක උත්සාහයක යෙදෙනවා. ඉන් එහා දෙයක්‌ මට කරන්න බැහැ.

නූතන බටහිර කවිය සමඟ සැසඳීමේදී අපේ ඉංග්‍රීසි කවිය තිබෙන්නේ කොතැනද?
ඕනෑම රටක සාහිත්‍යයේ හොඳ නරක තිබෙනවා. උදාහරණයකට අන්තර්ජාලයේ කෙතරම් නම් වෙබ් අඩවි තිබෙනවාද? බ්ලොග් කීයක්‌ තිබෙනවාද? ඒවා සියල්ලම හොඳ නැහැනේ. සියල්ලම නරකත් නැහැ. ඒ වගේ ඉංග්‍රීසියෙන් ලියෑවෙන, පරිවර්තනය වන කවි ගත්තාම අපි එතරම් උසස්‌ මට්‌ටමක නොවෙයි ඉන්නේ. ශ්‍රී ලාංකික ඉංග්‍රීසි සාහිත්‍යය උසස්‌ තැනක නොවෙයි තිබෙන්නේ. සාහිත්‍යමය අගය පමණක්‌ ගෙන බැලුවොත් සිංහල සාහිත්‍යය ඉහළ මට්‌ටමක තිබෙනවා. සිංහල සාහිත්‍යයේ විශිෂ්ට කෘති ලොව ඕනෑම සාහිත්‍යයක්‌ සමග එකට තැබිය හැකියි. කෙටිකතාව තමයි අපේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍යය. ඊට හේතුව ලෙස මා දකින්නේ අපි බණ අසා හැදුණු ජාතියක්‌ වීම. අපි ජාතක කතා සමග වැඩිවියට පත්වුනු පිරිසක්‌. ජාතක කතාව කෙටියි. ධර්ම කාරණා පොඩි කතාවක්‌ එක්‌කයි අපට එන්නේ. කෙටියෙන් දේවල් කීම අපේ ලේවල තිබෙන දෙයක්‌ බවට පත්වෙලා. ඒ හින්දාම කෙටිකතාව අපට පහසු ආකෘතියක්‌, නවකතාවට වැඩිය. ජන සාහිත්‍යය ගත්විට ගොයම්, පතල් කවි ආදි ලෙසින් කවිය අපට හුරු දෙයක්‌. සිංහල කවිය වුණත් උසස්‌ තැනක තිබෙනවා.

බටහිර ඉංග්‍රීසි සාහිත්‍යයට අපේ ඉංග්‍රීසි සාහිත්‍යය ළංකරන්න බැහැ. හොඳම දේ හොඳම ඒවත් එක්‌ක සංසන්දනය කළ යුතුයි. ෂෙහාන් කරුණාතිලකගේ 'චයිනමන්' නවකතාව හොඳයි. කවි පොදුවේ ගත්විට ඒ තරම් උසස්‌ තත්ත්වයක තිබෙනවා යෑයි පැවැසිය නොහැකියි.

අපගේ ඉංග්‍රීසි සාහිත්‍යය විශ්ව සාහිත්‍ය තුළ සාකච්ඡාවට බඳුන් නොවන්නේ ඇයි?
සාකච්ඡා නොවෙනවාම නොවෙයි. ශ්‍රී ලාංකික සම්භවයක්‌ ඇති ලේඛකයන් පිටරට ඉන්නවා. සම්මානයට පාත්‍රවුණු ලේඛකයනුත් ඉන්නවා. හොඳ ප්‍රකාශකයන්ගෙන් ඔවුන්ගේ කෘති ප්‍රකාශයට පත්වෙනවා. ඉන් අදහස්‌ වෙන්නේ ඒ රටවල හැම දෙයක්‌ම ප්‍රකාශයට පත්කරන්නේ නැති බවයි. තෝරාබේරාගත් හොඳ කෘති පමණයි ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේ අවස්‌ථා තිබෙනවා. නමුත් සිංහල නවකතාව ඊට වඩා හොඳ බවයි මගේ අදහස.
Reactions:

4 comments:

සෙන්නා said...

මලින්ද,

ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි. ඉංග්‍රීසි යාන්තම් තොලේ කටේ ගාගත් ඇතැමුන් සිංහලයට සහ සිංහල සංස්කෘතියට ගෝත්‍රිකයැයි අවමන් කරමින් උඩපනින විලාසය දකින විට, ඔබ වැනි ව්‍යක්තව ඉංග්‍රීසිය හසුරුවන්නකු මෙලෙස සිතීම ඇත්තෙන්ම සතුටට කරුණක්. පිරුණ කළේ දිය නොසෙලෙන බවයි ඔබ ඔය පෙන්වන්නේ..

ඔබට ජය !

h. said...

So proud of you. And that's not because you won the award, but for the heart and mind that belongs to this land.

මගේ කිචී said...

සිංහලෙන් කතාකරද්දි ඉංග්‍රීසී දන්නෙම නෑ කියල හිතෙන ඉංග්‍රීසියෙන් කතා කරද්දි සිංහල දන්නෙම නැතුව ඇති කියල හිතෙන කෙනෙක් මාලින්ද. ඉංග්‍රීසිය එච්චරටම වටහා ගන්න අමාරු මට මාලින්ද සිංහලෙන් කවි ලියන එක මරු ආරංචියක් වුනා

umanda ellepola said...
This comment has been removed by the author.