03 July 2015

විසුරුවනු ලැබිණ!

මහා ජන ගඟට එක් වූවෝ මහා වංචාවකට සම්මාදම් වූ බව කනගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු
විසුරුවනු ලැබිණ:  පාර්ලිමේන්තුව.  2010 සිට අද වනතුරු ජනතාවට කොකා පෙන්නපු ආණ්ඩු පක්ෂවලත් විපක්ෂවලත් මන්ත්‍රීවරුන්ට නැවත වරක් ජනතා මනාපය යදින්න සිදුවී ඇත.  ඔවුන් ගැන දුක් වීමට අවශ්‍ය නැත.  අපට සතුටු වීමටද විශේෂ හේතුවක් නැත. 

විසුරුවනු ලැබිණ: 20 වන ව්‍යවස්ථා සංශෝධනය.  එබැවින්ම ජනපති මෛත්‍රිපාල සිරිසේන ද අගමැති රනිල් වික්‍රමසිංහ ද කුජීත විය.  දෙදෙනාම ඔප්පු කලේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කිසිම උවමනාවක් නැති බවය.  විපක්ෂය ද මෙම ප්‍රතිඵලය ලබාගැනීමට දායක වූ බව සැබෑය නමුත් වගකීමේ වැඩි බරක් හිමි වන්නේ මැතිවරණ පොරොන්දු දුන් අයට මිස විකල්පයක් නොමැති බැවින් තමන් එරෙහි වූ අපේක්ෂකයා සමග අත්වැල් බැඳ ගැනීම සිදුවූවන්ට නොවේ. මෛත්‍රිපාල ජනපති තුමාට (අති ගරු) විධායක බල තල ඇත.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද ඔහුය.  එම පක්ෂයේ ද පාර්ලිමේන්තු වේ සුළුතරයක් පමණක් හිමි එක්සත් ජාතික පක්ෂයේද සහාය මෙම සංශෝධනය සඳහා ලබාගැනීමට මෙම කාරණා දෙක ප්‍රමාණවත් වූවත් සිරිසේන (අති ගරු) තුමා අසමත් විය.  රනිල් (ගරු) මුල සිටම 'විස්ස' නොවන තැනට කටයුතු කළේය.  කෙටුම්පත සම්පාදනය පමා කළේය.  පසුව ඇමති මණ්ඩලය 'ඇන්දුවේය'.  ඉන් පසුව කෙටුම්පතේ වගන්ති කුරුටු ගෑවේය.  'විස්ස' සහ මැතිවරණ සංශෝධන පිලිබඳ සියලු බලාපොරොත්තු විසුරුවන තැනට කටයුතු සිද්ද විය.  ඒ පිලිබඳ කනගාටුවක් කනස්සල්ලක් මේ දෙපල ප්‍රකාශ කලේ නැත.  මැතිවරණ පොරොන්දු වල සංස්කෘතිය එසේම ය.  සිරිසේන (ඇති ගරු) සහ රනිල් (ගරු) තවත් වංචාකාරී දේශපාලනඥයින් දෙදෙනෙකු පමණක් බව ඔප්පු විය.

විසුරුවනු ලැබිණ: 19වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරගන්නා සිහින සියල්ලම විසුරුවන ලැබීය.  තවමත් ජනසතු කල නොගත් 'සිවිල් (සිවල්?) සමාජය නියෝජනය කිරීමට නුසුදුස්සෝ දෙදෙනෙකු සහ විශේෂ සිදුසුකමක් නොමැති තුන් වන්නෙක් හිතා මතා යෝජනා කලේ ව්‍යවස්ථා සභාව පත් නොවන තැනට කටයුතු සැලසීම ට යැයි පැහැදිලි විය.  දැන් ඇත්තේ අසම්පූර්ණ සභාවකි.  එයට නීතිමය තත්වයක් නැත.  ස්වාධීන කොමිසම් සභා පත් වුනේ ද නැත [එබැවින්ම මැතිවරණයේ දී ආණ්ඩු පක්ෂයට වාසි සහගත තත්වයක් පවතිනු ඇත].  

විසුරුවනු ලැබිණ: යහපාලනය/මෛත්‍රීපාලනය. ඒ සුන්දර වදන් වලට ඉතින් ආයුබෝවන් කීමට කාලය පැමිණ ඇත.  ජනපති (අතිගරු) හෝ අගමැති (ගරු) ඒවායේ අර්ථ නොදන්නවා විය නොහැක.  උවමනාවක් නැත්තා සේය.

විසුරුවනු ලැබිණ:  මනාප ක්‍රමය අහෝසි කරන සිහිනය.  ඉතින් නෝනාවරුනි මහත්වරුනි සූදානම් වෙමු තක්කඩි, ඕලාරික, අමන කැල ආදරයෙන් පිළිගැනීමට.  තාප්ප දන් දෙමු පෝස්ටර් වලට.  'ඡන්ද කාරයින්' විටින් විට ගෙවල් වලට කඩා වැදීම ඉවසමු.  තවත් නරුම කැලකට වරම් දෙමු අපව 'නියෝජනය' කිරීමට.    

විසුරුවනු ලැබිණ: "මෛත්‍රිපාල-රනිල් 'සන්ධානය' රාජපක්ෂ සමාගම ට හාත්පසින් වෙනස්" යන මායාව.  පරණ අරක්කු.  බෝතලෙත් පරණයි වගේ.  පවුල්වාදය ළදරු අවස්ථාවේය තවමත් එහෙත් එය ඉපදී ඇත.  වංචා දූෂණ නම් ඉලන්දාරි වයස ඉක්මවා ඇති සේය.  

විසුරුවනු ලැබිණ: ආර්ථික සහන පිලිබඳ පොරොන්දු සහ බලාපොරොත්තු.  ආයෝජන මණ්ඩලය වැනි ආයතන දැනටමත් නෑදා හිතවතුට ප්‍රතිලාභ සලසා දෙන ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන්නේ පාලනය 'යහ' කරන්නට නම් නොවේ.  එය පැහැදිලිය.  අඩු කල බඩු මිල දැන් වැඩි වී ඇත.  ඉන්දන මිල ද ඉහල යාමට නියමිතය.  

විසුරුවනු ලැබිණ:  තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනා පිළිබඳ රවී කරුණානායක සහ රනිල් වික්‍රමසිංහ යන දෙපල ට තිබුන බිය. 

විසුරුවනු ලැබිණ:  කෝප් පරීක්ෂණයෙන් (ඇස්)බන්දුම්කාර නිකුතු මගඩිය සම්බන්ධව වැරදි කරුවන් ලෙස නම් කිරීමට නියමිත සියලු දෙනා ට තිබුන බය.  විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන නම් අතරේ මොවුන් ද ඇත: රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, කබීර් හෂීම් සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම (ගරු). ඩිව් ගුණසේකර මහතා ට කෝප් වාර්තාව කුණු කූඩෙට දැමීම හැර අන් දෙයක් කිරීමට නොහැක.  

විසුරුවනු ලැබිණ: යහ පාලනයට අමතරව 'වගවීම' සහ 'විනිවිදභාවය' පිලිබඳ ඡන්දදායකයින් දුටු සිහිනය.

විසුරුවනු ලැබිණ: අලුත් පරපුර, පුරවැසි බලය සහ මෛත්‍රිපාල සිරිසේන (ඇති ගරු) වෙනුවෙන් මහන්සි වූ සංවිධාන වල කයිවාරුවේ සද්දය.  

විසුරුවනු ලැබිණ: මෛත්‍රිපාල සිරිසේන (අතිගරු) නායකයෙක් යන මතය.  හොරකම් තක්කඩිකම් වල යෙදෙන ගජ මිතුරන් ආරක්ෂා කිරීමට නොපැකිලි ව කැප වන කෙනෙකු බව ඔහු ඔප්පු කර ඇත.  ඔහුගේ ප්‍රියතම වර්ණය නිල නොව කොළ බවද ඔප්පු කර ඇත (ඒ සඳහා ඔහුට අයිතියක් ඇති බව සඳහන් කල යුතු ය).  ඔහු පෙන්වා දී ඇත්තේ ඔහු තමන් ගැන විශ්වාසයක් නොමැති, පළිගැනීමේ චේතනාවෙන් පෙලෙන දුර්වල පුද්ගලයෙක් බවයි.   

ඉතින් විසුරුවීම් ගැන දැනට මේ ඇති.  සියල්ලෝ සතුටින් විසිර යමු. මේ සින්දුව ගායනා කරමින්ම විසිර යමු: 

"කොහේද කොහේද අපේ ලොවක්?" 

1 comments:

asoka de silva said...

someone should chronicle these six months because this the period the country was set back in all respects and like to forget as a experiment gone horribly wrong