14 July 2015

කැකිරිලන්තයට සරිලන ජනතා නියෝජිතයා මම වෙමි

'මුල්ලෙරියාවෙන් පාර්ලිමේන්තුවට' සටන් පාඨය යටතේ 'සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයෙන්' ඉදිරි මැතිවරණයට තරඟ වැදීමට තීරණය කලේ ජුලි මස 13 දා ප.ව. 1.00 ට පමණය. පසුව ඓතිහාසික වැරැද්දකට සම්මාදම් වුවා යැයි අවබෝධ වුයෙන් 'කකිරිලන්තයෙන්' කකිරිලන්තිකයින් වෙනුවෙන් හඬක් නැගීමට සිතුවෙමි. පක්ෂ වර්ණය: සුදු. මනාප අංකය: "0". පක්ෂ ලකුණ: පුරහඳ. එලෙස තීරණය කිරීමෙන් අනතුරුව විවිධ ප්‍රකාශ පිළිවෙලින් නිකුත් කලෙමි. ඒවා පහත දැක්වේ. ඉදිරියට මැතිවරණයට අදාළ තවත් කෙටි ප්‍රකාශ බලාපොරොත්තු වන්න.
.......................................................................................................................................................................


අදක්ෂයි, මහලුයි, කුසීතයි, නිවටයි. අපේ අනාගතය නොව, අපේ අතීතයයි. පාර්ලිමේන්තුවේ වත් කොහෙවත් ප්‍රාඥයෙක් නොවේ. මෝඩයෙකි. මාලින්ද සෙනෙවිරත්න මුල්ලේරියාවෙන් පාර්ලිමේන්තුවට යවමු.


"සිවිල් සංවිධාන 157 ක සහාය මාලින්දට" -- එසැන පුවතක්  
"මාලින්ද සෙනෙවිරත්න මුල්ලේරියාවෙන් පාර්ලිමේන්තුවට යවමු!" 
සැ.යු: ඉහත සංවිධාන සියල්ලක්ම තනි සාමාජික ඒවා වන අතර ඇතැම් අය සංවිධාන 10-15 ක සාමාජිකත්වය දරති.


කට් අවුට් නැත. පොලිතීන් නැත. 'පීකර්' නැත. පෝස්ටර් නැත. පත්‍රිකා නැත. පෙළපාලි නැත.
සුදු වස්ත්‍රයෙන් සැරසී පුරහඳ ලකුණ තෝරා මනාප අංක 0 ඉදිරියේ කතිරය ගසා මාලින්ද සෙනෙවිරත්න මුල්ලේරියාවෙන් පාර්ලිමේන්තුවට යවමු!

'කරුනාකාර මාගේ ඡායාරූපය වෙනත් පක්ෂ වල අපේක්ෂකයින්ගේ පෝස්ටර්, බැනර් සහ කට් අවුට් වලට නොදමන්න' -- 'සීමාරහිත උම්මත්තකයින්' පක්ෂයේ නායක, එකම සාමාජික සහ මුල්ලෙරියාවෙන් තරඟ වදින මාලින්ද සෙනෙවිරත්න ඉල්ලා සිටියි (මෛත්‍රිපාල ව එජාප පාක්ෂිකයින් ගණිකා වෘතියෙහි යෙදවීම දැක තිගැස්සී).

පක්ෂ නායකයා හැටියට තමා කිසි දා නිර්පාක්ෂිකයෙක් ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු කර අරින්නේ නැතැයි සීමාරහිත උම්මත්තක පක්ෂයේ නායක මාලින්ද සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.

බ්‍රේකිං නිවුස්: අදක්ෂයින්ට, අලසයින්ට, අධ්‍යාපන සුදුසුකම් නොමැත්තන්ට, නිවටයින්ට, මෝඩයින්ට නිසි නියෝජනයක් ලබා නොදීම හේතුවෙන් සියලුම පක්ෂවල සියලුම නාමයෝජනා අවලංගු කරන ලෙස සීමාරහිත උන්මත්තකයින්ගේ පක්ෂයේ නායක සහ මුල්ලෙරියාවෙන් පාර්ලිමේන්තුවට යාමට සිහින මවන මාලින්ද සෙනෙවිරත්න මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම ඉම්ටියාස් බාකීර් මාකර්ට එජාපයෙන් නාමයෝජානා නොලැබීම මෙන්ම ඔවුන් ජාතික ලැයිස්තුවට නම් නොකිරීමෙන් මහේන්ද්‍රන් ද ඉම්ටියාස් ද සම තත්වයට පත් කිරීම පිළිබඳව සීමාරහිත උන්මත්තකයින් ගේ පක්ෂ නායක සහ මුල්ලේරියාවෙන් පාර්ලිමේන්තුවට යාමට සිහින මවන මාලින්ද සෙනෙවිරත්න බලවත් කම්පාවට පත්ව ඇති බව ඒජන්සි වාර්තා වල සඳහන් වේ.

නාමයෝජනා බාරදෙන අවසන් දවසේ සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ කිසිඳු පෙළපාලියක්, රථ පෙරහැරක් නොතිබුන බව වගකීමෙන් සහ ආඩම්බරයෙන් එම පක්ෂයේ නායක සහ මුල්ලේරියාවෙන් පාර්ලිමේන්තුවට යන්න සිහින දකින මාලින්ද සෙනෙවිරත්න මාධ්‍යයට මීට ස්වල්ප මොහොතකට පෙර සඳහන් කළේය.

වෙනත් පක්ෂ නායකයින් ජාතිය අමතා 'වැදගත්' ප්‍රකාශයන් කිරීමට පොරොන්දු වී හොයාගන්නවත් බැරි තැන්වල සැඟව සිටීම පිළිබඳව තමා කම්පා වන බව සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂ නායක සහ මුල්ලෙරියාවෙන් පාර්ලිමේන්තුවට යන්න සිහින දකින මාලින්ද සෙනෙවිරත්න මද සිනහවක් පාමින් ප්‍රකාශ කළේය.

'ශ්‍රීලංනිප ය හිසක් නැති කවන්දයකි. එජාපය කවන්දයක් නැති හිසක් වැනිය (මෑතක් වන තුරු). එජාපයේ, ශ්‍රීලංනිපයේ එහෙම වුනත් අපේ නම් එහෙම වෙන්නේ නෑ.........!' සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂ නායක මාලින්ද සෙනෙවිරත්න ප්‍රධාන දේශපාලන පක්ෂ වල සෞඛ්‍ය තත්වය පැහැදිලි කරමින් මීට ස්වල්ප මොහොතකට පෙර පැවසුවේය.

සුද්දෝ මානසික රෝගීන් සඳහා රෝහලක් මුල්ලේරියාවේ පිහිටුවුයේ මීට වසර 450 කට පමණ පෙර එහි සිදුවූ දැවැන්ත පරාජයෙන් ලද මානසික අසහනයෙන් මිදෙන්නයි. එබැවින් 'සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂය' තරඟ වදින්නේ කැකිරිලන්තයෙන් මිස මුල්ලෙරියාවෙන් නොවන බව මැතිවරණ කොමසාරිස් තුමාට දැනුම් දී ඇත.  Friends of Kekirilanthaya page එකට ගොස් රටේ දේශපාලන සිදුවීම් පිලිබඳ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක Sudat Pasqual ගේ විග්‍රහයන් කියවන්න.


කැකිරිලන්තයේ හදගැස්ම වන් සීමාරහිත උම්මතකයන්ගේ පක්ෂයේ නායක මාලින්ද සෙනෙවිරත්න 'ජනපතිතුමෝ ඔබ කොහෙද හැංගි සිටින්නේ?' යන මැයෙන් ලියු ලිපිය කියවීමෙන් මෛත්‍රිපාල සිරිසේන මහත්මා ට සැඟව සිටි තැනින් පිටවන්නට සිදුවිය. මෙන්න ලිපිය

මෛත්‍රිපාල සිරිසේන ජනවාරි 8 දා ට පසුව තමා වටේට දවටගත් නිල් හැව ස්වකැමැත්තෙන් ගලවා දමා 'සත්‍යයට' වටිනාකමක් දීම කැකිරිලන්තයේ පුරවැසියන් වෙනුවෙන් සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂ නායක මාලින්ද සෙනෙවිරත්න ගේ පැසසුමට ලක්වූ බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ සිරිසේන මහතා තම දෙබිඩි රංගනයෙන් සම්පුර්ණයෙන් ඉවත් විය යුතු බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන්ද එම පක්ෂයෙන්ද ඉවත් විය යුතු බවද ඔහු සඳහන් කළේය.

"නහී වේරේන වේරානී,
සම්මන්තීධ කුදාචනං.
අවේරේනච සම්පත්තී,
ඒස ධම්මෝ සනන්තනෝ" 
ධම්මපදයේ මෙම උපුටාගැනීම ජනාධිපති තුමාට මතකදැයි දැනගැනීමට ලොකු ආශාවක් තමා තුල ඇති බව සීමාරහිත උම්මතකයන්ගේ පක්ෂයේ නායක මාලින්ද සෙනෙවිරත්න ප්‍රකාශ කර සිටියි.

මෛත්‍රිපාල සිරිසේන "මැදහත්ව සහ ස්වාධීනව" කටයුතු කරන අතර පක්ෂ නායකකම බදාගෙන සිටීම විහිළුවක් නොවේදැයි සීමාරහිත උම්මතකයන්ගේ පක්ෂයේ නායක මාලින්ද සෙනෙවිරත්න අසයි (කැකිරිලන්තයේ අනාගතය ගැන කනස්සල්ලෙන් යුතුව)

යහපාලන පෙරමුණේ පෙරමුණේ රාලලා කුරුඳු පොලු අතට ගෙන සිටීම රණවක ලට ප්‍රශ්නයක් නොවීම තමාට ප්‍රශ්නයක් බව සීමාරහිත උම්මතකයන්ගේ පක්ෂයේ නායක මාලින්ද සෙනෙවිරත්න සඳහන් කරයි.

අද දින දැවෙන දේශපාලන ප්‍රශ්නය 'මහින්ද ද රනිල් ද?' හෝ 'එජානිස ද එජාපෙ ද?' නොව 'කැකිරිලන්තයේ අනාගතය මාලින්ද ද නැතහොත් මාලින්ද ද?' යන්නයි.


1 comments:

සෙන්නා said...

අපේක්ෂක තුමෝ මේකනම් නොස්සෑහෙන්න බොන්න ඕඅනා වැඩක්.. අරිය. කරුමෙට මට මුල්ලේරියාවට ඡන්දෙ නෑ... නැත්නම් අම්මපා දෙනවා ඔහේට...

අර හැංගිලා හිටිය උන්දෑ ඔහේගෙ ලිපිය කියවලදා මංදා ඕඑන තව ටිකකින් ජාතිය අමතනවලු... මේදා සැරේ කියයිද දන්නෑ "අනේ මට හිටපු වහල් කම හොඳයි" කියලා...