10 August 2015

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138 ක් ප්‍රදානය කිරීමට කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව හදන සීමාරහිත උම්මත්තකයින් තීරණය කල බව එම පක්ෂයේ අද දින නායක රොහාන් විජේවීර සහෝදරයා පවසයි. 
"මෙසේ පුටු දන් දෙන්න තීරණය කලේ එක් එක් පක්ෂ තම තමන් දිනා ගන්නවා යැයි කියන ආසන සංඛ්‍යාවන් අනුවය. ඒ අනුව එජාපයට ආසන 113ක් ද, සන්ධානයට 117ක් ද, ජවිපෙට 113ක් ද, සෙසු පක්ෂවලට 20ක්ද ලැබෙනු ඇත. එබැවින් වැඩිපුර ආසන 138ක් අවශ්‍ය වනු ඇත."

ශ්‍රී ලංකාවේ ඒකාධිපති ස්වභාවයන් උම්මත්තකයින් හඳුන්වා දෙයි 
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මහාමැතිවරණය පුද්ගල-කේන්ද්‍ර සටනක් බවට පරිවර්තනය වීම පිලිබඳ ව මුළු කැකිරිලන්තය ම සසල වී ඇති බව එම රටේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක රොහාන් විජේවීර පවසයි. 
ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ එම සහෝදරයා: 'මෙය මහින්ද ද රනිල් ද, නැතහොත් මහින්දව වළලනවද නැවත බලයට ගෙනෙනවද වගේ සිල්ලර කාරණා වලට ලගු වුන අභ්‍යාසයක් වෙලා. කමක් නෑ...ඒක ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙන්න ඇති. කැකිරිලන්තයේ අපට මේ රනිල් සහ මහින්ද ගැන අදහසක් තියෙනවා. රනිල් ස්වභාවයෙන්ම ඒකාධිපති ලක්ෂණ ඇති කෙනෙක්. පක්ෂ ව්‍යවස්ථාව තමන්ගේ බලය රැකගන්න වෙනස් කල කෙනෙක්. 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායකය සතු සියලු ඒකාධිපති බලතන අගමැති ධූරයට පවරා ගන්න ඔහු උත්සාහ කළේය (ඊළඟ මහමැතිවරණය අනිවාර්යයෙන් එජාපය ජය ගන්නා බව උපකල්පනය කර). රනිල් ස්වභාවික එකාධිපතියෙකි.
'මහින්ද ගේ ඒකාධිපති ගති ජේ.ආර්, ප්‍රේමදාස සහ චන්ද්‍රිකා යන අයගේ ඒකාධිපති ගති වලට සමාන ය. වෙනසකට තිබුනේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා 17න් උදුරා ගත් බලතල යලි ලබාගැනීමයි (චම්පික, රාජිත, මෛත්‍රී 18ට පක්ෂ විය). මේ හැරුණු විට ඔහුගේ ඒකාධිපතිත්වය ආයතනික, ව්‍යවස්ථාමය වටපිටාවක නිර්මාණයකි. දෙන්නම නෝටි බෝයිස් ලා, එකෙක් ජාන වලින් අනෙකා ධූරයේ ආධාරයෙන්.'

වැව් දාහෙන් කුඹුරු කරවා අස්වැන්න බෙදා දෙන විශ්වකර්මය 
කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය පිළිබඳව නිල අදහස මීට ස්වල්ප මොහොතකට පෙර කැකිරි එෆ් එම් නාලිකාවට පැවසීය.
"වැව් 1000ක මහා ජලස්කන්ධය කරාම මිලියන පහක් විවෘත කර මිලියන 20ක ජනතාවට බෙදාහරින වැඩපිළිවෙලකි ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ. එම පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය ප්‍රකාරව නාන්න, අත සෝදාගන්න, මල් පැලවලට, මිරිස් පාත්ති වලට, කුඹුරට සහ කීර කොටුවට හරවන්න, අධික තිබහ නිවන්න, ෆ්රුට් ජූස් සාදන්න, දත් මැද කට සෝදන්න යනාදීවශයෙන් එම ජලය පාවිච්චි කරනු ඇත. ප්‍රශ්නය මෙයයි: එවැනි වැව් නොමැති වීමත් එවන් වැව් නිර්මාණය කිරීමට වැඩ පිළිවෙලක් නොමැති වීමයි.

ශ්‍රී ලාංකිකයින්ට කැකිරිලන්තයේ පුරවැසිකම!
තම පක්ෂය කැකිරිලන්තයේ ආණ්ඩුව පිහිටවූ වහාම තම රටේ පුරවැසිභාවය සියලු ශ්‍රී ලාංකිකයින්ට ලබා දීමට කටයුතු කරන බව සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අද දින නායක රොහාන් විජේවීර සහෝදරයා පවසයි. ශ්‍රී ලංකාවේ දේශපාලන දරිද්‍රතාවය දැක ඉන් කම්පා වූ බැවින් මෙසේ තීරණය කල බව එම සහෝදරයා පෙන්වා දෙයි.

ජවිපෙ මැතිවරණ ප්‍රකාශය උම්මත්තකයින් මවිත කරයි 
කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය කියවා මවිතයට පත් වූ බව එම පක්ෂයේ අද දින නායක රොහාන් විජේවීර සහෝදරයා කැකිරි එෆ් එම් නාලිකාවට පවසයි. පක්ෂයේ අදහස පහත අයුරුන් ඔහු පැහැදිලි කළේය:
"ජවිපෙ මැතිවරණ ප්‍රකාශය ප්‍රෝඩාවක්. වේදිකාවේ කියන්නේ 'රට කරවන බලයක්' ලබා දෙන්න කියල. ඒ උනාට මැතිවරණ ප්‍රකාශයේ කියන්නේ ආසන 113ක් ලැබුනොත් කරන දේවල්. 'කරවන හැටි' ගැන කිසිම සඳහනක් නැහැ. සන්ධානයේ සහ එජාපයේ මැතිවරණ ප්‍රකාශ මෙන්ම ජවිපෙ ලියකියවිල්ලත් තවත් එක ඇන්දිල්ලක් පමණයි."










0 comments: