19 August 2015

මම කවියෙක් නොවෙමි

සුනිල් මිහිඳුකුල මහතා මෑතකදී මා සමග කල සංවාදයක සටහන් සිළුමිණ පුවත්පතෙහි "සත්මඬල" අතිරේකයේ පළවුයේ මෙසේය...


මාලින්ද සෙනෙවිරත්න ප්‍රකට ශ්‍රී ලාංකික ඉංග්‍රීසි කවියෙකි. මේ වන විට ඔහු කවි පොත් හතක් ලියා පළ කර ඇත.  එසේ ම මාලින්ද සාහිත්‍ය පරිවර්තකයෙක් ද වෙයි. හෙතෙම සයිමන් නවගත්තේගමගේ ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ නවකතාව ඉංග්‍රීසියට නැඟුවේ ය. ඔහුගේ කෘති සඳහා ග්‍රේෂන් සාහිත්‍ය සම්මාන ද හිමි විය. මාලින්ද වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකි. ‘ද නේෂන්’ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ඔහු ය. මේ මාලින්ද සමඟ දේශීය ඉංග්‍රීසි සාහිත්‍යය අළලා කළ සංලාපයකි.


ඔබේ ප්‍රධාන ආත්ම ප්‍රකාශන මාධ්‍යය කවිය යැයි මා සිතනවා?
මං දැනට කවි පොත් හතක් ලියලා තියෙනවා. ඒ නිසා කෙනකුට කියන්න පුළුවන් මං කවියෙක් ය කියලා. ඒ හැරුණු කොට මං සාහිත්‍ය පරිවර්තකයෙක්. හැබැයි මං ශාස්ත්‍රාලයීය වශයෙන් ඉගෙන ගත්තේ සමාජ විද්‍යාව. ඒ පේරාදෙණි විශ්වවිද්‍යාලයේත්, පිටරට ‍විශ්වවිද්‍යාලවලත්. මං පත්තර කලාවට ආවෙත් අහම්බෙන්. මං කවියෙක් කියන එක ජීවිතයේ ප්‍රධාන දේ නෙමෙයි. ඒක එක්තරා කොනක තිබෙන දෙයක්. මං ෆේස් බුක් එකට කවි ලියනවා. බ්ලොග්වලට කවි ලියනවා. ඔබ දන්නවා පත්තර කලාව හරිම අවිවේකි වෘත්තියක්. ඉතිං පත්තරේට හිරවුණා ම නවකතා, කෙටිකතා ලියන්න ටිකක් අපහසුයි. ඊට වඩා කවි ලියන එක ලේසියි. මොකද, කවි හරි ම කෙටි නිර්මාණනේ. නවකතා, කෙටිකතා ලියන එක මේ වගේ රස්සාවකින් අයින් වෙලා කළ යුතු දෙයක්. එක්කෝ ‍ඒ සඳහා මට විනයක් නැහැ. නැත්නම් හැකියාවක් නැහැ.

මොකද්ද ඔබේ පසුබිම?
මගෙ අප්පච්චිත් කවියෙක්. ඔබ අහලත් ඇති සමහර විට. ගාමිණි සෙනෙවිරත්න. වෘත්තියෙන් සිවිල් නිලධාරියෙක්. අප්පච්චි පේරාදෙණි සරසවියේ ඉද්දිමයි කවි ලියන්න පටන් අරන් තියෙන්නේ. ‘පේරාදෙණි පොයෙට්‍රි’ කියලා කවි සඟරාවකුත් පළ කරලා තියෙනවා. ‘සංස්කෘති’ සඟරාවට විචාර ලියලත් තියෙනවා. අම්මා ගුරුවරියක්. ඉතිං ගෙදර තිබුණේ ද්විභාෂීය පසුබිමක්.

ශ්‍රී ලාංකික ඉංග්‍රීසි කවිය මොන වගෙ තැනක ද තියෙන්නෙ?
හොඳ කවීන් ඉන්නවා. හිටියා. මට නම් හොඳ ම කවියා මගේ අප්පච්චි. ඒ හැරුණුකොට ලක්දාස් වික්‍රමසිංහ, පැට්රික් ප්‍රනාන්දු, ඈන් රණසිංහ, ජීන් අරසනායගම් එක්තරා පරපුරක කවි කිවිඳියන්. මොවුන් අතරින් ලක්දාස වික්‍රමසිංහ තමයි ශ්‍රී ලාංකික මෙටෆ එක (රූපකාර්ථය) ස්පර්ශ කරපු කවියා. ඒ නිසා ඔහු සුවිශේෂයි.

ඉංග්‍රීසි කවියේ මොනිකා රුවන්පතිරණ ජීන් අරසනායගම් කියලයි නීල් විජේරත්න වරක් කියා තිබුණේ...?
ජීන්ට තමයි සම්මාන වැඩිපුර ම ලැබිලා තියෙන්නේ. එහෙත් මං ඇය ව මොනිකාගේ මට්ටමට දාන්නේ නැහැ.

ඔබ කියන්නේ වඩා උසස් සිංහල කවිය ද? ඉංග්‍රීසි කවිය ද?
අපොයි, සිංහල කවියත් එක්ක ඉංග්‍රීසි කවිය අහලකින්වත් තියන්න බැහැ. ඒකයි මං කිව්වේ ජීන් ව මොනිකාගේ මට්ටමට දාන්න බැහැ කියලා. පෞද්ගලික ව මම ගත්තාත් මගේ කවිවලට වඩා රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන්, සුනන්ද කරුණාරත්නගේ කවි හොඳයි කියල මට ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන්. ඔවුන්ගේ කවිවල අලුත් අත්හදා බැලීම් තියෙනවා; අලුත් සංකල්ප තිබෙනවා; අලුත් උපමා රූපක තියෙනවා.
ශ්‍රී ලාංකික ඉංග්‍රීසි සාහිත්‍යයේත් අලුත් තරුණ කවි කිවිඳියන් ඉන්නවනේ. අඩු ම ගානෙ ඒ අයවත් උසස් මට්ටමක නැද්ද?
ඉන්නවා. ඒක තමයි එක ම සාධනීය ලක්ෂණය. විහඟ පෙරේරා, විවිමරි වැන්ඩර්පූටන්, අනුපමා ගොඩකන්ද, රම්‍යා ජීරසිංහ වගේ කවි කිවිඳියන් කිසියම් මට්ටමක තබන්න පුළුවන්. ගෙදර ඉංග්‍රීසි කතා කරන සමාජ පසුබිමකින් ආපු නැති, ස්ව උත්සාහයෙන් ඉංග්‍රිසි භාෂාව හදාරපු පරපුරක් දැන් අපිට ඉන්නවා. අපෙන් පස්සෙ කවුරුත් නැහැ කියලනේ හුඟ දෙනෙක් ඕනෑ ම ක්ෂේත්‍රයක හිතන්නෙ. මුරලිගෙන් පස්සේ කවුරුවත් නැහැ; සංගාගෙන් පස්සේ කවුරුවත් නැහැ කියලා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සමහරු හිතනවා. සාහිත්‍යයේත් ඒ වගෙ තමයි. ඒක වැරදි සිතුවිල්ලක්. සරුසාර අනාගතයක් තමයි මට නම් ඉදිරියට පේන්න තියෙන්නේ.
අපි මෙතෙක් කතා කළේ ශ්‍රී ලාංකික ඉංග්‍රීසි කවිය ගැනනේ. එතකොට ගද්‍ය නිර්මාණවල (නවකතා, කෙටිකතාවල) තත්ත්වය කොහොම ද?
ශෙහාන් කරුණාතිලකගේ ‘චයිනමන්’ හැරුණුකොට අපේ ඉංග්‍රීසි නවකතාව ප්‍රාමාණික මට්ටමක තියෙනව කියලා මට කියන්න බැහැ. ‘චයිනමන්’ විශිෂ්ටයි. කාල් මලර් වගේ ලේඛකයෝ යම් යම් කෘති කළා තමයි. ඒත් සමස්තයක් ලෙස ගත්තම සෑහීමකට පත්වෙන්න බැහැ.
මෙතැනදිත් සිංහල නවකතාව, කෙටිකතාව ඉදිරියෙන් තිබෙනව ද?
ඔව්. ඇත්ත වශයෙන් ම. ඉංග්‍රීසියෙන් ලියන ලේඛක, ලේඛිකාවන් හිතනව, අපි තමයි හොඳට ලියන්නේ කියලා. ඒක බොරුවක්. භාෂා දෙක ම දන්න අයට ඒ බොරුව තේරෙනවා. දැන් බලන්න රජිව් විජේසිංහගේ නවකතා. ඒවයේ තියෙන්නේ දේශපාලනය. කිසියම් දේශපාලන දර්ශනයක් ප්‍රචාරය කරන්න පොත් ලියනවා; හරියට ගුණදාස අමරසේකරගේ පසුකාලීන නවකතා වගේ.

තිස්ස අබේසේකරගේ ඉංග්‍රීසි නවකතා, කෙටිකතා?
තිස්සගේ තිර රචනා එක්ක බලද්දි ඒ තිර රචනා ඊට වඩා ඉහළයි. තිස්සට ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ඊට වැඩි දෙයක් කරන්න තිබුණා. ඒ හැකියාව ඔහුට තිබුණා.

කවියට සාපේක්ෂ ව ඉංග්‍රීසි ගද්‍ය නිර්මාණකරණයේ යෙදෙන අලුත් පරපුර ගැන සෑහීමකට පත්විය හැකි ද?
ඔව්. මේ වාරේ ග්‍රේෂන් සම්මානයේ අවසාන වටයට තේරුණු කෙටි නවකතාවක් තිබුණා. ඒක නම් මට හරිම ලස්සනයි. ඒක ලියලා තිබුණේ සඳලි හඳගම.

අශෝක හඳගමගේ දුව?
ඔව්. ඒක මේ මහ පොළොව මත හිටගෙන ලියපු කෙටි නවකතාවක්.

මේ අතර ඩයස්පෝරා සාහිත්‍යයකුත් තියෙනවනේ?
ඔය අහන්නේ ශ්‍යාම් සෙල්වදොරේගේ නවකතා ගැන වෙන්න ඕනැ. ඔහු ජීවත්වෙන්නේ පිටරට. නමුත් ලියන්නේ ලංකාව ගැන. ඔහු මගේ පාසල් (කොළඹ රාජකීය විදුහල) මිතුරෙක්. අපේ අම්මත් ඔහුට උගන්වල තියෙනවා. ශ්‍යාම් මුලින් නාට්‍යවලටයි සම්බන්ධ ව සිටියේ. පිටරට අය අපේ සයිමන් නවගත්තේගම ව දන්නේ නැහැ. ඒත් ශ්‍යාම් සෙල්වදොරේව දන්නවා.

ඔබේ සහෝදරියත් පිටරට ඉඳන් නේද ලියන්නෙ...
ඔව් නංගි (රූත් ෆ්‍රීමන්) ජීවත්වෙන්නෙ පිටරට. ඇය ලියපු ‘ඔන් සල්මල් ලේන්’ නවකතාව අවධානයට ලක්වුණු කෘතියක්. ටෝනි මොරිසන්ට පවා ලැබුණු ජාත්‍යන්තර සම්මානයක් ඇය හිමිකරගෙන තිබෙනවා.

කොහොමත් ඉංග්‍රීසි සාහිත්‍යයේ රොස්ලින්ඩ් මෙන්ඩිස්ගේ ඉඳන්ම ගත්තත් කාන්තා දායකත්වය වැඩි බවක් පේනවා.
ඔව්. සෑහෙන පිරිසක් ඉන්නවා. හැබැයි, පිරිමින්ට වඩා ඉන්නව ද කියන එක නම් මං ගණනය කර නැහැ. ඒත් පුණ්‍යාකාන්ති විජේනායක වගේ මුල් පරපුරක් මධුභාෂිණි රත්නායක වගේ අලුත් පරපුරක් අපිට ඉන්නවා.

ග්‍රේෂන් සම්මානය ගැන රාජ්පාල් අබේනායකගේ දරුණු විවේචනයක් තිබුණා. ඔහු කියා සිටියේ ඒ සඳහා පොතක් දවස් හතරෙන් ලියා දිය හැකි බවයි.
රාජ්පාල් කියන දේ තුළ ඇත්තක් තිබෙනවා. මොකද, ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තිබෙනවා. ඒක නැහැයි කියන්න බැහැ. එකිනෙකාගේ පිට කසා ගැනීමක් තමයි මෙතැන සිද්ධ වෙන්නේ.

ඉංග්‍රීසි පොත් ප්‍රකාශනයේ ගැටලු තිබෙනවා ද?
ඔව්. මොකද දේශීය ඉංග්‍රීසි පොත්වලට පාඨක පිරිස අඩුයිනේ.

ඇයි අපේ ඉංග්‍රීසි සමාජය දේශීය ඉංග්‍රීසි පොත් කියවන්නේ නැද්ද?
ඉතා ම සීමිත පිරිසක් තමයි කියවන්නේ.

අපි හිතන් ඉන්නේ ඉංග්‍රීසි සමාජය බොහෝම බුද්ධිමත් කියලනේ?
මොන පිස්සු ද? එහෙම හිතන කට්ටියකුත් ඉන්නවා. මහාචාර්ය ගනනාථ ඔබේසේකර කියන්නේ ප්‍රකට සමාජ විද්‍යාඥයෙක්. මේ ළඟ පාත ඉන්නවා රොබට් කියලා රස්තියාදු කාරයෙක්. ජීවිතය ග්‍රහණය කරගත හැකි ප්‍රමාණය අනුව ගත්තොත් මට කියන්න බැහැ, ගනනාථට තේරෙනවා, රොබට්ට තේරෙන්නේ නැහැ කියල.

ඔබේ ග්‍රේෂන් සම්මානය දිනු ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ පරිවර්තනයත් තවම පොතක් ලෙස පළ ව නැහැ.
ඔව් ඒකටත් තව ම අවස්ථාවක් ලැබුණේ නැහැ.

මේ පරිවර්තනයේදී ඔබේ ප්‍රවේශය වුණේ මොකද්ද?
විචාරකයකුට ඕනැ නම් පුළුවන් මේ නවකතාව බෞද්ධ ද, මාක්ස්වාදි ද, ෆ්‍රොයිඩියානු ද කියලා විග්‍රහ කරන්න. නමුත් පරිවර්තකයෙක් විදියට මං බැලුවේ මේක හරි අපූරු කතන්දරයක්. තල කීපයකින් දිවෙන ලස්සන කතන්දරයක්. මම අවධානය යොමු කළේ ඒකට.

මහගමසේකරගේ ‘ප්‍රබුද්ධ’ කවි පොතත් ඔබ පරිවර්තනය කරන්න ගත්ත නේද? ඒකට මොකද වුණේ?
තව පිටු කීපයක් තියෙනවා ඉවර කරන්න.

සිංහල පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරන වැඩපිළිවෙළක් පොදුවේ දක්නට ලැබෙන්නේ නැහැ. අවුරුද්දට ඉංග්‍රීසි උපාධිධාරීන් කී දෙනෙක් විශ්වවිද්‍යාල ඉංග්‍රීසි අංශවලින් පිට වෙනව ද?
ඒ අය ඉංග්‍රීසි ඉගෙන ගන්නේ වෙන මොනවහරි කරන්න. ඔවුන් පොත් පරිවර්තනයක් ගැන හිතන්නේ නැහැ. හැබැයි ඒකටත් ප්‍රතිභාවක් අවශ්‍යයි. මේක හැම කෙනාට ම කරන්න පුළුවන් දේකුත් නෙමෙයිනේ. දැන් නම් මගේ හිතේ කැලණිය විශ්වවිද්‍යාලයේ ‘පරිවර්තනකරණය’ උගන්වනවා.

ගාලු සාහිත්‍ය උලෙළ කියලා එකක් අපේ රටේ පවත්වනවා. ඒක ගැනත් යම් යම් විවේචන තියෙනවා.
ඔව්. විවේචන තියෙනවා.
මේකත් හරියට ග්‍රේෂන් සම්මානය වගෙ තමයි. ඒත් මගේ ආකල්පය නම් එවැන්නක් නොපවත්වනවාට වඩා පැවැත්වීම වැදගත් ය යන්න. මොකද, එහිදි අපිට ලෝක සාහිත්‍යයේ විවිධ ලේඛකයන් දැනහඳුනාගන්න අවස්ථාව ලැබෙනවා.

0 comments: