25 August 2015

පශ්චාත් මැතිවරණ රස කතා

"මෛත්‍රී-සර්කස්" නොහොත් ජනවරමෙන් පස්ස පිහදාගැනීමේ දේශපාලන සැණකෙළිය නරඹන්න ජනතාවට වරම් නැත. විඳින්නට පමණක් සිදුවනු ඇත. නිකුතුව 'ජනවරම' ලෙස නම් කරනු ඇත. 'විප්ලවයක්' ලෙසද එය අර්ථකථනය කර ගනු ඇත. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ටත්වය, ජනවරමට ගරු කිරීම, ජනතා පරමාධිපත්‍යය යනාදී වදන් තෙපලන්න හුරුව සිටි සියලු දෙනා නිහඬ වනු ඇත.  (Aug 17)

යුග පෙරලිය: කොරන යුගය අවසන් වී (කටු වැඩ නොකලත්) වේලාරත්න යුගය, වේලාරත්න යුගය අවසන් වී පින් යුගය, පින් යුගය අවසන් වී ප්‍රමාද යුගය, ප්‍රමාද යුගය අවසන් වී හරිය යුගය, හරිය යුගය අවසන් වී දැන් හිටං යුගය.

ඇමරිකාවේ රාජ්‍යය නිලධාරිනියක් සැනසීමට ම ඇමතිවරු තිදෙනෙක් පත් කල ආණ්ඩුවක්...මරු නේ ද?

මහින්දට රාජපක්ෂවාදියෙක් වෙන්න දශක ගානක් ගියා. මෛත්‍රීට මාස 8ක් වත් අවශ්‍ය වුනේ නැහැ රාජපක්ෂවාදියෙක් වෙන්න.

අගමැති පත්කරලා විපක්ෂ නායක පත් කරලා කතානයකත් පත්කරලා පාර්ලිමේන්තුවේ කක්කුස්සි හෝදන අයත් පත්කරලා ඊට පස්සේ මෛත්‍රිපාල ජනතාවකුත් පත් කරයිද?

20 ගෙනාවනම් මෛත්‍රී ගේ ජාතික ලැයිස්තු කෝලම බලාගන්න වෙන්නේ නැහැ.

ජවිපෙ ආ මග: 1 ආසනයයි 1994 දී (ප්‍රගතිශීලී පෙරමුණෙන්), 2000 දී ආසන 10 යි, 2001 දී ආසන 17 යි, 2004 දී ආසන 41 යි (ශ්‍රීලංනිපයේ පිහිටෙන්), 2010 දී ආසන 3 යි (ෆොන්සේකා ගේ පිහිටෙන්). අවසාන වතාවට තනිව තරඟ කර දිනාගත් ආසන 17 ට යන්න බැරිවිය 2015 දී. වසර 14ක් අපතේ යැව්වද කියලා ජවිපෙ සිතිය යුතුයි. ඒ කෙසේවෙතත්, රාජ්‍ය මාධ්‍යය සහ රාජ්‍යය දේපාල ද ආණ්ඩු බලයද මෙවර එජාපය මැතිවරණ ව්‍යාපාරය තුල දක්නට ලැබිණ (යහපාලන ඔස්තාර්ලට නොපෙනුනාට). එනම් මේ මැතිවරණය තුල ද රාජපක්ෂවාදය ක්‍රියාත්මක විය -- වෙනස නම් එය ක්‍රියාත්මක කලේ මහින්ද විරෝධී පිල යි. එබැවින්ම ජවිපෙට ලැබුන සෑම ඡන්දයක් ම, ජවිපෙ දිනාගන්න සෑම ආසනයක් ම, සෙසු ඡන්ද සහ ආසන වලට වඩා වටී. ජවිපෙ දැක්ම, ඉතිහාසය සහ දේශපාලන භාවිතය පිලිබඳ බොහෝ විවේචන ඇතත්, මෙම මැතිවරණයේ ජවිපෙ ක්‍රියාකාරිත්වය තුල යම් වැදගත්කමක් ඇති බව කිව යුතුයි.


ශ්‍රී ලාංකිකයින්ට කැකිරිලන්තයේ පුරවැසියන්ගෙන් සුභ පැතුම්!
"කැකිරිලන්තයේ අපෙන් ශ්‍රී ලංකාවේ සියලුදෙනාට නිදුක් නිරෝගී සුවය පතන අතර ජයග්‍රාහිකයින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම වෙනුවෙන් කැප වේ යැයි ප්‍රාර්ථනා කරන්නෙමු. ඒ හරහා ශ්‍රී ලංකාව කැකිරිලන්තයට සමාන ප්‍රජාතන්ත්‍ර හැඩයක් ගනීවි යැයි ද සිතමු." මෙසේ පවසන්නේ කැකිරිලන්තයේ නව ආණ්ඩුව පිහිටවූ සීමා රහිත පක්ෂයේ අද දින නායක සහ කැකිරිලන්තයේ අද දින අගමැති සමා කුන්ගක්කාර තුමා ය.

අස්කරන-පත්කරන ලෙඩේ දරුණු ලෙස වැළඳ ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟට මැකෝ අස්කරීමට සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසති. ඉන් අනතුරුව ලෙඩේ තවත් උත්සන්න වුවොත් සිරිසේන මහතා වැරදීමකින් තමන්වද අස්කරනු ඇත.

නිලනොවන මැතිවරණ ප්‍රතිඵල මෙන්ම නිලනොවන විභාග ප්‍රතිඵලද ඇති තරම් පොස්ට් කරන්න. එසේ කර තමන් මොහොතකට පිළිවෙලින් මැකෝ කෙනෙක් හෝ විකො (විභාග කොමසාරිස්) කෙනෙක් බව සිතා හීන් ම හීන් සිනහවක් පාන්න. 
සැ යු : සිනහව අගනා ඔසුවකි.
මෙම අවවාදය Thursday Forum සංවිධානයේ කැඳවුම්කරු ඒබ්‍රහම් ලින්කන් ගෙනි.

පහුගිය මාස 10 තුල යහපානලනය දවසට 279 වරක් වැමෑරූ මාධ්‍ය ඔස්තාර් වරු, විශ්වවිද්‍යාල පඬිවරු, රාජ්‍ය නොවන සංවිධාන අරක් ගත් 'දේශපාලන විචාරකයින්', ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ තානාපතිවරු ඇතුළු විද්වතුන් සියලුදෙනා 'යහපාලනකයාගේ යහපාලනය' ගැන කතා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

බ්රේකින් නිවුස්: මධුර ස්වරයෙන් 'යහපාලකයාගේ යහපාලනය' ගැන අගනා ධර්මදේශනයක් පැවැත්වීමට නියමිතව සිටි පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි 'ඉහලින් ආ ඇමතුමක්' සහ 'පහලින් වෑහී ගිය ලැජ්ජාවක්' හේතුවෙන් එම දේශනාව නොපැවැත්වීමට තීරණය කර ඇති සේක.

කාටද බහුතරය හිමි වන්නේ? කව්ද බහුතරයට අයත් වන්නේ? බහුතරය ඡන්දදායකයෝ වෙති. ඔවුන් අයත් වන්නේ දේශපාලන සෙල්ලම අහවර වී බලය හිමිවන අයට. හැමදාම රට පාලනය කරන්නේ සුළුතරයක්. බහුතරයෙන් කොටසක් ස්වයං මෝහනයේ පිහිටෙන් සතුටු වෙන අතර අනෙක් කොටස ස්වයං මොහොනය ම හේතුකොට ගෙන දුක් වේ.


මේ රටේ ජනතාව ජනවාරි 8 දා මහින්ද රාජපක්ෂට පාඩමක් කියල දුන්නා. ප්‍රජාතන්ත්‍ර විරෝධී, වෛරයෙන්ම සැදුම්ලත්, යහපාලනහි 'යයන්න' සිට 'හියන්න' දක්වා කිසිවක් නොදන්නා ජනතාව ගොනාට අන්දන්න හදන මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා-චම්පික හවුල ඉගෙන ගත යුතු යමක් ඇත. ඒ පාඩම ද කියල දෙන්න වෙන්නේ මේ රටේ ජනතාවයි. 

මහින්ද සහ ෆොන්සේකා 
ෆොන්සේකා 2005 ජනාධිපතිවරණයෙන් පරාජය විය. මහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාජය විය. ෆොන්සේකා ට උදව් කල ජවිපෙ වැලේ වැල් නැතුව 2010 මහා මැතිවරණයේ ෆොන්සේකා ගේ කොහොන්දෝ එල්ලිලා ජාමේ බේරාගත් ලෙසම මහින්දට උදව් කල සෙට් එකක් වැලේ වැල් නැතිව මහින්ද ගේ කොහෙන්දෝ එල්ලිලා ජාමේ බේරාගන්නා ලදී. 2010 දී එසේ ජාමේ බේරගත්ත ජවිපෙ ෆොන්සේකා ව අනාථ කල සේම 2015 දී මහින්ද ගේ පිහිටෙන් ජාමේ බේරගත්ත වුන් මහින්ද අනාථ කරමින් සිටී. ඉතිහාසයේ සරදමක් ද නැත්නම් කාව්‍යමය යුක්තියද මේ?

0 comments: