07 August 2015

චන්ද්‍රිකා තම පියා පුනරුත්ථාපනය කරයි





චන්ද්‍රිකා තම පියා පුනරුත්ථාපනය කරයි 

සිය පියාගේ දේශපාලන මුල්ම පාවා දීම පිලිබඳ අවිඥානික පස්චත්තාපය වසර 64 කට පසුව සවිඥානික ව ප්‍රකාශයට පත්කිරීම ගැන චන්ද්‍රිකා කුමාරතුංග නෝනට සියලු ශ්‍රී ලංකාවාසී ජනතාව ස්තුතිවන්ත විය යුතු වේ යැයි කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයේ නිල ඉතිහාසාඥ නිර්මාල් රන්ජිත් දේවසිරි පියතුමා වදාළ සේක.  වසර 10ක් හැංගි හොරා එජාපයට ආදරේ කල ඇය දැන් විවෘතව එම පක්ෂයට ප්‍රේම කිරීම ඇගේ මෙම පුනරුත්ථාපන උවමනාව පෙන්නුම් කරන බවද උන්වහන්සේ වැඩි දුර පැහැදිලි කල සේක.

ජවිපෙ ලකුණු 17කට වඩා රැස්කළ යුතුයි 
එළඹෙන අන්තර්-පාඨශාලීය ක්‍රිකට් තරඟාවලියේදී ජනතා විමුක්ති පෙරමුණ හමුවේ ඇති ප්‍රධාන අභියෝගය ලකුණු 17ක් රස කර ගැනීම බව සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂය අද දින ක්‍රිකට් කළමනාකරණ ප්‍රධානී පර්සි අබේසේකර මහතා ගේ මතය වේ.
2001 තරඟාවලියේ දී ලකුණු 17ක් රැස්කරගත් ජවිපෙ මෙවර ඊට වඩා ලකුණු සංඛ්‍යාවක් නොගන්නේ නම් අවුරුදු 14ක් නාස්ති කල බව ඔවුනට පිළිගන්නට සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.

නන්දන පෙරේරා ට උම්මත්තකයින්ගේ ප්‍රණාමය!
ශ්‍රී ලංකාවේ දේශපාලන මොහොත සහ ඡන්දදායකයා මුහුණ දෙන අභියෝගය පැහැදිලි කිරීම පිළිබඳව නන්දන පෙරේරා ට සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂය ස්තුතිවන්ත වන බව එම පක්ෂයේ අද දින ක්‍රිකට් කළමනාකරණ ප්‍රධානී පර්සි අබේසේකර මහතා සඳහන් කරයි. 

නන්දන ගේ කෙටි කියවීම:  
(ඩීකන්ස්ට්‍රක්ටිං ඩිමොක්‍රසි)
අද අප රටෙ දේශපාලන කතිකාවෙ ප්‍රධාන මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදයයි. පොදු ජනතාවගෙ අභිප්‍රාය විය යුත්තෙ ඒකාධිපති පාලකයන් පරාජය කර දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි කර ගැනීම විය යුතු යැයි කියවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලකයන් ජනතාවගේ කැමැත්ත පරාවර්තනය වන ආකාරයට තීන්දු තීරණ ගැනීමෙ දේශපාලන විධික්‍රමයක් යැයි ජනතාවට පිලිගැන්වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු කිසි සේත් ම පාලකයන් දේශපාලනයට යොදා ගන්නා විධි ක්‍රමයක් නොවේ. පාලකයාගේ විධි ක්‍රමය බලයි. බලය හා බලයම පමණි. පාලකයාගේ බලය කලින් කලට දුර්වල කිරීමට ජනතාවට ඇති ඉතා සීමිත දුර්වල උපකරණයක් ලෙසින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දැක්විය හැක. 

මේ අර්ථයෙන් පසුගිය ජනවාරි 8වනදා මහින්දගේ හොර නඩය පන්නා දමන්නට මෛත්‍රීට කතිරය ගැසීමත්,

එළ‌‌බෙන අගෝස්තු 17වනදා රනිල්ගේ හොර නඩය පන්නා දමන්නට මහින්දට කතිරය ගැසීමත් සංගතව තේරුම් කල හැක. 

එසේම “ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ප්‍රබල විපක්ෂයක් සඳහා ජවිපෙට” කතන්දරයේ අර්ථ විරහිත බවද පැහැදිලි කල හැක.(විපක්ෂ අවශ්‍ය පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය තුල ක්‍රියා කරනවා නම් පමණි)
මේ පශ්චාත් නූතන ප්‍රජාතන්ත්‍රවාදයයි එහි මහ රජාලා නැත, අප්පච්චිලා නැත, යහපාලන නැත, කාට වත් මහ ලොකු මනාපයක් නැත. නහය තදින් වසා ගෙන, මේ මොහොතේ අමනාපය සිහි කර ගෙන කතිරය ගැසීම හැර වෙනත් විකල්පයක් ප්‍රජාතන්ත්‍රවාදයේ නැත. ඊට පසු කටේ ඉතුරු වී ඇති තිත්ත රසය මග හරවා ගන්නට අවශ්‍ය නම් අජිත් කුමාරසිරිගේ
“දේසපාලන පකයෝ මම ඔයාට මනාපෙ දෙන්නෙ නෑ”
ගීතය ඡන්දය දී ආපසු එන ගමන් ගායනා කල හැක.

පැරදුණ අපේක්ෂකයින් ට වඩා හොඳ හෙට දිනක්!
ශ්‍රී ලංකාවේ මහා මැතිවරණයෙන් පරාජිත වුවන් කම්පා විය යුතු නැත. කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ මැදිහත්වීමෙන් දෙනාට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලැබෙනු ඇත. ඉන් අනතුරුව එම රටේ ඕනෑම මට්ටමක ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩා කිරීමට ඔවුනට අවස්තාව ලැබෙනු ඇති බව එම පක්ෂයේ අද දින නායක එෆ්. සී ද සේරම් මැතිතුමා පවසයි. මේ අවස්ථාව උදාකරදීමට එංගලන්තයේ ක්‍රිකට් පිල බෙහෙවින් දායක වූ බවද ඔහු සඳහන් කළේය.





0 comments: