05 March 2016

රාජපක්ෂ-භීෂණය නැවත හිස ඔසවයි , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසුරුවයි


"කැකිරිලන්තයේ මීළඟ පුවත්" ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති' එකතුවකි මෙලෙස ඉදිරිපත් කරන්නේ 



නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසුරුවයි

මාධ්‍යවේදියෙකු අහපු සරල ප්‍රශ්නයකට උත්තර නොදී ද්වේශසහගතව ඔහුට බැණ වැදුණු ඇමතිවරයෙකුට විරුද්ධව උද්ඝෝෂණ සංවිධාන කිරීම කෙසේ වෙතත් අඩුම තරමින් ඔහු ගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කිරීමට පවා නොහැකිව අසරණ වී ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසුරුවා දැමීමට එම සංවිධානයේ ප්‍රධානීන් තීරණය කර ඇත.


ජනතාවට විස කැවීමට වීදි බසින ජවිපෙට පොහොට සමාගම් උපහාර පුදති
ගොවීන්ගේ පොහොර සහනාධාරය ආරක්ෂා කිරීමේ මුවාවෙන් ජනතාවට දිගින් දිගට ම වස විස කවන ක්‍රියාවලිය ට එඩිතරව මුහුණ දෙන අනුර දිසානායක සහෝදරයා ප්‍රධාන ජනතා විමුක්ති පෙරමුණට බහුජාතික පොහොර සමාගම් කිහිපයක නියෝජිත පිරිසක් සිය කෘතඥතාවය පුද කර ඇත.

මෙසේ ජවිපෙ එම සමාගම් වල පැසසුමට ලක් ව ඇත්තේ ඉහත නියෝජිතයෙක් අහම්බෙන් අනුර සහෝදරයා හමුවූ අවස්ථාවක දී ය. ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ අනුර කුමාර සහෝදරයා සිරිකොතට එහි පස්සා දොරෙන් ඇතුළු වන විට වස විස නොමැති ප්‍රණීත ආහාර වේලක් එන්ජෝයි කිරීමෙන් අනතුරුව වොෂ්රූම් එක වෙත යමින් සිටි පොහොර සමාගම් ලොක්කෙක් ඔහුගේ ඇඟේ හැප්පී දෙන්නා දෙන්නට 'සොරී' කියා ආගිය තොරතුරු අසා ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණේ අද්විතීය කැපවීම පිලිබඳ සමස්ථ බහුජාතික ප්‍රජාව මවිතයට පත් ව ඇති බව එම ලොක්කා එම සහෝදරයාට පවසා ඇත.

'වස විස නැති රටක්' ප්‍රදර්ශනය ට ජවිපෙ විදෝධය 

තිරසාර සංවර්ධනය, වස විස නැති ගොවිතැන යනාදිය තේමා කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මාර්තු 6,7 සහ 8 දිනයන්හි පැවැත්වීමට නියමිත වෙළඳ ප්‍රදර්ශනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් එම පක්ෂයේ තීරණය මෙසේ පැහැදිලි කළේය:

"මෙය කුමන්ත්‍රණයක්. මෙවැනි පසුගාමී අදහස් සමාජගත වුනොත් මොකද වෙන්නේ? පොහොර සමාගම්, කෘමිනාශක සමාගම් මේ රට ඇත හැරලා යනවා. රසායනික යෙදවුම් වෙළඳ පොළෙන් ඉවත් වුනොත් මොනවාද වෙන්නේ? අහිංසක ගොවීන් පොහොර සහනාධාර ඉල්ලන එක නිරර්ථක වෙනවා. අපේ රටේ අහිංසක ගොවීන් ගේ බඩට ගහන්න තමයි මේ හදන්නේ. විප්ලවවාදී පක්ෂයක් හැටියට අපි මේකට සහමුලින්ම විරුද්ධ යි."

රාජපක්ෂ-භීෂණය නැවත හිස ඔසවයි
පහු ගිය සති කිහිපය තුල මාධ්‍යයෙන් වාර්තා කරන ලද සියලු වෙඩි තැබීම්, පැහැර ගැනීම්, පහර දීම්, උඩ මහල් වලින් තල්ලු කිරීම් යනාදී සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වලට වග කිව යුත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මැර කණ්ඩායම් බව අනාවරණය වී ඇත වී ඇත. මේ තත්ත්වය හමුවේ රටේ නීතිය සහ සාමය රාජපක්ෂවරුන්ගෙන් ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා බව වෛරී සිරිසේන ජනපති ද බලු පාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ද තීරණය කර ඇත.

කිරිඇල්ලේ ජනපති කමට ලක්ෂ්මන් කිරිඇල්ලේ ඇමතිතුමා ශ්‍රී ලංකාවේ ජනපති තනතුරට පත් කරන්නැයි අත්සන් දස ලක්ෂයක සන්දේශයක් අද විනිසුරු වෙත යැවීමට කටයුතු සූදානම් වෙමින් ඇත. "අනෙකුත් සුදුසුකම් සපුරා ඇත්නම් වයස් සීමාව පිළිබඳ නොසළකා"' ඔහුට මෙම රැකියාව ලබා දෙන්නැයි එම සංදේශයෙන් කියවේ.

0 comments: