30 September 2016

සර්පයා සමග සංසාරාරණ්‍යයේ දඩයමක

මීට වසර කිහිපයකට පෙර මා මිත්‍ර කේ.කේ.සමන් කුමාර (සර්පයා) මා සමග කළ සාකච්ඡාවක් (රාවය පුවත් පත සඳහා)

මේ වන විට ‘ද නේෂන් ’ පුවත්පතේ සංස්කාරකවරයා වන, ඉංග්‍රීසි මෙන්ම සිංහල යන ද්විභාෂාවෙන්ම කටයුතු කරන පුවත්පත් කලාවේදියකු , කවියකු හා විචාරකයකුද වන මාලින්ද සෙනෙවිරත්න සයිමන් නවගත්තේගමගේ අග්‍ර කෘතිය වූ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ඉංග්‍රීසියට නගමින් සිටින බවට රාවයක් පැතිර ගියේ බොහෝ කලක සිටයි.

සාහිත්‍යකාමී බොහෝ දෙනෙක් ඒ ගැන කතා කළේ ඉමහත් සොම්නසින්. එම පරිවර්තනයට හොඳම පරිවර්තනය සඳහා හිමි 2011 වසරේ ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය හිමිවුණා. මේ වන විට ඔහු මහගම සේකරයන්ගේ අග්‍ර කෘතිය වන ප්‍රබුද්ධ ආඛ්‍යාන කාව්‍යය ඉංග්‍රීසි බසට නගමින් සිටිනවා. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා විශ්ව සාහිත්‍යයේ නිම්වළල්ල ඉහළින් නැකත් තාරුකාවක් සේ දිදුලන්නට පෙරුම් පුරනා මේ සුභ මොහොතේ අප මාලින්ද හමුවුණේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පරිවර්තනය පිළිබඳ ඔහුගේ අත්දැකීම් බෙදා හදා ගන්නයි.

සර්පයා- මාලින්ද කොහොමද සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පරිවර්තනය කරන්න පෙළඹුණේ, ඒක හදිස්සියෙ වෙච්ච දෙයක්ද, කාලාන්තරයක් තිස්සෙ වෙච්ච දෙයක්ද?...... ඇයි එහෙම පෙළඹීමක් ආවෙ?


මාලින්ද- ඕක අපේ ගෙදර තිබ්බ පොතක්. මොකද සයිමන් නවගත්තේගම මහත්තයා අප්පච්චිගෙ යාලූවෙක්. ඔය පොත තිබ්බා ගෙදර. පොත තිබ්බට මම කියෙව්වෙ නෑ. මට ඔය පොත ගැන තිබ්බ එකම මතකය තමයි අප්පච්චි දවසක් කිව්වා මට ‘මම මේ පොත කියෙව්වා ...මම පිටු විසිපහක් විතර කියෙව්වා ... මේකෙ නාගකන්‍යාවත් එක්ක තියන ගනුදෙනුව ...සංසර්ගය කියන කාරණය මේ තරම් ලස්සනට ලියලා තියනවා මම කොතනකවත් දැකලා නෑ’ කියලා.....‘කියවලා නැහැ’යි කියලා ‘...ඒක ඒ තරම් ලස්සනයි. එතනින් එහාට ඒක කියවන්න මට ඕනෙ කමක් තිබුනෙ නෑ’යි කියලා.

සර්පයා- මාලින්දගෙ තාත්තා කවුද?

මාලින්ද- අප්පච්චි ගාමිනී සෙනෙවිරත්න...එයා පරිපාලන සේවයෙ හිටපු කෙනෙක්. සිලෝන් සිවිල් සර්විස් එකේ රිටායර් වෙච්ච අවසන් එක්කෙනා. එයා ඉංග්‍රීසි සාහිත්‍යය තමයි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගත්තෙ. ඉංග්‍රීසියෙන් කවි ලියලා තියනවා . පොත් කීපයක්ම පළ කරලා තියනවා. එක කාලෙක ඬේලිනිව්ස් එකට, ඔබ්සර්වර් එකට විචාර ලිපි ලියලා තියනවා නාට්‍ය ගැන එහෙම... නාට්‍යයක් බලලා ලූම්බිණි එකේ, නිහාල් රත්නායක මහත්තයගෙ ගෙදර ගිහින් විචාරයක් ලියලා තමා එන්නෙ. ....එහෙම කාලයක් තිබුණා එයාගෙ. එයා හැටේ හැත්තෑවෙ දශකවල සාහිත්‍ය සමාජෙ හිටපු කෙනෙක් ..........කොහොමහරි එච්චරයි මට ඔය පොත ගැන මතක . මම පොත කියවලත් නෑ. පස්සෙ මම ඇමරිකාවෙ පශ්චාත් උපාධි පාඨමාලාව කරද්දි.....

සර්පයා- මාලින්ද මොනවද පශ්චාත් උපාධියට කළේ ?

මාලින්ද- මම සමාජ විද්‍යාවනෙ කළේ ... සාහිත්‍යය නෙමෙයි. මං සාහිත්‍යය ඉගෙන ගත්තෙ ඒ ලෙවල්වලට. ඉංග්ලිෂ්  ලිට්‍රෙචර් කළේ ඒ ලෙවල් සෙකන්ඞ් ෂයි..

සර්පයා- මාලින්දත් ද්විභාෂික අධ්‍යාපනය ලැබුව කෙනෙක් නෙමේනෙ අපි වගේම . මාලින්දගෙ ඉංග්‍රීසි පවුල් පසුබිමින්ද හැදුනෙ?

මාලින්ද- ඔව් ගෙදර පසුබිමෙන්.....මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තෙ. ඒ කියන්නෙ ඒ ලෙවල් කළේ සිංහල. කැම්පස් ගියාට පස්සෙ තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තෙ. හැබැයි ද්විභාෂිකව තමයි මං හැදුනෙ . ඒකෙත් පුදුම වැඬේ කියන්නෙ සිංහල සාහිත්‍යය හොඳට දන්න කෙනෙක් වුනත් අප්පච්චි පොඩිකාලෙ ඉඳන්ම වැඩිපුර මං එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. අම්මා ඉංග්‍රීසි සාහිත්‍යය ඒ ලෙවල් උගන්නපු කෙනෙක් වුනත් අම්මා නැතිවෙන කල්ම වැඩිපුරම මං අම්මත් එක්ක කතා කරන්නෙ සිංහලෙන්..... මව් භාෂාව කියන්නෙ.... ඒක නිසා වෙන්න ඇති.

සර්පයා- මාලින්දගෙ යුනිවර්සිටි එක මොකක්ද?

මාලින්ද- මං පේරාදෙණියෙනෙ හිටියෙ. පේරාදෙණිය වැහුනනෙ... වැහිච්ච කාලෙ මට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා මම හාවඞ් විශ්ව විද්‍යාලෙට ගියා. ඊට පස්සෙ ආයි ලංකාවට ඇවිල්ලා ගොවි කටයුතු පර්යේෂණ ආයතනයෙ කාලයක් වැඩ කළා ...එතනින් ඉන්ටඩික් වුණා. ඊට පස්සෙ මම ආයි ඇප්ලයි කරලා ඇමරිකාවට ගිහිල්ලා පීඑච්ඞී එකට හැදෑරුවා ... කොහොමහරි මම අන්තිමට හිටපු විශ්ව විද්‍යාලෙ කෝනෙල් විශ්ව විද්‍යාලෙ......එහෙ ඉගෙන ගත්තෙත් සමාජ විද්‍යාව.....ඒ කාලෙ... කෝනෙල් විශ්ව විද්‍යාලෙ සිංහල උගන්නනවා . මමත් සිංහල ඉගැන්නුවා කාලයක් . ඒකෙ දකුණු ආසියාවෙ හොද පොත් එකතුවක් තියනවා පුස්තකාලෙ . කවදාවත් කියවන්න බැරිවෙච්ච සිංහල සාහිත්‍යයක් මට එතෙන්දි හම්බ වෙනවා . ඇමරිකාවෙ. ඒක හරි පුදුම දෙයක්. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා මම දැකලා මං ඉතින් අරන් කියෙව්වා. ඔය කියවන අතරෙ ඒ කාලෙ ජර්මානු අධ්‍යයන අංශයෙ ජෙෆ් වේට් කියලා මහාචාර්යවරයෙක් ඉගැන්නුවා. ඒ පංතියෙ තේමාව තමා මාක්ස් , නිට්ෂේ, ප්‍රොයිඞ්. පීඑච්ඞී ශිෂ්‍යයන් හැටියට අපිට තිබ්බෙ පොඩි අභ්‍යාසයක්. කියවන්න නියමිත පොත්, එදා දේශනේදි කියවෙච්ච දේවල්වලට, සාකච්ඡා වෙච්ච දේවල්වලට අදාලව සටහනක් කරගන්න. ජර්නල් එකක් වගේ තමයි පවත්වාගෙන යන්න තිබ්බෙ . ඔය පංතිවලට යන අතරෙ තමයි මම මේ සංසාරාරණ්‍යයේ පොත කියෙව්වෙ.

සර්පයා- ඇයි ඒක කියවන්න පෙළඹුණේ?

මාලින්ද- නෑ ඉතින් මම නිකං කියෙව්වා. කියවද්දි...

සර්පයා- ඔය මොන අවුරුද්දෙද?
මාලින්ද- 1998දි විතර. කියවගෙන යද්දි එක දවසක්.... ඉතින් මේ අභ්‍යාසය කරන්න එපෑ . ජර්නල් එක ලියන්න එපෑ. මට මතක නෑ එදා සාකච්ඡාවෙදි කතා වුණේ මොකක්ද කියලා . නමුත් අර පොතේ තිබ්බා එක විස්තරයක් . ඒකෙ එක තැනක් තිබ්බා අර වැද්දෙක් ගැන කතාවක්.... වැද්දෙක්ට කවුද ඊතලේකින් විදලා ....කොහෙන්ද මේ ඊතලය ආවෙ....ඇයි මේ විද්දෙ, ඒ විෂට වැද්දා මැරෙනවා . මට ඒක එකතු කරන්න ඕනෙ වුණා මගෙ සටහනට. මොකද ඒක අදාලයි. ඒත් සිංහලතෙරෙන්නෙ නෑ අපේ මහාචාර්යවරයට. ඉතින් මම ඒක පරිවර්තනය කළා ඉංග්‍රීසියට. ඒක එච්චර අමාරුවක් වුණේ නෑ. ටක් ගාලා පරිවර්තනේ වුණා. එහෙම වුණ හින්දා මම හිතුවා මේක පරිවර්තනය කරන්න පුලූවන්ද දන්නෑ කියලා. මං මුල ඉඳලා පරිවර්තනේ කරන්න ගත්තා. මම එක දිගට කොහොමහරි පරිච්ෙඡ්ද දෙකක් විතර පරිවර්තනේ කළා ඒ දවස්වලම. මම ඒක ඊමේල් කළා ලියනගේ අමරකීර්තිට. එයා ඒ දවස්වල විස්කොන්තින්වල පීඑච්ඞී එක කරනවා. එයා මාව උනන්දු කළා මේක දිගටම කරගෙන යන්න කියලා. ඒ කාලෙ දිවයිනටත් ලිපියක් ලියලා තිබුණා ලංකාවෙ විශ්ව විද්‍යාලවල ඉංග්‍රීසි අංශවලින් උපාධිධාරියො කොච්චර එළියට දානවද, එක පරිවර්තනයක්වත් කරන්නෙ නෑනෙ කියලා. එයා ස`දහන් කරලා තිබුණා එයා මාව මේකට උනන්දු කළා කියලත්. මාලින්ද සමාජ විද්‍යාව හදාරන්නෙ. අනිත් එක එයා ඉගෙන ගත්තෙ ලංකාවෙ විශ්වවිද්‍යාලෙකත් නෙමේ ...ඔන්න ඕවගෙ කතාවක්... ඉතින් මාත් මේක දිගටම කරගෙන ගියා. මාත් ඉතින් හරි කම්මැලි චරිතයක් . ඉගෙන ගන්න පොත් කියවන්න කම්මැලියි...කෙටිකතා එහෙම තමයි කියවන්නෙ. මං කැමතිත් කවි එහෙම ලියන්න. කම්මැලි හින්දද දන්නෙ නෑ. ලොකු පොත්වලට මං කැමතිම නෑ. මේක පුංචි පොතක්නෙ. කොහොමහරි කොයිම වෙලාවකවත් ඒක අමාරුවක් වුණේ නෑ. මං හිතන්නෙ ඒකට හේතුව .... හේතුවක් කියලා කියන්නත් බෑ. කොහොම හරි මං සිංහල සාහිත්‍යය එච්චර කියවපු කෙනෙක් නෙමේ. ලොකු පොත් නං මං කියවන්නෙම නෑ...... තේරෙන්නැති වචන මම වයිෆ්ගෙන් ඇහුවා. මොකද එයා පොඩි කාලෙ ඉඳලා සිංහල සාහිත්‍යය හොදට කියවපු, හොදට ලියන්න පුලූවන් කෙනෙක්. පළ වුණේ නැති වුණාට එයා පොඩි කාලෙ ඉදලම නවකතා එහෙම ලියලා තියනවා. ....කොහොමහරි ඕක ඉවර කර ගත්තා . ඉවර කරලා ඕක අමතක වුණා. ඊට පස්සෙ මම ලංකාවට ආවහම සයිමන් හම්බවෙලා පොත දුන්නා. 2000දි. ඒ කාලෙ තිබුණෙ ප්ලොපි ඩිස්ක්නෙ. පෙන් ඩ්‍රයිව් මොකුත් නෑනෙ. මම සොප්ට් කොපි එකයි ප්‍රින්ට් අවුට් එකයි දුන්නා. කොහොම හරි සයිමන් ඒක නැති කරගෙන . සොෆ්ට් කොපි එකයි ප්‍රින්ට් අවුට් එකෙන් තුනෙන් දෙකක් විතර නැති කරගෙන. කොපි එකක් මගෙ අතෙත් නෑ. සයිමන් ඒ කාලෙ කිව්වා ...හො`දයි, කරමු කියලා. ඊට පස්සෙ මම රස්සාවට ගියා. ඊට පස්සෙ අස්වුණා. ආයි ගොඩක් තැන්වලට ගියා. ඒ හැම තැනකින්ම එකේක ප්‍රශ්න උඩ මම අයින් වුණා. අන්තිමේ මම තීරණය කළා රස්සා කරන්න බැරුව ඇති කියලා මට. ඒ දවස්වල මම නිදහස් ලේඛකයෙක් හැටියට සතියකට ලිපි 11ක් ලියනවා.


සර්පයා- ඉතින් කම්මැලියි කියන්නෙ බොරුනෙ?
මාලින්ද- කම්මැලියි කියන්නෙ කියවන්නනෙ. ලියන්න කම්මැලි නෑ. දොස්තරලා ඉන්නෙ දවසට ලෙඞ්ඩු සිය ගානක් බලන. ගණිකාවො ඉන්නෙ දවසට මිනිස්සු දහයක් එක්ක විතර බුදිය ගන්න. ඉතින් මං සතියකට ලිපි එකොලහක් ලිව්වහම ඕක මහ දෙයක් නෙමේ. ලියන එක අමාරු වැඩක් නෙමේ මං කියන්නෙ. ඊටත් මට පුලූවන් දේනෙ. ඉතින් ඔහොම ඉන්නකොට ඔබ්සර්වර් එකේ රංග චන්ද්‍රරත්නයි ඉන්දීවරයි මට කිව්වා ලියන්න කියලා. මං ඇහුවා මේක පරිවර්තනේ කරන්නද කියලා. ඊට පස්සෙ පල්ලියගුරු මහත්තයාගෙන් පොතක් ඉල්ලලා මට දුන්නා . ඉතින් ඒ පොත හැම සතියෙම මම... බ්‍රහස්පතින්දට ඒක යවන්න ඕනෙ. බදාදට විතර උන් කෝල් එකක් දීලා මතක් කරනවා. ඉතින් කොහොමහරි ඕක ලියවුණා. මාස හයක් හතක් යනකොට වැඬේ ඉවර වුනා. මං දන්නෑ වඩාත් හො`දට ලියවුනාද කියලා ඔර්ජිනල් එක මගෙ අතේ නෑනෙ සයිමන් නැති කර ගෙනනෙ.

සර්පයා- ඒ පරිවර්තනයට හොදම පරිවර්තනය සදහා 2011 ග්‍රේෂන් සම්මානය හිමිවුණා?
මාලින්ද- ග්‍රේෂන් භාරකාරයෙන් දෙන සම්මානයක් ඒක.  එච්.ඒ.අයි. ගුණතිලක සම්මානය.  මං ගාව පෙළක් තිබ්බ නිසා මම පරිවර්තන අංශයට ඒකෙ ප්‍රින්ට් අවුට් එකක් අරන් යැවුවා.  ඒකට හොදම පරිවර්තනයට හිමි සම්මානය ලැබුනා.

සර්පයා- අපේ රටේ එකිනෙකට නොපෑහෙන විවිධ මතවාද, කල්ලි කණ්ඩායම්, ගුරුකුල ඒ කියන්නෙ ජාතිකවාදී, මාක්ස්වාදි, නූතනවාදි, පශ්චාත් නූතනවාදි, ප්‍රොයිඞ්වාදි, සාංදෘෂ්ටිකවාදි, බෞද්ධ වගේ විවිධාකාර න්‍යායවලින් දේවල් දකින හැමෝම සංසාරාරණ්‍යයේ වි`දිනවා , විවේචනය කරනවා, කතිකා කරනවා. කොහොමහරි මේ හැමෝටම මහා පොදු සාධකයක් මේ පොතේ තියනවා. හැමෝටම කෑල්ලක් තියනවා. කෙලෙස් දඩයම් කිරීම, ආශයන් මර්ධනය, පුරුෂාධිපත්‍යය , ස්ත‍්‍රී පීඩනය, පවුලේ විකාශනය, පංති අරගලය ආදී වශයෙන් විවිධ කෑලි හැමෝටම තියනවා.

මාලින්ද- මට මතකයි 1996 -97 විතර මහගමසේකර ගැන වැඩ සටහනක් තිබුණා පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ. එතෙන්දි සමන් පුෂ්ප කුමාර හොඳ කතාවක් කළා. එයා කතා කළේ මහගමසේකර කාටද අයිති කියලා. එයා කිව්වෙ සමහර කට්ටියට මහගමසේකර මාක්ස්වාදියෙක්. තවත් අයට බෞද්ධයෙක්. ජාතික චින්තනකාරයන්ට එක තමයි ජාතික චින්තනේ. ඉතින් සේකරගෙ හැමෝටම කොටසක් තියනවා. මට අනුවත් ප්‍රබුද්ධ තමයි ජාතික චින්තනය. මම ප්‍රබුද්ධ පරිවර්තනය කරගෙන යනවා. මුලින් අවුරුදු ගානකට කලින් සේකරගෙ පුතා මට කිව්වා ඒක පරිවර්තනය කරන්න කියලා. මට ඒ වෙලාවෙ හිතුනා ඒක පරිවර්තනය කරන්න බෑ කියලා. ඒත් මං දැන් හිතනවා පුලූවන්. කියලා.....ෂේක්ෂ්පියර්ගෙ සමස්තය ගත්තහම හැමෝටම කොටසක් තියනවා.

ඉතින් ෂේක්ෂ්පියර්ත් එහෙමයි. ෂේක්ෂ්පියර්ව කියවන්න පුලූවන් රොමෑන්ටික් කියලා කෙනෙක්ට. ඒක පුරුෂ සමසරාගිකයි කියලා තවත් කෙනෙක් කියන්න පුලූවන්. මාක්ස්වාදී කියලා කෙනෙක් කියන්න පුලූවන්. තවත් කෙනෙක්ට ඒකෙ පංති අරගලය දකින්න පුලූවන්. මානවීය දේවලූත් තියනවා. ....මම ඔය තියරි වැඩිය කියවලා නැති නිසා භාෂාව බර වෙන කොට මට අප්පිරියයි කියවන්න. මම කියවන් නෑ. සමාජ විද්‍යාව පීඑච්ඞී එකට ඉගෙන ගන්න කාලෙත් මම කිව්වෙ මාක්ස් එංගල්ස් කළේ ලියුම් හුවමාරුවක්නෙ. ඒක කියෝලා මිනිස්සු ලොකු තියරියක් හදා ගත්තා මාක්ස්වාදය කියලා. අපිත් එහෙම කතා කර කර හිටියොත් හොඳයි නේද කියලා.

සර්පයා- හැබැයි සංසාරාරණ්‍යයේ දඩයක්කාරයත් ඒ වගේ බර කෘතියක්නෙ...

මාලින්ද- මම කියන්නං ඒකෙ වෙනස. මම කියෙව්වෙ ඔය මොන කෝණයකින්වත් නෙමෙයි. මට ඒක කතාන්දරයක්. කතන්දර තියෙන්නෙ... දුවන රැවුල වගේ. දුවන රැවුලටත් මාක්ස්වාදී අර්ථකථනයක් දෙන්න පුලූවන්නෙ ඕන්නං. මම කියපු අර මහාචාර්යවරයා කිව්වා ඔබ ඕනැ ප්‍රශ්නයක් ඇහුවොත් මට පුළුවන් ප්‍රොයීඩියන් අර්ථකථනයක් දෙන්න, ඕනෙනං මාක්ස්වාදී අර්ථකථනයක් දෙන්න, නියෙට්ෂියානු අර්ථකථනයක් දෙන්න .... ඉතින් අපිට ඕනෙම විග්‍රහයක් කරන්න පුලූවන්. බෞද්ධ විග්‍රහයක් කරන්නත් පුලූවන්. වැලි කැටයක විශ්වය දකින්න පුලූවන් නම් ඕනෙම දේක ඕනෙම දෙයක් දකින්න පුලූවන්. මේ ලෝකෙ රූපකවලින් පිරිලා, හරි පෝසත් . වචන ටිකක් දන්නවා නම්, භාෂාව හසුරුවන හැටි දන්නවා නම් මේක අසීමිතයි. ලියන එක අමාරු නෑ. මේක මගෙ කම්මැලිකමත් නොතේරුම් කමත් වෙන්න ඇති. නමුත් මේක තමා මට සැප. අපි සැපනෙ ගන්නෙ හැම දේකින්ම. බුද්ධාගම ගත්තත් ජාතක කථා මට ලස්සනයි අභිධර්මෙට වැඩිය. ඉතින් මම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයත් කියෙව්වෙ කතන්දරයක් හැටියට. කතාන්දර අහන්න ආසයි මම. කියවන්න ආසයි. අපි ගන්න ප්‍රමාණය අඩු වැඩි වෙනවා ඇති ඒ හින්දා අපි අධ්‍යයනයක යෙදිලා නැති නිසා. මම සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කියෙව්වෙ ඔය එක කෝණයකින්වත් නෙමෙයි. මේක ලස්සන කතන්දරයක්. මගෙ අවධානය රඳවා ගන්න සමත් වෙච්ච ආඛ්‍යානයක්. මුල ඉඳලා අගට. මේක හරි රහයිනෙ කියවන්න. ඉතින් මං කියෙව්වා . මම මං දන්න භාෂාවෙන් ඒක පරිවර්තනේ කළා. මම බැරි වෙලා හරි මාක්ස්වාදී දෙයක්ද මේ කියලා හිතුවානං .........මට ඔය එක දර්ශණයක්වත් ලොකුවට ඔලූවෙ තිබුන් නෑ. බුද්ධාගම තිබ්බා බුද්ධාගම තිබ්බ නිසා එකක්කත් බරට ගත්තෙ නෑ. බුද්ධාගම මට අලූත් ඔය අලූත් කියන සේරටම වැඩිය. බුද්ධාගමට ඇලෙන්නෙ නෑනෙ. තියනවා තමයි. ඉතින් තිබ්ච්චාවෙ. මහ දෙයක්ද? අපි ඉමු. ඉතින් මට ඒ කෘතිය තුළ අඩංගු දාර්ශණික දහරාවන් මට පෙනුන් නැති වෙන්න පුලූවන්. පෙනුනත් ඒවට ඇලූන් නැති වෙන්නත් පුලූවන්. ඔය දෙකින් මොකක්හරි දෙයක් නිසා මම මේක කතන්දරයක් හැටියට ගත්තෙ. කතන්දරයක් හැටියට මම ලිව්වා. ඉතින් මේකෙන් ලොකු දෙයක් ඔයාට ගන්න බෑ ඒ අර්ථෙන් ... ගන්න මනුස්සයා තමන් ඉන්න තැන ඉ`දලා ඒ ඕනෙ දෙයක් ගනී. ඕනෙම දෙයක් අපිට කියන්න පුලූවන්නෙ. මේ ගිනිපෙට්ටිය අපිට මාක්ස්වාදයෙන් විස්තර කරන්න බැරි නෑනෙ. මේකෙ ගිනිකූර තියනවා, ගිනිපුපුර තියනවා, ඉස්ක්‍රා තියනවා.... මොනවද කියන්න බැරි දුම්කොල සමාගම තියනවා, ධනවාදය තියනවා. ඒ එක්කම අනිත්‍යය තියනවා. ඇතිවීම නැතිවීම . සංගීතඥයෙක්ට මේක සංගීත භාණ්ඩයක්. ඒ වගේම තමයි පොත.


සර්පයා- බුදුදහමේ සැරියුත් මුගලන් හරහා නියෝජනය වූ ශ්‍රද්ධා මාර්ගය හා ප්‍රඥා මාර්ගය හීනයානය හා මහායානය වශයෙන් ධ්‍රැවීකරණය වුණා. කලාව තුළත් මෙම මාර්ග දෙකම දක්නට තිබෙනවා. හදවත ඔස්සේ බුද්ධියට වගේම බුද්ධිය ඔස්සේ හදවතට යනුවෙන් මාර්ග දෙකක් හැමදාමත් කලාව තුළ ශ්‍රද්ධා මාර්ගය හා ප්‍රඥා මාර්ගය අනුව පැවතුණා. ගෑනු ගත්තත් එහෙමයිනෙ. අපිත් එහෙමයි. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා අයත් වන්නේ මහායානික ප්‍රඥා මාර්ගයට වගේම කලාත්මක තාක්ෂණය අතිනුත් ප්‍රඥා මාර්ගයට. හුදී ජන පහන් සංවේගය උදෙසා කිව්වට එහෙම වුණේ නෑ. ජයසේන ජයකොඩි නියෝජනය කළේ ශ්‍රද්ධා මාර්ගය. හෙළ උරුමය පූජනීය දේශපාලනයක් උදෙසා කියන සටන් පාඨය යටතේ තම දේශපාලන ව්‍යාපෘතිය තුළ ජයසේන ජයකොඩිව ඔසවා තැබුවා. ඔබ ප්‍රඥා මාර්ගික සාහිත්‍ය කෘතියක් ඉංග්‍රීසියට හඳුන්වා දුන්නත් ඔබ හිතවත්ව කටයුතු කළේ ශ්‍රද්ධා මාර්ගය ජනප්‍රිය භක්ති මාර්ගයක් බවට පත් කළ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියක් සමගයි.

මාලින්ද- මම ජයසේන ජයකොඩිටත් කැමතියි. ඒ කැමති ඔය දෙකම හින්දා නෙමෙයි. මට ඔය දෙක පේන්නෙත් නෑ. ඒ මම සාහිත්‍යය අධ්‍යයනය කරලා නැති හින්දා වෙන්න ඇති. මම ඔය කියන න්‍යායික දේවල් පරිශීලනය කරලා නැති කෙනෙක් හැටියට වෙන්න ඇති. මට කතන්දර හැටියටයි පේන්නෙ.

සර්පයා- ඒ දෙකෙන්ම දැනෙන දේ එකයිද? වීදාගම හාමුදුරුවන්ගෙන් රාහුල හාමුදුරුවන්ගෙන් දැනෙන දේ වගේ.

මාලින්ද- සයිමනුයි ජයසේන ජයකොඩියි දෙන්නෙක් වගේම සයිමන්ගේ අර පොතයි මේ පොතයි දෙකක්. සමපාත වෙන තැන් ඇති. ඉතින් හැම තිස්සෙම විවිධයි. හැබැයි මේ හැම දේකින්ම මට දැනෙන්නෙ මේ ජීවිතේ මොනතරම් සුන්දර දෙයක්ද කියලයි. මේ හැමදේකින්ම මට හැමවෙලාවෙම ලැබෙන දේ තමයි පුද්ගල සම්බන්ධකම් කියන්නෙ මොනවද, මනුස්ස ස්වභාවය කියන්නෙ මොකක්ද? පොඩි පොඩි දේවල් ටිකක්නෙ මම එකතු කරන්නෙ. සයිමන් සීයක් දේවල් කියලා ඇති. මට ලැබිලා තියෙන්නෙ හතරක් වෙන්න ඇති. හැබැයි මේ හතර මට ආලෝකයක් වෙනවනෙ . මං සතුටු වෙන හතරක් තියනවනෙ. ඒ මට ඇති. සියල්ලම කෙනෙක්ට ගන්න බෑ. බුදු දහමත් එහෙමයි. බුදුන් කීවෙත් තම තම නැණ පමණින් වටහා ගන්න, බැරි ටික අත අරින්න කියලයි.


සර්පයා- සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා වගේ බරපතල කෘතියක් පරිවර්තනය කරන එක ඔබ ඔය කියන තරං හෑල්ලූ වැඩක්ද? ඉංග්‍රීසි දන්න පලියට නිකම්ම කතන්දරයක් හැටියට වචනවලට ගැනීමක් විතරක්ද එතකොට ඔබේ මේ වැඬේ?

මාලින්ද- කොහෙත්ම නෑ. ඔය කියන සකලවිධ න්‍යායයන් පැන නගින්නෙ කතාන්දරයෙන්නෙ. ඕවා අර්ථ කථන. ඒ කතාන්දරය පැන නගින්න බලපෑ අර්ථ කථන ඇති. ඒවා කතාව ඇතුළෙ ඇති. මම ඒ යම් අර්ථකථනයකින් මේ පොත පරිවර්තනය කළා නම් වෙන්නෙ ඒක තනිකරම මගේ කතාවක් වෙලා අනිත් අයගෙ කතාවලට ඉඩක් නැති වීම. ඒකයි මම අදහස් කළේ.

මට අනුව සතිපට්ඨාන සූත‍්‍රයෙන් මට සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා අර්ථකථනය කරන්න පුලූවන්. තැනක් තියනවා කිරිල්ලි පැටවුන්ට කෑම කවනවා. එක පැටියෙක් දුර්වලයි. කෑම කන්න තර`ග කරන්න බෑ අනිත් පැටව් එක්ක. කිරිල්ලිගෙන් අසාධාරණයක් වෙනවා කියලා දකින දඩයක්කාරයා කිරිල්ලිව මරලා දානවා. ඊට පස්සෙ පැටව් ටිකට තමන්ගෙ අතින් කෑම කවන්න හදනවා. ඒක අසාර්ථක වෙනවා. ඊට පස්සෙ දඩයක්කාරයා කුරුළු පැටව් ටිකත් මරලා කන්දෙන් පහළට වීසි කරලා දානවා. කූඩුවත් කඩලා කන්දෙන් පහළට වීසි කරනවා.

කළ යුතු දේ කරන්න දඩයක්කාරයා හදනවා. බැරි වෙනවා. අත ඇරලා දානවා. ඒකට ඇලීමක් නෑ. තව තැනක් තියනවා හාමුදුරුවන්ගෙ මූනෙ ඇඹලයෙක් යනවා. දඩයක්කාරයා ඌව අල්ලට අරන් මරලා දානවා. හාමුදුරුවො කියනවා ඒ සංසාරේ පුරා තමා පසුපස එන, පෙර ආත්මවල තමාගෙ ඇඹෙනියක්ව උන් ගැහැණියක් කියලා. ඌ මූන පුරා යද්දි හාමුදුරුවො වෙහෙසකට පත්වෙනවා. ඌව මරලා දාද්දි හාමුදුරුවන්ගෙ මූනෙ ගොඩාක් වයසට ගිය බවක් ඇති වෙනවා. ඒකෙන් පස්සෙ හාමුදුරුවො අවබෝධය ලබා ගන්නවා. නිර්වාණය ලබා ගන්නවා. පරිනිර්වාණයට පත් වෙනවා. කෙලෙස්වල ශූන්‍ය බව, සියල්ලේ ශූන්‍ය බව පසක් කර ගන්නවා. ඇඹලයාව මරන එක දඩයක්කාරයා කළ යුතු වූ දෙයක්. ඒක කරනවා. ඒත් ඇලීමක්, තැවීමක් නෑ. අල්ලා ගන්නේ නෑ. ස්පර්ශය තමා මැදුම් පිළිවෙත.

සතිපට්ඨානයෙ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා අර්ථ දැක්වෙන්නෙත් මේක. පිළිකුල් භාවනාව කියන්නෙ ඒ ඇලීමක් නැති එක. නිවන් දකින්න අපිට මේ ජීවිතේ ඇතුළෙම පුළුවන්. එක තැනක මහා කාශ්‍යප හාමුදුරුවො අහනවා ඇවැත්නි තොප සුවසේ නිදා ගත්තහුද? කියලා . රහතන් වහන්සෙ කෙනෙක්ට ඒක අහන්න දෙයක් නෑ. එයා හැමදේම දන්නවා. මාර්ගපල අවබෝධ කරගත් කෙනෙක්. ඒත් අහනවා. ඒක සම්මුතියක්. චාරිත‍්‍රයක්. අමුතුවෙන් දැනගන්න නෙමෙය ඒ අහන්නෙ. අපි නාන්න යනවද කියලා අහන්නෙ. අවබෝධ කරගත්තත් මේ ජීවිතය තුළ අපට චාරිත‍්‍ර සම්මුති පිළිපදින්න වෙනවා. ඇලීමක් නෑ. දැඩිව ගන්නෙ නෑ.

සර්පයා- සංසාරාරණ්‍යයේ සඳදහන් වෙනවා මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන මුල්ලේගම පන්සලේ හාමුදුරුවන්ගෙ පරම්පරාවෙ හැටියට. ථෙරවාදයෙ අගසව් සැරියුත් - මුගලන් වුනාට මහායානයෙ ආනන්ද තෙරුන් සහ කාශ්‍යප තෙරුන්. මෙය මේ කෘතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මාලින්ද- සයිමන්ට මහායානයෙ බලපෑම ඒකෙ ඇති. ඒත් මම ඒක ගැන ඒ තරම් හිතුවෙ නෑ. මේක ථෙරවාදයෙනුත් මහායානයෙනුත් එක වගේම කියවන්න පුළුවන්. මේක විවෘත පෙළක්. ඒත් සංසාරාරණ්‍යය අසබඩ එහෙම නෑ. ඒක ධර්ම කථාවක්. දේශපාලන ව්‍යාපෘතියක්. කෙලෙස් නසනවා කියන්නෙ හිස් බව අවබෝධ කර ගැනීමනෙ. ඇලීම නැති කර ගැනීම. ඒකෙ අමාරුම දේ තමා ‘මම’ කියන එකට තියන ඇලීම නැති කර ගැනීම. මට මේ පොත් එක්ක තියන ඇලීම නැති කර ගන්න පුලූවන් පොත් ටික විනාස කරලා දාලා. අයින් කරලා දාලා. ඒත් ‘මම’ කියන එක එක්ක තියන ඇලීම එහෙම නැති කර ගන්න බෑ. මෙතෙන්දි මහායානයෙන් වගේම ථෙරවාදයෙනුත් එක වගේම මේක කියව ගන්න පුළුවන්. අර්ථකථන කර තියා ගන්නවා කියන්නෙ පහුර කර තියා ගෙන යාමක්. මම මේ පරිවර්තනය කළේ එහෙම නැතිව. ඇලීමක් නැතුව. මට නැත්තං බෞද්ධ කියවීමක් තිබුණා. මම මේක හෑල්ලූවට , ලේසියට ගත්තෙ නෑ. කෘතිය එක්ක මගෙ පොර බැදීම අමුතුවෙන් පරිවර්තනයටම වෙච්ච එකක් නෙමෙයි. එච්චරයි.




ජායාරූප- නිලන්ත ගමගේ



2 comments:

Anonymous said...

බුද්ධ දර්ශනය ඔබ ජීවිතයට ගලපා දකින විදිය මෙය තුලින් දුටුවා. 'ස්පර්ශය තමා මැදුම් පිලිවෙත'. කරුනාකර තව ටිකක් පැහැදිලි කරලා දෙන්න.

Anonymous said...

ස්පර්ශ්යෙන්ද මිදුනා වු තැන මැදුම් පිලිවෙත වේ ,නිවන් දොරටුවට මාවත විවර වු....