18 October 2016

ඊළමේ කයිවාරු රේඛා සහ බලය බෙදීමේ කෝලම

දුක්ගැනවිලි ඇත.  හැමෝටම.  අභිලාෂයන්ද ඇත. හැමෝටම.  අභිලාෂයන් නිර්මාණය කිරීම ධනවාදයේ අනිවාර්යයකි.  අභිලාෂයන් වැළඳගත් අය සටනට කැඳවීම දේශපාලනිකය.  සුලබය.  දුක්ගැනවිලි ප්‍රසාරණය කිරීමද, ප්‍රසාරණය කරන ලද දුක්ගැනවිලි වලට අභිලාෂයන් හා කිරීමද දේශපාලනික ය. සුලබය.  මෙසේ දුක්ගැනවිලි ප්‍රසාරණය කල නිසා හෝ ඒවා අභිලාෂයන්ට හා කිරීම දුක්ගැනවිලි වල සැබෑ දිග පළල ගැඹුර නොසෙවීමට හේතුවක් නොවේ.  ඒවා නොවිසඳීම ට ද හේතුවක් නොවේ.  කණගාටුවට කාරණය වන්නේ ආලේප සැරසිලි හේතුවෙන් ප්‍රශ්ණය වෙන අතකට අනිවාර්යයෙන්ම හැරීම යි.  දෙමළ නිජබිම් කතාව ආලේපයකි, සැරසිල්ලකි, සැබෑ ප්‍රශ්නය නොවිසඳෙන තැන ට ඇද දමන.  එබැවින්ම ඒ ආලේප සහ සැරසිලි වලින් සැබෑ දුක්ගලවිල්ල මුදවා ගැනීම අනිවාර්යයක් වේ.  ඉතින් අපි ආලේප සහ සැරසිලි ගැන කතා කරමු.

ඓතිහාසික/සම්ප්‍රදායික නිජබිම් ගැන ඊලාම්වාදීන් මෙන්ම ෆෙඩරල් වාදීන් ඇතුළු විවිධාකාර (බලය) බෙදුම්වාදීන් අඩි හප්පද්දී ඔවුන් හිතා මතා කතිකාවෙන් ඉවත් කරන කරුණු කිහිපයක් සඳහන් කිරීමේ පුරුද්දක් මට ඇත.  දෙමළ ජාතිවාදීන් ගේ ඊළාම් සිතියම පදනම් වන්නේ වත්මන් පළාත් සිතියම මත ය.  එම පළාත් එකිනෙකින් වෙන් කරන රේඛා ඇන්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්.  සුද්දෝ.  ඊළම වේවා, 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් වේවා (ෆෙඩරල් සිට ඊළම දක්වා), කතන්දරයට අදාළ ඉරි ඇන්දේ සුද්දෝ මිස දෙමළ ජාතිකවාදීන් නොවේ.  දෙමළ ජාතිකවාදයට එවන් ඉරි ඇඳීමට පාදක කර ගත හැකි කිසිඳු ඓතිහාසික මූලාශ්‍රයක් නැත. අඩුම තරමේ දෙමළ ජාතිකවාදයේ දුප්පත්කම කියාපාන සහ එය එදා සිට පෝෂණය හිඟා කෑ දමිළ බසින් ලියවුන ප්‍රබන්ධ සාහිත්‍යයේ වත් එවන් සාධක නැත.  සිංහලයාට නැති දමිලයාට ඇති 'වඩා පැරණි' ඉතිහාසයක් ගැන විග්නේශ්වරන් වැන්නන් පුරසාරම් දෙඩුවත් ඔවුන්ගේ සිහින දේශයේ 'දේශ සීමා' ඇඳ ඇත්තේ සුද්දෝ.  ඒ 1890 වර්ෂයේ.  [සැ.යු:  ඊලාම්වාදීන් වයඹින් ද කොටසක් තම 'සිතියමට' එකතු කල බව සැබෑය, එහෙත් 'උතුරු-නැගෙනහිර' කතාවට එය අවශේෂ වේ.]

සුද්දෝ එම රේඛා ඇඳීමට ඓතිහාසික මූලාශ්‍රයන් භාවිතා කර ඇති බවට කිසිඳු සාක්ෂියක් නැත.  පරිපාලන පහසුව සඳහා හිතුමතේට කොළ කෑල්ලක ඉරි ඇඳ නැති ප්‍රශ්ණ ඇති කිරීමේ කලාව ප්‍රගුණ කර තිබු සුද්දෝ කියන්නේ මේ රටේ සම්පත් මංකොල්ල කෑ, වෙහෙර විහාර දාගැබ් මෙන්ම හින්දු කෝවිල් කඩා බිඳ දැමූ, ගම් නියම් ගම් වලට ගිනි තැබූ, සිංහල ජනතාව සමූලඝාතනය කල (දැන් කාලේ එවැනි ක්‍රියාවන්ට කියන්නේ 'වාර්ගික ශුද්ධය' කියා ය), මේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට අසීමිත (මුත් අසාර්ථක) ප්‍රයත්නයක යෙදුනු ම්ලේච්ච්ඡ ජන වර්ගයකි.  (මේවා  අමතක වී ඇති හීනමානකාරයින් බොහෝ සිටින බැවින් කිව යුතු දෙයකි මෙය).   අඩුම තරමින් භූගෝලීය හෝ වෙනත් විද්‍යාත්මක සාධකයන් සලකමින් පළාත් වෙන් කිරීමටවත් ඔවුනට විනයක්, දැනුමක් හෝ උවමනාවක් තිබුනේ නැත.   ඉතිහාසයකට නෑකම් කිව හැකි රේඛා නැති බැවින් ඇත්තේ 'තක්කඩි ඉරි' පමණි.  බෙදුම්වාදීන්ට වැරදුනේ මෙතැනයි.  අබවින් 1890 ට පෙර දේශසීමා සහිත රටක ඉතිහාසයක් ගැන ඔවුනට කතා කල නොහැක.

දෙමළ ජාතිකවාදීන් ප්‍රධාන වශයෙන් කාරනා දෙකක් මතු කරති.  එක, දුක්ගැනවිලි.  දුක්ගැනවිලි ප්‍රසාරණය කලද බලය බෙදා විසඳීමට තරම් ප්‍රශ්නයක් නගන්න නොහැකි නිසාදෝ දමළ ජාතිකවාදීන් 'අභිලාෂයන්' ගැනද කතා කරති.   තේරුම් ගැනීමට අපහසු නැති, සාමාන්‍ය දේශපාලන කරුණකි මෙය.  බොරුව, වංචාව සහ තර්ජනය ඇතුළු තමන් සතු සම්පත් තමන් ගේ (එනම් සමූහයේ නොව, මෙවැනි කෛකතන්දර ගොතා දේශපාලනිකව ගොඩ යෑමට උත්සහා කරන පුද්ගලයින් ගේ) අරමුණු සාක්ෂාත් කිරීම උදෙසා යෙදවීම දෙමළ ප්‍රජාවට සුවිශේෂ වූ ක්‍රමවේදයක් ම නොවේ.  අවුල ඇත්තේ මෙවන් සැලසුම් වලට සුජාත භාවයක් ලබා ගැනීමට උත්සහා කිරීම යි.

මෙහෙම හිතමු.  නිජබිම් යැයි කියාගන්න ප්‍රදේශවල වෙසෙන දමිළ ජනගහනය (සමස්ත ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත කල) ට සමාන ජනගනයක් ඇති ජනවර්ගයක් ගැන සිතමු.  එම ජනවර්ගය නියෝජනය කරනවා යැයි කියන ජාතිකවාදීන්ටද කයිවාරුව ඔප්පු කරගන්නට නොහැකි යැයි සිතමු.  ඔවුන්ද දුක්ගැනවිල්ල ට අභිලාෂයන් පටලවා, දෙකම ප්‍රසාරණය කර, ඉල්ලීම් තර්ජන දක්වාද තර්ජන ත්‍රස්තවාදය දක්වාද තල්ලු කලේ යැයි සිතමු.  මේ සියලු තත්ත්වයන් සමග 'වෙනම රටක්' ඉල්ලන තවත් ජනවර්ගයක් මේ ලොව තිබේද?  නැත.  උරුමකම් නැතිව ඉඩම් අල්ලන එකම එක කණ්ඩායමක් ඇත.  ඒඅධිරාජ්‍යවාදීන්.  'දෙමළාගේ ප්‍රශ්ණය' මේ අනුව ඉතා සරල වේ:  ඉල්ලීම සාධාරණය කිරීමේ දුෂ්කර කමේ ප්‍රශ්ණයයි .

ඊළඟ කාරණය 'දේශ සීමා' වේ.  ඊළාම් සිතියම ඇන්දේ කවුරුන් දැයි නොදනිමි එහෙත් එවන් සිතියමක් ඇත.  ඒ සඳහා පාදක වූ ඉතිහාසය කුමක් ද?  දෙමළ ජාතිකවාදී බේගල් වල දේශසීමා ගැන ඓතිහාසික කරුණු නැත්තේ ඇයි?

සී.වී.විග්නේශ්වරන් නම් කියන්නේ දෙමළ ඉතිහාසය (මේ දිවයින තුල) සිංහලයාගේ ඉතිහාසයට වඩා පැරණි බවයි.  පුදුම හිතෙනවා මට නම් මේ 'ඉතා පැරණි' ඉතිහාසය තුල දෙමළ සලකුණු අල්ප වීම ගැන.  කෝ ඒ ඉතිහාසය කියාපාන ඉතිහාස ග්‍රන්ථ?  කෝ නටඹුන්?  උතුරේ සහ නැගෙනහිර ඇති බෞද්ධ නටඹුන් 'දෙමළ බුද්ධාගම' කට සාක්ෂි දරනවා යැයි තර්ක කරන අය ට 'එහෙනම් කෝ දෙමළ බසින් ලියවුන බෞද්ධ ග්‍රන්ථ?' ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි ඇයි?  මේ සියල්ල ට වඩා වැදගත් වන්නේ 'කෝ ඉරි කෑලි?' යන ප්‍රශ්නයයි, මන්ද ඉරි කෑලි නොමැති නම්, 'දේශයකට' සීමා තිබිය නොහැකි නිසා.

මේ රටේ පළාත් නවයක් ඇත.  මේ 'බෙදීම' ප්‍රධාන වශයෙන් පරිපාලන පහසුව සඳහා විය.  වික්ටෝරිය රැජිණ ගේ පාලන සමයේ සිදු කර එකකි එය.  එනම් 1890 දී. එතෙක් රට පළාත් පහකට බෙදී තිබිණ.  ඒ 1833 සිට (සිව් වන විලියම් රජ සමයේ).  ඊටත් පෙර බෙදී තිබුනේ රුහුණු, මායා සහ පිහිටි යනුවෙනි.  'තුන් සිංහලේ' වුයේ මෙයයි (සැ.යු. මෙහිදී 'සිංහලේ' යනු සිව්+හෙළ හි බිඳීමකි, එනම් යක්ෂ, රාක්ෂ, නාග සහ දේව යන හෙළයට අයත් කණ්ඩායම් සතරෙහි එකතුවකි එය).  ඉතින් අර විග්නේශ්වරන් කියන ඉතා දීර්ඝ වූ ඉතිහාසයට අදාළ සිතියම් ඇත්තේ කොහෙද?  දේශපාලන වාසි සඳහා ඉඳ හිට වනන ඊළාම් ධජයේ ඇඳ ඇති සිතියමේ ඉරි කෑලි මොන මූලාශ්‍රයන් පදනම් ව නිර්මාණය කල ඒවාද?  විග්නේශ්වරන් මෙන්ම දෙමළ ජාතිකවාදය දෙසා බාන මිත්‍යාවන් මිත්‍යාවන් බව දැන දැනත් ආසාවෙන් ගිල දමා නැවත නැවත වමාරන බලය-බෙදීමේ ප්‍රේමවන්තයින් ද සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්නේ නැත.

එහෙත් දැන් නම් මග හරින්නට අසීරු වී ඇත, මන්ද ප්‍රශ්නය අසන්නේ ජනාධිපති තුමා බැවින්.  ජනාධිපති තුමා අදාල පාලකයාගේ නම වැරැද්ද ගත් බව සත්‍යයකි (ඔහු පැවසුවේ රට පළාත් නවයකට බෙදුවේ ජෝර්ජ් රජුගේ සමයේ බවයි).  ඒත් වැදගත්වන්නේ වර්ෂයයි.  1890.  විග්නේශ්වරන් ගේ 'ඈත අතීතයේ' නොවේ 1890 පිහිටා ඇත්තේ.  එකයි අවුල.  විග්නේශ්වරන් තවත් එක බලකාමියෙකි.  ඔහුව අමතක කරමු.  වැදගත් වන්නේ වසර සහ ඉරි කෑලි ය.  වැදගත් වන්නේ ඉරි කෑලි ප්‍රශ්නය මතු කරන්නේ යහපාලන ජනපති බවයි.  ප්‍රධාන පක්ෂ දෙකෙහිම නායකයින් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන වාමාංශික යැයි කියාගන්න පක්ෂයන්හිද නායකයින් මග හැර ඇති කාරණය සිරිසේන ජනපති තුමා මතු කර ඇත.  මේ ගැන බලය-බෙදීමට ලොල් ඊනියා බුද්ධිමතුන්, වාමාංශිකයින් සහ එන්ජීයෝ කාරයින් කිසිවක් නොකියන්නේ ඇයි?  ඉන්දියාවට කියන්න දෙයක් තියේද? එතකොට එරික් සෝල්හයිම් ලා මොනවා කියයිද?  බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් වේ ද?

ඉරි කෑලි කතාවෙන් ඊලාම් වාදය මෙන් ම "ජනවාර්ගික පදනම්" මත බලය බෙදීමේ බලවේගයන් ද කුජීත වී ඇත.  ඉතිරි ව ඇත්තේ ප්‍රබන්ධ පමණි.  ඒවා ඔස්සේ බලය බෙදීම යනු තක්කඩි කමකි.  එසේ නොමැති නම් ඉඩම් මංකොල්ලයකට පිඹුරුපත් සැකසීමකි.

ඉතින් අප නැවත මෙසේ කියා සිටිමු.  දුක්ගැනවිලි ඇත.  හැමෝටම.  අභිලාෂයන්ද ඇත. හැමෝටම.  අභිලාෂයන් නිර්මාණය කිරීම ධනවාදයේ අනිවාර්යයකි.  අභිලාෂයන් වැළඳගත් අය සටනට කැඳවීම දේශපාලනිකය.  සුලබය.  දුක්ගැනවිලි ප්‍රසාරණය කිරීමද, ප්‍රසාරණය කරන ලද දුක්ගැනවිලි වලට අභිලාෂයන් හා කිරීමද දේශපාලනික ය. සුලබය.  මෙසේ දුක්ගැනවිලි ප්‍රසාරණය කල නිසා හෝ ඒවා අභිලාෂයන්ට හා කිරීම දුක්ගැනවිලි වල සැබෑ දිග පළල ගැඹුර නොසෙවීමට හේතුවක් නොවේ.  ඒවා නොවිසන්දීමට ද හේතුවක් නොවේ.  කණගාටුවට කාරණය වන්නේ ආලේප සැරසිලි හේතුවෙන් ප්‍රශ්ණය වෙන අතකට අනිවාර්යයෙන්ම හැරීම යි.  එබැවින්ම ඒ ආලේප සහ සැරසිලි වලින් සැබෑ දුක්ගලවිල්ල මුදවා ගැනීම අනිවාර්යයක් වේ.  දෙමළ නිජබිම් කතාව ආලේපයකි, සැරසිල්ලකි, සැබෑ ප්‍රශ්නය නොවිසඳෙන තැන ට ඇද දමන.  
Reactions:

0 comments: