23 October 2017

ඔබට මතක නෑ, මටද අමතකයි

ශ්‍රී ලංකාවට මෑත කාලයේ වැළඳුනු බරපතල දේශපාලන ලෙඩක් මේ අමතක වීම.  දුමින්ද සිල්වාට මුලින්ම හැදුන මේ ලෙඩේ පස්සේ ජෝන් අමරතුංගට ද ඒ ලෙඩේ ම හදුනා.  අමතක වීම විහිළුවක් හැටියට  ජනගත වුනේ එහෙමයි.  විහිළුවෙන් තහළුවෙන් වැහුන සහ වහගන්න බරපතල රෝග තියෙනවා. උදාහරණ ලෙස තක්කඩිකම, දූෂණය, වංචාව, ඥාති සංග්‍රහය වගේම රාජ්‍ය දේපළ අවභාවිතය. හිනාවෙලා හිනාවෙලා ඇති වුනාට පස්සේ හිනාව නතර වෙනවා.  එත් තක්කඩිකම් නවතින්නේ නැහැ.  දුමින්ද ඉලක්ක වෙද්දී වෙන අය මැරකම් කරනවා.  ජෝන් බයිට් වන අතරේ වෙන ඇමතිවරු ගොන්කම් කරනවා. ඒවා කාටවත් පෙන්නේ නැහැ.  ඒවා කරන අය දුමින්දලට ජෝන්ලට හිනා වෙන අයට හිනාවෙනවා ඇති.    

දුමින්ද ගේ නැත්තම් ජෝන් ගේ අමතක වීම විහිළු සහගතයි, කතා දෙකක් නැහැ.  චතුරගේ 'මතක් වීම' ත් ඒ තරම්ම විහිළු සහගතයි.  ඒ හැම ජෝක් එකකටම අපි හිනාවෙනවා.  හයියෙන්ම හිනා වෙනවා. කොච්චර හයියෙන් හිනාවෙනවද කිව්වොත් මේ තක්කඩිකම් කරන අය අපට හිනා වෙන බව අපට පෙනෙන්නේ නැහැ.  

අමතක වීමේ ලෙඩේ මේ විදිහට මගේ යාලුවෙක් නිර්වචනය කෙරුව: "කලින් ආණ්ඩුව එලෙව්වේ ඇයි කියන එක ඒ අයට අමතක වෙලා.   තමන්ව බලයට පත්කෙරුවේ ඇයි කියන එක මේ ආණ්ඩුවට අමතක වෙලා.

මේ නිර්වචනය ඉදිරිපත් කරපු ටෙඩී අමරසේකරට ත් අමතක වුන දෙයක් තියෙනවා.  ඌණපූරණය මෙහෙමයි:  ජනතාවට අමතක වෙන දෙයකුත් තියෙනවා -- ඒ තමයි තමන් බලයට පත්කරන දේශපාලකයෝ වගේම දේශපාලන පක්ෂ බලයට පත් වුනාට පස්සේ තමන්ව, ඒ කියන්නේ ජනතාව, අමතක කරන බව.  

මෙතෙන්දි අරය මෙයාට වඩා හොඳයි, නැත්තම් අර පක්ෂේ මේ පක්ෂෙට වැඩිය හොඳයි වගේ කතන්දර අතරේ පැටලෙන සහ පටලවගන්න අය වෙන අයට වඩා පහසුවෙන් සහ ඉක්මනින් ඔය අමතක වීමේ ලෙඩේට ගොදුරු වෙනවා,  

මේ යහපාලන ආණ්ඩුව ගන්න.  මෙතන තියෙන්නේ යහපාලකයින්ට යහපාලනය අමතක වීම ම නෙවෙයි.  ප්‍රශ්නේ මේකයි: යහපාලකයින් යහපාලනය කියන්නේ මොකද්ද කිඅල දැනගෙන හිටියද කියන එකයි.  ආණ්ඩුවට 'යහ' තේරෙන්නෙත් නැහැ, 'පාලනය' තේරෙන්නෙත් නැහැ.  යහපාලනය ගැන බලාපොරොත්තු තියාගත්ත (ඒ කියන්නේ යහපාලකයින් ඇත්තටම යහපාලනයක් ඇති කරයි කියල හිතපු) අය 'ඒ කාලෙත් මෙහෙම වුනානේ' කියන ගැලවිජ්ජාව වේගයෙන් වැළඳ ගන්න තැනට තල්ලු වුනා.  එයාලට යහපාලන සිහින අමතක වෙලා වගේ.  නැත්තම් අමතක කරන්න සිද්ද වුනා වගේ. 

යහපාලන ආණ්ඩුව ලිස්සද්දී, වැටෙද්දී, නාගනිද්දී ආණ්ඩුවට විරුද්ධ සමහර අය, විශේෂයෙන්ම හිටපු පාලකයින්ට හිතවත් අය, අහන ප්‍රශ්නයක් තියෙනවා: 'වෙනස සැපද?'  'වෙනසක්' පොරොන්දු වුන සහ බලාපොරොත්තු වුන අය කෝචෝක් කරන්නේ එහෙමයි.  ඒ විදිහට ප්‍රශ්න නගන අයටත් අමතක වෙන ලෙඩේ හැදිලා වගේ. එහෙම නැත්තම් ඒ ප්‍රශ්නය තුල නොදැනුවත්වම තමන්ගේ දේශපාලන තක්කඩිකම් ගැබ් වෙලා තියෙන බව තේරෙන්නේ නැතුව ඇති.  තක්කඩිකම්, මැරකම්, හොරකම්, වංචා, දූෂණ, රාජ්‍ය දේපල අවභාවිතය වැනි දේවල් ඒ කාලෙ වගේ දැනුත් සිද්ද වෙනවා නම් 'වෙනසක්' ගැන කතා කරන්න බැහැනේ.  වෙනසක් ඇති වෙලා නැත්තම් වෙනස සැපද දුකද කියල අහන එකේ තේරුමක් නැහැ.  ඒත් ආණ්ඩුවටත්, ආණ්ඩුවට පක්ෂ අයටත්, ආණ්ඩු විරෝධීන්ටත් ඔය වගේ දේවල් තම තමන්ගෙන් අහන්න උවමනාවක් නැහැ නැත්තම් අහන්න අමතක වෙනවා.  

අමතක වීම ඔතෙන්ට සීමා වෙලා නැහැ.  මාක්ස්වාදීන් බොහෝ දෙනෙක්ට 'පන්තිය' අමතක වෙලා.  ඒ කියන්නේ තමන්ගේ පන්තිය විතරක් නෙවෙයි, 'පන්තිය' කියන කාරණය අමතක වෙලා.  වාමාංශික බැජ් එකට මොකද්දෝ උපාදානයක් තියෙන නිසා හෝ එක ෆැෂන් සිම්බල් එකක් කියල හිතන නිසා 'අරගල ලයිසන්' එක බේරගන්න වගේ එක එක ප්‍රොජෙක්ට් හදා ගෙන 'අරගල' කියල හිතන එක එක දේවල් කරනවා.  ධනවාදය ට එරෙහිව වැලි කැටයක් වත් ගහන්නේ නැහැ.  අවශ්‍ය නැතුව ඇති.  නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එක අතහැරලා ඇති.  එහෙමත් නැත්තම් අමතක වෙලා ඇති.  

ජාතිය ඔලුව උද තියාගෙන කොඩි වන්න, අතපය දිග හරින, යටිගිරියෙන් කෑගහන අය ට ජාතිය කියන්නේ මොකද්ද කියල තමන්ගෙන්ම අහන්න අමතක වෙලා වගේ.  වික්ටෝරියානු සංස්කෘතිය 'සිංහල බෞද්ධකම' කියල දැඩිව විශ්වාස කරන මේ අයගේ වචනයේ සහ ක්‍රියාවේ ගැබ් ව ඇති සිංහලකම සහ බෞද්ධකම අල්පයි කියල වෙලාවකට හිතෙනවා.  දෙමළ ජාතිකවාදීන්ටත් මේ වගේ ලෙඩක් තියෙන බව පෙනෙනවා.  'අපේකම' නැත්තම් 'ජාතිය' ආරක්ෂා කරන්න නම් මේ වගේ දේවල් වල සැබෑ අර්ථය තේරුම් ගන්න ඕන.  ඒත් ඒක අමාරු වැඩක්.  හරියට වාමාංශිකයින් ධනවාදය පරාජය කරනවා වගේ දෙයක්.  ඉතින් ඒ කාරණය අමතක කරලා ඒ වෙනුවට මොකෙක් හරි හතුරෙක් 'හඳුනාගෙන' ඒ හතුරට හිටු කියල නෙලනවා.

කපුගේ ගේ සිංදුවක පදයක් මතක් වෙනවා -- 'අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදුහාමුදුරුවනේ.'  මෙහෙම කිව්වොත් වඩා හොඳයි කියල හිතෙනවා 'අපට අප අමතක වෙලා වගේ හිතට දැනෙනවා.'  පොඩි අවුලක් තියෙනවා, මොකද හිතට දැනෙනවා නම් මතක් කර ගන්න මහන්සි වෙන්න ඕන නේ.  එහෙම එකක් නම් පේන්නේ නැහැ.  

මාක්ස්වාදීන් මාක්ස් හඳුනන්නේ නැහැ.  පශ්චාත් මාක්ස්වාදීන් මෙන්ම පශ්චාත් නූතනවාදීන් අදාළ ග්‍රන්ථ කියවන්නේ නැහැ.  කොහෙන් හරි අහුලගත්ත නැත්තම් 'අරයා මෙහෙම කිව්වා,' 'මෙයා මෙහෙම කිව්වා' වගේ කතන්දර කියන අයගේ ලොකු කතා වමාරන එක 'අධ්‍යයනය' කියල හිතනවා මිසක් මුල් කෘති කියවන්නේ නැහැ.  අමාරුයි නේ.  ඒ නිසා ඒ අනිවාර්ය අභ්‍යාසය අමතක කරලා දානවා.  සටන්පාඨ වලින් ගොඩ යන්න බලනවා.  දෝංකාර මන්දිරවල නම් ගොඩ යනවා.  මහපොළොවේ වෙනසක් ඇතිවෙන්නේ නැහැ.  

ඇත්තටම අමතක වෙනවද, නැත්තම් අමතක කිරීම නිර්වින්දකයක් ද?  විවේචනය පහසු වුනත් ස්වයංවිවේචනය අපහසුයි.  ඒ නිසාද මේ 'තෝරලා බේරලා අමතක කරන' උපක්‍රමය මේ තරම් සුලභ?  අන්තිමට හිනාවෙන්නේ කවුද?  අපි හමොමද, නැත්තම් මේ සියලු අමතකවීම් වල ආධාරයෙන් තක්කඩිකම් කරන කොටස් ද?  

මතට තිත කෙසේ වෙතත් මතකයට තිත තියන්න පුදුම වෙහෙසක් ගන්න දේශපාලන සමාජයක අපි ජීවත් වෙන්නේ. 'වසන්තය අත ලඟයි' කියන අය අමතකකිරීම් ජාලයක පැටලිලා කියල වෙලාවකට හිතෙනවා.   අමතක වීම සහ අමතක කිරීම ඉතුරු කරන්නේ ගහක් කොලක් නැති නිසරු බිමක්.  ඒ පොලොවට නිල්ල ගෙනෙන එකම වැස්ස මතක් කිරීමයි.  

කොහෙන්ද ආවේ, කොහෙද ඉන්නේ, කොහාට යන්න කියලද පටන්ගත්තේ, කොහෙටද ඇවිත් ඉන්නේ වගේ දේවල් අපි අපෙන්ම ඇහුවොත් හොඳයි කියල හිතෙනවා.  ඒ වගේ ප්‍රශ්න අහන්න මතක් වෙන්නේ කලාතුරකින්.

0 comments: