10 January 2018

පොහොට්ටු නම් පිපෙයි ජනතාව නම් හැකිලෙයි



පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ, අපේක්ෂකයින් සහ පාක්ෂිකයින් පොදුවේ එක දෙයක් කියනවා: 'අපි දිනනවා දිනනවා දිනනවා. ඒ වගේම නොකියන දෙයකුත් තියෙනවා: 'තොපිල පරදිනවා පරදිනවාමයි'.  'තොපි' කියන්නේ දේශපාලන විරුද්ධවාදීන් නෙවෙයි.  ජනතාව.   

තරඟකරුවන් සහ පාක්ෂිකයින් 'දිනනවා' කියන එක සාමාන්‍ය දෙයක්.  අනාවැකි කීම එයාල ගේ වෘත්තීයේ කොටසක්.  අපට කල හැක්කේ නිරීක්ෂණ කිහිපයක් සඳහන් කර ඒවා කියවීමයි. 

සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ ප්‍රධාන මැතිවරණයක් (ජනාධිපතිවරණයක් නැත්තම් මහා මැතිවරණයක්) පවත්වා ඒ මැතිවරණ ජයග්‍රහණයේ උණුසුම යන්න පෙර.  එවිට (සාමාන්‍යයෙන්) බලයේ ඉන්න පාර්ශවය උඩින්ම දිනනවා.  ජයග්‍රහණයේ උණුහුම හීන වෙනකොට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ද ඊට අනුකූලව හීන වෙනවා.  සාමාන්‍යයෙන් ආණ්ඩුවක වෙත ඇති ප්‍රසාදය කල් යනකොට අඩු වෙනවා.  මේ මැතිවරණය පවත්වන්නේ අළුත් ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනකට පස්සේ.  මහා බැංකුවේ බැඳුම්කර නිකුතුව හරහා සේවක අර්ථසාධක අරමුදලින්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් සහ වෙනත් රාජ්‍ය ආයතන වලට බිලියන ගානක් වංචා කරපු තත්ත්වයක.  

මේ මැතිවරණ ව්‍යාපාර සමයයි.  ඒත් මැතිවරණ උණුසුමක් නැති තරම් ය.  එක හේතුවක් අළුත් කොට්ඨාශ ක්‍රමය වෙන්න පුළුවන්.  ඒ ඒ පළාත් පාලන ආයතන වලට අදාළ ප්‍රදේශය පුරාම ඡන්දය ඉල්ල ඉල්ලා යන්න අවශ්‍ය නැති නිසා ඉස්සර තරම් 'පෙනුමක්' මේ පාර දකින්න නැහැ.  තවත් කාරණයක් තියෙනවා.  මැතිවරණයේ ප්‍රතිඵල කුමක් වුවත් ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවෙන ආණ්ඩුවක් තරහ කරගන්න එක මෝඩකමක්.  කට වහගෙන ඉන්න එක ඒ නිසා හොඳයි.  එහෙම හිතනවා වෙන්න පුළුවන්.  එහෙම හිතනවා නම් එය ආණ්ඩු පක්ෂවලට (එජාප/ශ්‍රීලංනිප) අසුභ සංඥාවක්.  ඒ කියන්නේ ආණ්ඩු-විරෝධී තත්ත්වයක්.  මෙහි වාසිය පොහොට්ටුවට, ප්‍රධාන වශයෙන්.  ඒ වගේම ජවිපෙටත්.  

'ජාතික' හැඩයක් ලැබී ඇති පළාත් පාලන මැතිවරණයක් නිසා 'ඉන්න එකා පලයං' කියන තැනට ඡන්දදායකයා පත්වෙන්න පුළුවන්.  'එන එකා මොකෙක් වුනත්' කියල කෑල්ලක් එකතු කරන්නත් පුළුවන්.  මන්ද අපේ දේශපාලන සංස්කෘතිය ඒ වගේ නිසා.  'එන එකා ගේ' ජීව දත්ත පත්‍ර පරීක්ෂා කරන දේශපාලන සංස්කෘතියක් අපට නැහැ.  තිබුන නම් 'යහපාලකයින්ට' ඡන්දේ දෙන්නේ නැහැනේ.  තිබුන නම් පොහොට්ටු කාරයින්ට වත් ජවිපෙට වත් මැතිවරණ ජයග්‍රහණ ගැන සිහින අතහරින්න වෙනවනේ.

අන්න ඒකයි කතාව.  තටු කැඩුණු හංසයින් ට තටු දෙන්නත්, වල්  අලින්ට දළ දෙන්නත්, කැඩුණු පුටු හදන්නත්, බුලත් කොළ රතු කරන්නත්, දෑකැති මිටි කුණු කූඩෙට දාපු 'මාක්ස්වාදී' සීනු කාරයින් ගේ පොර ටෝක් ඉවසන්නත් පුරුදු වුන ඡන්දදායකයා ට පොහොට්ටුවක් දිග හරින එක ගැන මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ. අලියත්, අතත්, පුටුවත්, බුලත් කොළයත්, සීනුවත්, හංසයත් එක එක කාලවල අපව අන්දන පොහොට්ටුම තමයි.   

ඒ නිසා දූෂණයෙන් වංචාවෙන් අවනීතියෙන් තොර වූ පාලනයක් ගැන මොනතරම් පොරොන්දු දුන්නත් ඒවා බොරු බව දැන දැනත් ඡන්දය දෙන්න සූදානම් නම් ඉතින් දේශපාලන හිඟනකම ම උරුම වීම ගැන පුදුම විය යුතු නැහැ.  

ඉතින් 'දිනනවා දිනනවා' කියන්නත් 'දිනුවා දිනුවා' කියන්නත්, 'හූ හූ තොපි පරාදයි' කියන්නත් පහසුයි.  ඇත්තම කතාව කවුරු හරි දිනයි.   අපි පරාදයි.  පොහොර දාල, වතුර දාල අපි හොඳට හදන්නේ වෙන අයගේ මල්.  ඒවායේ සුවඳ බලන්නවත් අපට වරම් නැහැ.  මැලවෙන්නේ, හැකිළෙන්නේ, පරවෙන්නේ, කාගේවත් අවධානය අනුකම්පාව නැතුව වැටිලා පස් වලට එකතු වෙලා අතුරුදහන් වෙන්නේ අපි.  

මේ මහා වංචාවට සම්මාදම් වන අප සියලු දෙනාට තෙරුවන් සරණයි! 

0 comments: