21 January 2018

අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන




රිචර්ඩ් බාක් ලියූ 'ජොනතන් ලිවිංස්ටන් සීගල්' (ජොනතන් ලිවිංස්ටන් නම් වූ මුහුදුලිහිණියා) මා විටින් විට කියවන අපූරු පොතක්. පොත් පිංචක්. තමා සොයා යාම යෝජනා කරන මේ පුංචි කතාව තුල මානය, සමූහය සහ සමූහයට අවනත වීම, සම්ප්‍රදායෙන් මිදීම, තරඟය, තරඟයට ඉහලින් ඉගිල යෑම, ඉගෙනගැනීම සහ උගැන්වීම යනාදී කාරණා සියුම් විදිහට බාක් විග්‍රහ කරනවා.

ඒ පොත කියෙව්වට පස්සේ රිචර්ඩ් බාක් ගේ වෙනත් පොත් කියවන්න හිතුන. ඉන් එකක අමුතුම දෙයක් බාක් යෝජනා කරනවා. පොතේ නම 'ඉලූෂන්ස්' (මායා). මතක හැටියට ඒ පොතේ මෙහෙම ලියවිලා තිබුනා:

"ඔබ ගේ සිතට වද දෙන ප්‍රශ්නයට පිළිතුර ඔබ ඉදිරිපිට ඇති පොතේ අහඹු පිටුවක සටහන් වී ඇත."


පොත යනු රූපකයක් නම් අදාළ ගැටළුවට පිළිතුර ඕනෑම දෙයක තියෙන්න ඕන. ඒ කියන්නේ අප ඉදිරිපිට තියෙන්නේ මලක් නම්, උත්තරය මල තුල නැත්තම් මලේ පාට වල නැත්තම් සුවඳේ නැත්තම් මල පිපිලද පරවෙලාද පරවෙමින් පවතිනවද කියන එක තුල තියෙන්න ඕන. මලක් වෙන්නම ඕන නැහැ. කෙනෙක් වෙන්න පුළුවන්. දෙයක් වෙන්න පුළුවන්. සිතිවිල්ලක් වුනත් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ම පොතක්. ඒ හැම එකක් දෙස අහඹු ලෙස බැලුවො (කල්පනා කලොත්) උත්තරයක් තියෙන්න ඕන.

සමහර ප්‍රශ්න බරපතලයි. සමහර ප්‍රශ්න සංකීර්ණයි. සමහර ඒවා සරලයි, විසඳගන්න පහසුයි. සමහර අවස්තාවලදී අපි දන්නේ ප්‍රශ්නයක් තියෙන බව විතරයි. අපූරුම දේ තමයි ප්‍රශ්නය හරියට විස්තර කරගන්න බැරිවුනත් විසඳුමක් හොයාගන්න පුළුවන් වීම.

මේ මොහොතේ මා ළඟ පොතක් තියෙනවා. පොතක්. රූපකයක් නෙවෙයි. පොතේ නම 'හයිට්ස් ඔෆ් මච්චු පිච්චු' ( මච්චු පිච්චු මුදුන්). පැබ්ලෝ නෙරූදා ගේ ප්‍රසිද්ධ කවි එකතුවක්. වත්මන් පීරු රටේ උරුබම්බා මිටියාවතට ඉහලින් ඇන්ඩියානු කඳු වැටියෙ පිහිටි ඉන්කා ශිෂ්ටාචාරයට අයත් ආශ්චර්යමත් නිර්මාණයකි මච්චු පිච්චු. පොත ඇරුනේ 10 වන කවියටයි. එහි මේ පද කිහිපයටයි:


මච්චු පිච්චු,
තැබුවා ද ගලක් මත ගලක්
සහ එහි පාමුල වැරැහිලි ගොඩක්?
අඟුරු කැට මත අඟුරු කැට
සහ ඒ සියල්ල යට කඳුලක්?
ගින්නෙන් රත්තරන් දොවා
ඒ තුල වෙව්ලන
මහා ලේ බිඳුව?
ඔබ මිහිදන් කල වහලා වහා දිය!
යාචකයාගේ පිළුණු වූ පාන් පෙති
මුදාහරිනු මහපොළොවෙන්!

කවිය දිගයි. කවි දොළහ එක කවියක් හැටියටත් කියවන්න පුළුවන්. ඒත් මේ කොටස තුල නොදන්නා ප්‍රශ්ණයකට උත්තරයක් නම් ලැබුනා. ඉතින් ආයෙත් ප්‍රභූවරුන්ගේ 'නිමැවුම්' දිහා ඉස්සර විදිහට බලන්න පුළුවන් ද මට? ඉතිහාසකරුවා ගැන තිබුන ගෞරවය ට මොකද්දෝ වුනා වගේ දැනෙනවා. අලංකාරයට අහු නොවන මොනතරම් දේවල් තියෙනවද කියල හිතෙනවා. අහු නොවන නැත්තම් හිතා මතා ම අයින් කරන දේවල් තියෙනවා නම් ඒවා හංගුවේ කොතනද, ඉතිහාසකරුවා වංගු ගැහුවේ ඇයි, වංගු ගැහුවේ කොතනද, කොහොමද වගේ දේවල් අහන්න හිතෙනවා.

නෙරූදා මච්චු පිච්චු ව ගඩොලින් ගඩොල බිඳ දමලයි තියෙන්නේ. දැවැන්තකම, ප්‍රෞඩත්වය, පුරසාරම් වගේ දේවල් කවියෙන් කාව්‍යත්වයෙන් දියකරලයි තියෙන්නේ. මච්චු පිච්චුව තියෙන්නේ පීරු රටේ උරුබම්බා මිටියාවතට ඉහලින් ඇන්ඩියානු කඳු වැටියෙ ම ද කියල හිතන්න වෙනවා. එය ඉන්කා ශිෂ්ටාරයට අයත් නිමවුමක් ද නැද්ද කියල ප්‍රශ්න කරන්න සිද්ද වෙනවා. නෙරූදා කියන්නේ චිලී රටේ ඉපදුන කෙනෙක් ද, ලෝක පුරවැසියෙක් ද කියල අහන්න හිතෙනවා. නෙරූදා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි ද කියලත් අහන්න හිතෙනවා.

හිතාගන්න බැරි, වචන ගලප්පලා අහන්න බැරි ප්‍රශ්නයක් තියෙන්න ඇති. රිචර්ඩ් බාක්‌ පුංචි උපායක් ඉගැන්නුවා. මම පොතක් දිග හැරියා. බාක් කිව්වා විදිහටම උත්තරයක් එතන තිබුනා. ජොනතන් ලිවිංස්ටන් කියන අමුතුම ජාතියේ මුහුදුලිහිණියා ගේ කතාවේ යෝජනා කරන්නේ මෙහෙම දෙයක්: 'සොයා යව, සොයා යව, ඈත අහසේ හුදෙකලාවේ ඔබට ඔබ හමුවන තුරු සොයා යව, සොයා යව!'

ලොකු පාඩම් සරල විදිහට තේරුම් කරලා දෙන්න සමත් අය අඩුයි. එක්කෙනෙක් රිචර්ඩ් බාක්‌. පැබ්ලෝ නෙරූදාත් ඒ වගේම ගුරුවරයෙක්. මම ශිෂ්‍යයෙක්, හොඳ ගුරුවරයින් ට සවන් දෙන.

[ජනවාරි 18 දා 'රැස' පුවත්පතේ පළ කරන ලද තීරු ලිපිය (මගේ ඇස අග)]

4 comments:

h. said...

ලස්සනම ලස්සනයි සිංහලෙන්.

h. said...

අද කියවද්දිත් එදා වගේම ලස්සනයි.

Himali said...

ලොකු පනිවිඩක් තියනවා මනසින් විනිවිද දැකිය යුතු ❤️

Unknown said...

ඇත්තටම පුරුද්දක් කර ගන්න පුළුවන් නම් පොතක් කියවන්න, කොයිතරම් අපූරු ද.