26 January 2018

බිව්වේ නෑ....ටිකක් පෙවුනා!

එකෝමත් එක කාලෙක බේබද්දෙක් හිටියා.  බීම නිසාම විටින් විට ලෙඩ වුන මේ බේබද්දා ට හිතවත් දොස්තර මහත්තයෙක් හිටියා.  ලෙඩ වෙලා දොස්තර ලඟට ගියහම දොස්තර මහත්තයා බේබද්දට හොඳට බැනල බෙහෙත් දෙනවා.  ඊට පස්සේ එයා ටික කාලයක් නොබී ඉන්නවා.  ආයෙත් බොනවා. ආයෙත් ලෙඩ වෙනවා. ආයෙත් දොස්තර යාළුවා බලන්න යනවා.  බැනුම් අහනවා.

දවසක් මේ රටාව ඉවසන්නම බැරුව දොස්තර මෙහෙම කියනවා: 'ආයේ බීලා ලෙඩ වෙලා මෙහාට එන්න එපා!'  බේබදු මිත්‍රයා ට මේක හොඳට වදිනවා.  අවුරුද්දක් විතර නොබී ඉන්නවා.  ඒත් එක දවසක් යාළුවෝ සෙට් වෙලා බොනවා.  ලෙඩ වෙනවා.  දොස්තර ගාවට යන්න වෙනවා.

'බිව්වා නේද?' දොස්තර යාළුවා සැරෙන් අහනවා.  

'ටිකක් පෙවුනා,' බේබද්දා ලජ්ජාවෙන් වගේ මුමුණනවා.  

'කවුද ඔය පොවන එකා?' දොස්තර තරහෙන් අහනවා.

බේබද්දා කතා නෑ.

මේ රටේ හැමෝම බොන්නේ නෑ.  ඒත් බහුතරයකට පෙවෙනවා.  වැරදි කරන්නේ නෑ; අත්වැරදීම් සිද්ද වෙනවා.  සියල්ල සද්භාවයෙන්.

හොරකම් කරන්නේ නැහැ, හොරකම් වෙනවා.  හොරු අල්ලන්නේ නැහැ නෙවෙයි, හොරු ඇල්ලෙන්නේ නැහැ.  මිනී මරන්නේ නැහැ, මිනී මැරෙනවා.  මහා බැංකුව කොල්ලකෑවේ නැහැ, කොල්ල කැවුනා.  පාලනය කරන්නේ නැහැ නෙවෙයි, පාලනය වෙන්නේ නැහැ.  මැතිවරණයේ දී අසාර්ථක වුන අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැව්වා නෙවෙයි, එයාලා ලැයිස්තුවට වැටුනා.  ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගියා නෙවෙයි, යැවුනා.  කට්අවුට් ගැහුවා නෙවෙයි, ගැහුනා. මල්ලිට රස්සාවක් දුන්න නෙවෙයි, එයාට රස්සාවක් ලැබුනා. පුතා සමග නිව් යෝක් ගියා නෙවෙයි, යැවුනා.  වම යි කියන අය දක්ෂිනාංශික පක්ෂයක සාක්කුවට රිංගුවා නෙවෙයි, වැටුනා.  සරසවියේ විප්ලවවාදීන් ප්‍රතිවාදීන් ට ගැහුවේ නෑ, එයාල ගුටි කෑවා.      

කාවවත් අතුරුදහන් කෙරුවේ නැහැ; සමහට අය අතුරුදහන් වුනා.  වාමාංශික වුනත් තමන්ගේ මතයට අවනත නොවන අය ඝාතනය කෙරුවේ නැහැ; එයාලා ඝාතනය වුනා.  

තක්කඩිකම් කරනවා නෙවෙයි, කෙරෙනවා.  අල්ලස් ගන්නේ නැහැ, අල්ලස් ගැනෙනවා. දූෂණය කෙරුවා නෙවෙයි, දූෂණය වුනා.  කොන්ද කෙලින් කරන්න බැරි වුනා නෙවෙයි, කොන්ද ඇද වුනා.  ඡන්ද නීති කැඩුවා නෙවෙයි, කැඩුනා.  ඡන්දය දැම්මේ නැහැ, දැමුනා.  

මොනතරම් සුන්දර රටක් ද මේක.  මොන තරම් සුන්දර ජනතාවක් ද.  කිසි වැරැද්දක් කරන්නේ නැහැ, වැරදි සිදුවෙනවා විතරයි.  ඉබේටම වගේ.  හරියට අර බේබද්දා බිව්වේ නැතිවුනාට එයාට අරක්කු පෙවුනා වගේ.  

දේශපාලකයෝ සුදුම සුදුයි.  මූනේ දැලි ගාගන්නේ නැහැ, ගෑවෙනවා.  සරම උස්සන්නේ නැහැ, ඉස්සෙනවා. අඩි හප්පන්නේ නැහැ, හැප්පෙනවා. කුණුහරුප කියන්නේ නැහැ, කියවෙනවා. නිලධාරින් ගස් බඳින්නේ නැහැ, එයාල බැඳගන්නවා. දනගස්සන්නේ නැහැ, දැනගැස්සෙනවා.  බොරු කියන්නේ නැහැ, බොරු කියවෙනවා.  ගම කන්නේ නැහැ, කැවෙනවා.  

අන්තිමට බලද්දී බොරු කියපු එකෙක් නැහැ.  මැතිවරණ පොරොන්දු කඩ කරපු එකෙක් නැහැ.  මහා බැංකුව මංකොල්ල කාපු එකෙක් නැහැ.  උද්ඝෝෂකයින්ට බැටන් වලින් කඳුළු ගෑස් වලින් සංග්‍රහ කරපු එකෙක් නැහැ.  ඥාතිට සංග්‍රහ කරපු එකෙක් නැහැ.  රට පාලනය කරන එකෙක් නැහැ.  

ඉන්නේ ගුටිකාපු උන්. ඉන්නේ ආර්ථිකය ගැට ගහ ගන්න බැරි උන්. ඉන්නේ පොලීසියෙන් ගුටි කාපු උන්.  ඉන්නේ අහිංසකයෝ නෙවෙයි, එත් අසරණුන්.

නන්දා මාලිනී මීට සතවර්ෂ ගානකට විතර කලින් ගයපු සින්දුවක් මතක් වෙනවා.  'කුමක් ද මරණය?' කියන ප්‍රශ්නයට උත්තරයක් දෙන අතරේ මෙහෙමත් දෙයක් කියනවා:
 
කිරිපැණි පාගා තැඹිළි වතුර නා
පච්චවඩම් තිර හතක් මැදින්
ඇදුරන් වැඩලා අප ගැන අඬළා
සැපදුක් ඇසුකළ අප හැම ආතුරයෝ

කරන්නේ නැති ඒත් කෙරෙන, නොකරන්නේ නැති ඒත් නොකෙරෙන, කියන්නේ නැති ඒත් කියවෙන, නොකියන්නේ නැති ඒත් නොකියවෙන දේවල් තමයි වැඩි පුර පෙනෙන්නේ.  හරියට 'පෙවෙනවා'වගේ. වස විස පොවන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ, පෙවෙන නිසා කොහොමත්. 

අහන ප්‍රශ්නෙට උත්තරයක් දීල තියෙනවා: "අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දීමයි."  ඊට පස්සේ මේ විදිහේ යෝජනාවක් ඉදිරිපත් කරනවා: "ඒ හිස් සුසුමට අරුතක් එක්කර මරණය උත්තම පූජාවක් කරමූ!"  වැඩි හොඳට මෙහෙමත් කියනවා: "පෙරදිග මුතු ඇටයේ ඇටකටු මත ඇස් ඉස් මස් ලේ පුදමු සත්‍යයේ නාමයෙන්."  

සත්‍යයේ නාමයෙන් කිව්වම බරයි.  සීරියස්.  ඒත් පොවන-පෙවෙන 'සත්‍යය' පසක් කරන්නත්, ඒ වෙනුවෙන් පෙනී ඉන්නත් ඔය කියන විදිහට ඇස් ඉස් මස් ලේ පුදන්න ඕනම නෑ.  ඇට කටු මත සැතපෙන්න ඕනෙත් නෑ.  

'පෙවුනා' කියනවා වෙනුවට 'බිව්වා' කිව්වහම ඇති.
Reactions: