මීට වසර 26 කට විතර ඉස්සර, ඒ කියන්නේ 1992 විතර, සමහරුන් විප්ලවවාදියෙක්, මාක්ස්වාදියෙක්, වාමාංශිකයෙක් කියල හිතාගෙන ඉන්න සුමනසිරි ලියනගේ අපූරු ප්‍රකාශයක් කෙරුව. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පැවැත්වූ දේශනයක තමයි සුමනසිරි සර් මෙහෙම කිව්වේ.
"වමයි දකුණයි අතර තියෙන්නේ එකම වෙනසයි -- වම හිතනවා වෙනසක් නෑ කියල, දකුණ හිතනවා වෙනසක් තියෙනවා කියල."
දේශනය අවසන් වෙලා ප්‍රශ්න අහන්න ඉඩ දුන්නා. ඔය වම-දකුණ කතාව සඳහන් කරලා මම මෙහෙම ඇහුවා: "ආචාර්යතුමා වමේ ද, දකුණේ ද?"
සුමනසිරි හිනා වුනා. උත්තරයක් දුන්නේ නැහැ.
මේ දවස් වල ජනතා විමුක්ති පෙරමුණ ගැන සහ ඒ පක්ෂයේ අනාගතය ගැන දුක් වෙලා (ජවිපෙ නොවන) විවිධ අය ඉදිරිපත් කරන යෝජනා දැකලයි මට මේ කතාව මතක් වුනේ. ඒ එක්කම ඔය වගේම තවත් පක්ෂයක් ගැන දුක් වුන මගේ යාලුවෙක් කියපු දෙයක් මතක් වෙනවා.
මතක හැටියට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 'සමාජවාදී සමානාත්මතා පක්ෂය' හැටියට නම වෙනස් කරපු කාලේ. විජේ ඩයස් පේරාදෙණියේ කරපු දේශනයක් අවසානයේ තමයි ඒක සිද්ද වුනේ. විකොස සමග යම් සම්බන්ධයක් තිබුන චාමින්ද හෙට්ටිආරච්චි විජේ ඩයස් 'සහෝදරයාට' මේ වගේ දෙයක් කිව්වා: 'සහෝදරයා කියන දේවල් හරි. ඒත් සහෝදරයාගේ පක්ෂයේ කිසිම අට්‍රැක්ශන් එකක් නැහැනේ!'
විජේ ඩයස් තරමක් තරහින් මේ විදිහට පිළිතුර දුන්නා: 'අට්‍රැක්ටිව් පක්ෂයක් හොයාගෙන යනවා! පක්ෂේ වැඩපිළිවෙල වෙනස් කරන්න ඕන නම්, පක්ෂෙට බැඳිලා මතවාදී අරගලයක් කරන්න. උදව් කරන්න ඕන නම්, සල්ලි දෙන්න, දීලා යන්න!'
චාමින්ද තාමත් විකොසට සම්බන්ධ ඔය වගේ කතා ගැන හිනා වෙනවා. ඒත් විජේ ඩයස් ගේ පිළිතුර හරි.
දැන් ජවිපෙට දැනමුතුකම් කියන අයත් ටිකක් චාමින්ද වගේ. ජවිපෙට දේශපාලනයේ අයන්න අයන්න උගන්නන්න හදන අය කී දෙනෙක් ජවිපෙ ට සම්බන්ධ වෙලා තියෙනවද කියල මම දන්නේ නැහැ. ඒ වුනාට මේ තියරි කාරයින්ගෙන් බොහොමයක මැතිවරණ සමයේ දේශපාලන භාවිතය හරිම සරලයි. එයාල පුංචි ඡන්දයකදී (පළාත් පාලන, පළාත් සභා වගේ) 'ජවිපෙ ට දෙන්න' කියල අඬනවා. මහා ඡන්ද වලදී වැල්වටාරම් තියරි දාගෙන එක්සත් ජාතික පක්ෂ එක්ක හිටගන්නවා. මහා ඡන්දේ ඉවර වුනාට පස්සේ 'වම ශක්තිමත් කරමු' කියාගෙන ආයෙත් ජවිපෙ 'හරි පාරට ගේන්න' තියරි හදනවා. ඒක චක්‍රයක්.
චක්‍රය. ඕක තමයි හරිම වචනය. වම-දකුණ කියන්නේ බොරුවක්. එහෙම කියනකොට අපට මැවෙන්නේ සරල රේඛාවක අන්ත දෙකක්. එතකොට වමයි දකුණයි එකිනෙකට ඈතින් පිහිටලා තියෙනවා වගෙයි හිතෙන්නේ. ඒ වුනාට චක්‍රයක වමයි දකුණයි තියෙන්නේ ළඟ ළඟමයි. එහාට මෙහාට පනින්නත් එහෙන් මෙහෙන් සටන්පාඨ පික්පොකට් ගහන්නත් පහසුයි. සාක්කුවේ වැටෙන එකත් (දැන හෝ නොදැන) අමාරුම නැහැ.
අවසාන වශයෙන් තවත් පරණ කතාවක් ලියල මේ සටහන අවසන් කරන්නම්.
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ මුලින්ම පැවැත්වූ යේ 1988 වසරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණය වර්ජනය කෙරුව. ජවිපෙ ඒ කාලේ එජාප ආණ්ඩුව එක්ක ගල්කටස්-ටී56 සෙල්ලමට සූදානම් වෙනවා. "හැම ඡන්දපොලකම මුලින්ම ඡන්දය දාන කෙනාට මරණය!" කියල විජේවීරලා නිවේදනයක් නිකුත් කරලයි තිබුනේ. ඉතින් තරඟ කෙරුවේ එජාපයයි එක්සත් සමාජවාදී පෙරමුණ විතරයි (සුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට අමතරව). ලංකා සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේම ශ්‍රී ලංකා මහජන පක්ෂයත් තරඟ කෙරුවේ එක්සත් සමාජවාදී පෙරමුණෙන්. පක්ෂ ලකුණ පහන. දින්නේ අලියා.
ප්‍රතිඵල වල විශ්ලේෂණයක් මැතිවරණයට පස්සේ ලංකා ගාඩියන් සඟරාවේ (මතක හටියට) ලිපියක පල වුනා: "ආෆ්ට ද එලෙක්ෂන් ඩෙබකල් විච් වේ ෆෝ ද ලේෆ්ට් (මැතිවරණ පසුබසීමෙන් අනතුරුව වම කොයිබටද?)." ලියුම්කරු ගේ නම නම් මතක නැහැ. ඊට දවස් කිහිපයකට පස්සේ ලිපියට පිළිතුරක් (මතක හැටියට) 'දි අයිලන්ඩ්' පුවත්පතේ පල වුනා. මේකයි හෙඩිම: "ආෆ්ට ද එලෙක්ෂන් ඩෙබකල් විච් වේ ෆෝ ද ලේෆ්ට්? රයිට්! (මැතිවරණ පසුබසීමෙන් අනතුරුව වම කොයිබටද? දකුණට!)."
ඒ කාලේ 'වම' කියල කිව්වේ එක්සත් සමාජවාදී පෙරමුණට. ඒ කියන්නේ ලසසප, නසසප, මහජන පක්ෂෙට සහ කොමියුනිස්ට් පක්ෂෙට. විකොස වාමාංශික පවුලට අයිති වුනාට ගණන් ගත්තේවත් නැහැ. ජවිපෙ දැක්කේ 'ෆැසිස්ට්වාදී' සංවිධානයක් හැටියටයි. කෙසේ වෙතත් කතාවේ පොඩි ඇත්තක් තිබුනා. වාමාංශික සන්ධානය ඒ වෙනකොටත් එජාප මතයේ හිටියේ. සමාජවාදී පෙරමුණෙන් 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුන ඔසී අබේගුණසේකර 1989 දී නතර වුනේ එජාපයේ.
අවුරුදු 30ක් ගතවෙලා පරණ ෆිල්ම් එකක අලුත් ව(ර්)ශන් එකක් තමයි මේ දවස් වල පෙන්නන්නේ. වම ගැන දුක් වෙන, වම ගොඩගන්න දඟලන අයගෙන් අහන්න තියෙන්නේ සුමනසිරි ගෙන් මීට් අවුරුදු 26කට පෙර අහපු ප්‍රශ්නය මයි: 'ඔයාල වමේ ද දකුණේ ද?'
එතකොට හිනාවෙයි (සුමනසිරි වගේ දේශපාලනික ව ටිකක් අවංක නම්). හිනාවුනාට උත්තරයක් දෙන එකක් නැහැ. නැත්තම් හොඳටම තරහ යයි. විජේ ඩයස් ට තරහ යනවා වගේ ම. කොහොම වුනත් අවසානයේ මෙච්චරයි: දකුණ දකුනේමයි, වමත් දකුනේමයි.
0 comments:
Post a Comment