26 February 2018

ලෝ ඇන්ඩ් ඕඩ ආණ්ඩුව නොහොත් අධම-ගඳම ආණ්ඩුව



මෙතන දී උච්චාරණයට සම්බන්ධ කාරණයක් මුලින්ම  කියන්න ඕන.  ඉංග්‍රීසියෙන් 'නීතිය සහ සාමය' ට කියන්නේ 'Law and Order' කියල යි.  ඒ වචන සිංහලෙන් ලියන්නේ 'ලෝ ඇන්ඩ් ඕඩ' කියල යි.  එත් 'ලෝ ඇන්ඩ් ඕඩ' සිංහලෙන් උච්චාරණය කරනකොට ඉංග්‍රීසි උච්චාරණයට වෙනස්. සිංහලෙන් උච්චාරණය කරනකොට ඉංග්‍රීසියේ වෙනත් වචන දෙකක් ඇහෙනවා.  ඒ කියන්නේ 'Low and Odour' නැත්තම් 'අධම සහ ගඳගසන'.  වහරට වඩා ගැලපෙන්නේ නම් 'අධම සහ ගඳම' කියන යෙදුම.

ඇත්තම කතාව මේ ආණ්ඩුවත් ඊට පෙර ආණ්ඩුවත්, ඊටත් පෙර රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුවත්, චන්ද්‍රිකා ආණ්ඩුවත්, කොටින්ම නිදහසෙන් පසු හැම ආණ්ඩුවක් ම වාගේ 'අධම සහ ගඳගසන' ආණ්ඩු තමයි.  ඒත් මෙතන සාපේක්ෂ අගයන් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ.  පවතින ආණ්ඩුව තමයි බලපාන ආණ්ඩුව. ඒක තමයි අධම. ඒකම තමයි ගඳගහන්නේ.

ලෝ ඇන්ඩ ඕඩ කතාව බලෙන් ඇදල ගත්ත නෙවෙයි.  රනිල් වික්‍රමසිංහ ඒක ඇදල දුන්න. එකයි මෙහෙම ලියන්න හිතුනේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුනාට පස්සේ රනිල් ප්‍රධාන එජාපයෙත් මෛත්‍රිපාල ප්‍රධාන ශ්‍රීලංනිපයේත් ලොකු කැළඹීමක් ඇතිවුනා. මුල් වටයේ පරාජය දරාගන්න බැරුව, පිළිගන්න බැරුව, මංගල සමරවීරයි රාජිත සේනාරත්නයි විකාර දොඩවන්න ගත්තා. දෙවන වටයේ වුනේ රනිල් එක පැත්තකින් තනි එජාප ආණ්ඩුවක් හදන්න උත්සහා කරන අතර අනිත් පැත්තට මෛත්‍රී එජාප-විරෝධී පෙරමුණකින් ආණ්ඩුවක් හදන්න උත්සහා කරපු එක යි. 

ලොකු කතා ගොඩාක් අහන්න වුනා මුල් දවස් වල. ඊට පස්සේ පෝස්ට්-ට්‍රෝමටික් ස්ට්‍රෙස් ඩිස්ඕඩර් එකෙන් යම් සුවයක් ලබලද කොහෙද කතාව ටිකක් සීරියස් පැත්තට බර වුනා.  රනිල් මෙහෙම කිව්වා: 'ජනතාව අපේ වැඩපිළිවලට අකමැති බව පිළිගන්න ඕන. අපේ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න වැඩපිළිවෙලක් ගැන කතා කරගෙනයි ඉන්නේ.' 

කරපු වැරදි මොනවාද කියල රනිල් කිව්වේ නම් නැහැ. (කියවන්න 'රනිල් මහත්තයෝ දැන් කොරපු වැරදි කිව්වනම්...')

ඒ වැඩපිළිවෙල තාම පැහැදිලි කරලත් නෑ. ඒත් කරනවා, කරනවා, කරනවා කිව්ව, 'අද කරනවා, හෙට කරනවා' කිව්ව කැබිනට් මණ්ඩල සංශෝධනය මහා ලොකු වික්‍රමයක් වගේ අන්තිමට කෙරුව.  

දුකක් දැනුනා. එජාපය ගැනත්, රනිල් ගැනත්, මේ දෙක ගැන විශ්වාසක් තැබූ අය ගැනත්.  අන්තිමට සැලකිය යුතු කිසිම වෙනසක් සිද්ධ කරලා නැහැ. සමහර විට ඇමතිවරු අඩි හප්පලා 'නෝ ලොක්කා නෝ නෝ නෝ!' කියල කියන්න ඇති.  නැත්තම් හැම දෙයක් ම වගේ ඇද ඇද ඉඳල බැරිම තැන අරයගෙ ඇමතිකම් මෙයාට දීලා මෙයාගේ ඇමතිකම් අරයට දීලා 'හුරේ! අපි ඔන්න සංශෝධනයක් කෙරුවෝ!' කියල කෑ ගහන්න පුළුවන් වෙයි කියල හිතන්න ඇති. 

ඒත් කතාකරන්න තරම් වෙනස්කමක් කියල කරලා තියෙන්නේ එකයි. ඒක තමයි අර ලෝ ඇන්ඩ් ඕඩ ඇමතිකම.  ඒක කලින් තිබ්බේ සාගලට.  නමට සාගල හිටියට ඇමතිකම ඇත්තටම කෙරුවේ රනිල් කියන බව හැමෝම දන්න රහසක්.  කාටද නඩු දාන්නේ, මොන නඩුද පැත්තකට කරන්නේ, කව්රු අත්අඩංගුවට ගන්න එකද වළක්වන්නේ වගේ දේවල් තීරණය කෙරුවේ සාගල නෙවෙයි. රනිල්.  

මේ 'වෙනස' සඳහා වටපිටාවක් හදන්න නම් කම්මැලි වුනේ නැහැ මෙයාල. සාගල මුලින්ම කිව්වා 'ලෝඩ් රනිල් අනේ මේ ලෝ ඇන්ඩ් ඕඩ කෙහෙල්මල මට නම් එපා!' කියල.  ඊට පස්සේ සරත් ෆොන්සේකා මෙහෙම කිව්වා: 'මට දුන්නොත් මම කරලා පෙන්නන්නම්!'  අන්තිමට සාගල ව ඒකෙන් නිදහස් කරලා, ෆොන්සේකා ට හුලං ටිකක් දීල 'අයි නෝ ද ලෝ පුතා' කියනව වගේ රනිල් වැඩේ නිල වශයෙන් බාර ගත්ත. 

'කව්ද හොරා, කව්ද හොරා?' කියල බෙරිහන් දෙද්දී පාර්ලිමේන්තුවේ රනිල්ගේ අනුගාමිකයින් ට මෙහෙම කියන්න තිබ්බා: 'රවී රවී!'  නැත්තම් 'මහේන්ද්‍රන්, මහේන්ද්‍රන්'.  එහෙමත් නැත්තම් 'ඔයාම තමයි ලොක්කා!'  සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් මේ විදිහට හිතන්නත් ඇති 'හොරා කව්ද කියල ඔබතුමා දන්නවා ඇතිනේ!' 

මෑත කාලයේ සිදුවුණ ලොකුම වංචාව ට ඍජුව ම සම්බන්ධ වුනේ අර්ජුන මහේන්ද්‍රන්. රනිල් ගේ ගජ මිතුරෙක්.  මහේන්ද්‍රන්ට චරිත සහතික නිකුත් කෙරුවේ රනිල්. පහුගිය පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාවෙන් මහේන්ද්‍රන් මාට්ටු වෙන්න යනකොට පාර්ලිමේන්තුව විසුරුවන්න වග බලාගත්තේ රනිල්. ඒ රනිල් ම තමයි 'නීතිය හා සාමය' විෂය තමන් අතට දැන් අරගෙන තියෙන්නේ.  

ලෝ පුතා, බොහොම ලෝ. ඒ කියන්නේ 'Low' නැත්තම් පහත්.  අධම යි වැඩේ.  ගඳයි වැඩේ.  'Low and Odour' ම තමයි. ඒකෙ කතා දෙකක් නැහැ.

0 comments: