08 March 2018

ජනාධිපති අපේක්ෂක මාලින්ද සෙනෙවිරත්නගේ මාධ්‍ය නිවේදනයකි

රජය අසමත් වූ බැවින් නීතිය සහ සාමය ස්ථාපිත කිරීමට රටවැසියන් ඉදිරිපත් විය යුතු යි 

පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ පසු තෙල්දෙණිය, දිගන සහ වෙනත් ප්‍රදේශවල ඇති වූ පහරදීම්, ගිනි තැබීම් කොන්දේසි විරහිතව හෙළා දකිමි.  නීතිය හමුවේ පුද්ගලයෙකුගේ ජාතිය හෝ ආගම අදාළ නොවන බවත් මෙම පහර දීම ජාතිය පදනම් ව සිදුවූවක් බව තහවුරු වී නැති බවත් අවධාරණය කරමි.  

කෙසේ වෙතත් එම පහර දීමට නොයෙකුත් කියවීම් අනතුරුව සපයා ඇති බව පෙනේ. වාර්ගික ගැටුමක් දක්වා මෙය දුරදිග ගොස් හමාර ය.  ඒ පිළිබඳව මේ රටේ සියලු දෙනා කණගාටු විය යුතු බව මගේ හැඟීමයි.    

නීතිය හා සාමය ස්ථාපිත කිරීමත් ආරක්ෂා කිරීමත් ඕනෑම රජයක මූලික වගකීමකි.  අම්පාරේ මෙන්ම පහුගිය දවස් වල මහනුවර දිස්ත්‍රික්කයේ ද ඇති වූ තත්ත්වය අපට පෙන්නුම් කරන්නේ ජනතාව සහ දේපළ ආරක්ෂා කිරීමේ වගකීම ඇති සියලු පාර්ශවයන් අසමත් වූ බවයි.  අදාළ ආයතන සහ නිලධාරීන් ක්ෂණිකව සහ තීරණාත්මකව ක්‍රියාත්මක වුයේ නම්, අසාධාරණයට ලක්වූවන්ට යුක්තිය පිළිබඳ විශ්වාසයක් ඇති කළේ නම්, මෙම තත්ත්වය මගහරවා ගන්නට තිබුන බව මගේ විශ්වාසයයි.     

සිංහල සහ මුස්ලිම් ප්‍රජාවන් අතර සැලකිය යුතු කාලයක් පුරා යම් ආතතියක් පැවති බව සියල්ලෝ දනිති.  අන්‍යොන්‍ය අවිශ්වාසය සහ බිය තුනී කිරීමට නම් සියලු කාරණා විවෘතව සාකච්ඡා කළ යුතුව තිබිණ. එය සිදුවුයේ නැත. මෙවැන්නකට යම් කාලයක් අවශ්‍ය බව පිළිගත යුතුයි.  මෙවැනි යථාර්ථයක් පවතින බැවින් සුලු සිද්ධියක් වුවත් පාලනය නොකළ හැකි තත්ත්වයකට වේගයෙන් ගමන් කිරීමට ඉඩ ඇති බව ද අපි දනිමු. 

යම් අවාසනාවන්ත සිදුවීමක දී නීතිය වහාම ක්‍රියාත්මක කිරීමත් අදාළ කාරණය පිළිබඳ සියලු තොරතුරු ජනතාව වෙත ලබා දීමත් රජයක වගකීමයි. මෙම වගකීම මගහැර ඇති බව කණගාටුවෙන් සඳහන් කරමි. එම හේතුවෙන් කටකතා වලින් අයුතු වාසි ලබාගැනීමට සූදානමෙන් සිටින අයටද ඉඩක් නිර්මාණය විය. මෙම ඉඩ නිර්මාණය වුයේ රජයේ අලස බවත් නොහැකියාවත් හේතුවෙන් බව පැහැදිලිය. 

රජයක් මෙවැනි අවස්ථාවලදී  අසමත් වන විට තත්ත්වය සමනය කිරීම සඳහා ජනතාව ඉදිරිපත් විය යුතුමයි. එබැවින් මා සියලු රටවැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ ආවේග වෙනුවට බුද්ධිය තෝරාගන්නා ලෙසයි.  ඉවසීමට සහ ප්‍රඥාවට මුල් තැන දීමෙන් පමණක්  නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීමට හැකි වනු ඇත. 

නැවතත් ජනවාර්ගික අර්බුදයක් නිර්මාණය වීම අප රටට දරා ගත නොහැකි වනු ඇත.  එබැවින් ශිෂ්ටසම්පන්න, වගකීමෙන් කටයුතු කරන, මේ රටට ආදරය කරන හැමෝටම වගකීමක් පැවරේ. සියලු දෙනා මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුත්තේ රජය අසමත් වී ඇති බැවිනි. 

නැවත නැවතත් මා ඉල්ලා සිටින්නේ සන්සුන්ව, ප්‍රඥාසම්පන්නව, වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි.  අපේ රට සියලු අන්තවාදයන් වලින් මුදවා ගත හැකි වන්නේ එවිටයි.

නිදුක්, නිරෝගී සුව! 

මාලින්ද සෙනෙවිරත්න 

0 comments: