01 August 2018

මරණ දඬුවම නොහොත් 'මරුවා සමඟ වාසේ අංක 2'

ඇන්ටන් ජෝන්ස් කියන්නේ 'ලංකාවේ සත්‍ය සිද්ධීන්' ගීතයට පෙරළු ජනප්‍රිය ගායකයෙක්.   'මරුසිරා' යනු ඔහුගේ ගීත වලට පාදක වූ එක් 'සත්‍ය සිද්ධියක' ප්‍රධාන චරිතයකි.

උප්පැන්න සහතිකේ සඳහන් නම දෙද්දුව ජයතුන්ගලාගේ සිරිපාල වුනත් ඔහු රටටම 'මරුසිරා' වූයේය.  මිනීමරුවෙක්. සිරගෙයින් කිහිප වතාවක් පැනගිය මැරයෙක්. මරුසිරාට මරණ දඬුවම නියම කළේ 1974 මාර්තු මාසයේ. 

බෝගම්බර සිරගෙදර අබිරහස් ලෙස මරුසිරා මරණයට පත් වුණේ 1975 වසරේ අගෝස්තු 7 වැනිදා. මරුසිරා කෙසේ හෝ පැන යතැයි සිතු ජේලර්වරු ඔහුට අගෝස්තු 5 වැනි දා ක්ලොප්‍රෝමසින් පෙව්වේ ඔහුව අඩපණ කිරීමේ අදහසින්. ඔහුට සිහි නැති විය.  ඊට දවස් දෙකකට පසුව එල්ලුවේ සිහි නැති මිනිසෙකි. මියගියේ සාමාන්‍ය විදිහට එක සැනින් නොවේ, හුස්ම හිරවීමෙනි. ඇතැම් අය කියන්නේ ඒ 'විෂ' කාලයක් තිස්සේ එකතු කර කලින්ම සිය දිවි හානි කර ගත් වගයි. 'උඹලට මාව එල්ලන්න දෙන්නේ නැහැ' කියා ජේලර්ලට කී බවත් මේ කතාවේ කොටසක්.

'එල්ලාද මැරුවේ මරලාද එල්ලුවේ...මේ ප්‍රහේලිකාව කව්ද විසඳුවේ?' ඇන්ටන් ජෝන්ස් එසේ අසන්නේ මරුසිරාගේ මරණය ගැන විවිධ මත තිබුන නිසා විය යුතුයි. 

කෙසේ වෙතත් මරුසිරාගේ මරණයෙන් පසුව ලංකාවේ නීත්‍යනුකූල මිනී මැරුම් සිදු වුයේ නැත.

ඉන්පසු විටින් විට විවිධ අය මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හඬ නගා ඇත.  අද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රිපාල සිරිසේන. ජනාධිපති. අතිගරු.  අතිගරු ජනපති ගේ මතය ඇමති මණ්ඩලය ද දරන බව කිව යුතුයි. එනම් මෛත්‍රිපාල සිරිසේන මෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු ඇමතිවරු නිත්‍යානුකූල ඝාතන අනුමත කරන්නෝය.

මේ කාරණය සාමාන්‍යයෙන් මතු කෙරෙන්නේ අපරාධ, විශේෂයෙන්ම දරුණු අපරාධ, වැඩි වැඩියෙන් සිදුවන අවස්ථා වලදී, නැතහොත් දරුණු අපරාධ වැඩි වැඩියෙන් සිදුවෙනවා යැයි සිතෙන දැනෙන අවස්ථා වලදී (අදාළ දත්ත කියන සත්‍යය කෙසේ වෙතත්).  ප්‍රවණතා කෙසේ වෙතත් පොදුවේ බොහෝ දෙනා ගේ සිත් කළඹන අපරාධයක් (සාහසික මිනීමැරුමක්, ළමා දූෂණයක් වැනි) සිදුවන අවස්ථා වල ද 'මුන්ව උල තියල මරන්න ඕන' වැනි ආවේගශීලී අදහස් ප්‍රකාශ වේ. සමහරු 'මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන නිසා' වැනි 'හේතු' ඉදිරිපත් කරති. 

ජනපති සිරිසේන ට ප්‍රශ්නයක් වී ඇත්තේ මේ කිසිවක් නොවේ. ඔහු ට ප්‍රශ්ණයක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය යි.  ඔහු ගේ විශ්වාසය වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ ලොක්කන් මෙන්ම සොක්කන් ද එම ව්‍යාපාරයෙන් ඉවත් වන බවයි. ඒවගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් අඩුවෙතැයි ඔහු සිතයි. 

මෙවැනි ව්‍යාපාරවලින් යැපෙන බොහෝ දෙනා පාතාල කල්ලි වලට සම්බන්ධ අය වේ.  ඔවුන් සෑම මොහොතකම මරණය බලාපොරොත්තුවෙන් ජීවත් වන බව සත්‍යයකි.  ජේලර්වරු, පොලීසිය, මැති ඇමතිවරු මෙන්ම නඩුකාරයෝ ද සාක්කුවල දමාගන්න වත්කමක් ඇති මොවුන් එල්ලුම් ගහට බිය වීමට හේතුවක් නැත. 

ඒ කෙසේ වෙතත් මේ 'මරණ බය' ගැන විමසීම වටී.  තර්කය බිය වැද්දීම නම්, නීත්‍යානුකූල මරණ සිදු කළ යුත්තේ ප්‍රසිද්ධියේ ය.  බෝගම්බර හෝ වැලිකඩ බන්ධනාගාර වල අඳුරු කුටියක නොවේ ගාලු මුවදොර පිටිය වැනි විවෘත තැනක ය.  ක්‍රිකට් තරඟයක මෙන් සජීවී විකාශනයක් රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා වල ප්‍රචාරණය කළ යුත්තේ විස්තර විචාරයක් සමග ය.  දැවී යාමක රීප්ලේ එකක් මෙන් ස්ලෝ මෝෂන් විකාශනයක් ද අවශ්‍ය වේ.  ප්‍රිවිව් රිවිව් ද අවශ්‍ය වේ.  එල්ලුම්ගසට නියම වූ පුද්ගලයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් ද අවශ්‍ය වේ. අපරාධය සිදු කළ දින සිට මරණ දඬුවම ට ලක් වන දිනය දක්වා ඔහු හෝ ඇය කළ නොකළ දේ, සිතුම් පැතුම්, පස්චත්තාපයන් යනාදියද විස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු වේ.  'බාල වයස් අයට නුසුදුසු දසුන් අඩංගු විය හැකිය' වැනි අනතුරු ඇඟවීමක් සමග විකාශනය කිරීමට අදාළ බලධාරීන් වග බලා ගත යුතු වේ. 

අදාළ විශේෂාඥයින් ගෙන් මරණය සිදුවන ආකාරයද, වේදනාව ද, මරණය ට පෙර මානසික තත්ත්වය ද විමසා එම මත ජනගත කළ යුතු වේ.  මේ සියලු කාරණා පාසල් වල විෂය ධාරාවන් තුළට එකතු කළ යුතු වේ. එසේ කළහොත් ඇතැම් දරුණු අපරාධ වල ඵලවිපාක ගැන හැමෝම කල්පනා කරාවි යැයි අනුමාන කළ හැක.   "මරපියව්! මරපියව්!" යන ඝෝෂාව මතුවෙන්නේ  කිසි දෙයක් නැරඹීමට අකමැති සමාජයකින් බව මගේ වැටහීමයි.

ඒ කෙසේ වෙතත් බොහෝ දරුණු අපරාධ වලට කෙනෙකු පොලඹවන්නේ ආවේගය වේ. ආවේගකාරී මොහොතේ තර්කයට ඉඩක් නැත. ආදීනව ගැන සිතන්නේ ද නැත.  මේවා ගැනද සිතිය යුතු වේ.

දඬුවම වරදට අනුරූපී විය යුතු වේ.  පොකට් කාරයෙකුට මරණ දඬුවම බර වැඩි මෙන්ම මිනීමරුවාට රුපියල් දහයක වන්දියක් ගෙවීමට නියම කිරීම සැහැල්ලු වැඩියි.  ඇසකට ඇසක්, උණ්ඩයකට උණ්ඩයක්, ලේ බිඳුවකට ලේ බිඳුවක්.  එසේම විය යුතු නම් මිනී මරුවා මිනීමැරුම පහත සඳහන් ආකාරයට සිදු කළ යුතුය.

මිනීමැරුම සිදුකරන මොහොත, ස්ථානය සහ ඒ සඳහා භාවිත කරන උපකරණ කට්ටලය සවිස්තරාත්මකව පැහැදිලි කළ යුතු වේ.  අනතුරුව ඔහුව හෝ ඇයව අවුරුදු ගණනක් කිසිවෙකු හමුවිය නොහැකි ස්ථානයක රඳවා තැබිය යුතු වේ.

ඒ බියකරු මොහොත පැමිණෙන තුරු අදාළ පුද්ගලයාව මොහොතක් මොහොතක් පාසා නොමරා මරණ බවද පැහැදිලි කර දිය යුතු වේ. 

පෝරකය ගැන විශිෂ්ටතම සටහන තැබූ ඇල්බෙයා කැමූ ("Reflections on the Guillotine" නොහොත් "පෝරකය ගැන සිතුවිලි") මෙවැනි පැනයක් ඉදිරිපත් කර ඇත: 'කුමන මිනීමරුවා ද  තමා ඝාතනය කිරීමට යන පුද්ගලයා මෙවැනි තත්ත්වයකට පත් කරන්නේ?'

අධිකරණයේ විශිෂ්ටත්වය ගැන කතා නොකරමු.  කෙසේ වෙතත් ඉතාම සාධාරණ උසාවි තුළත් වැරදි සිදුවේ. දක්ෂම විනිසුරුවන් ද සාවද්‍ය තීන්දු දෙති.  වෙන දඬුවම් මෙන් නොව, වැරදි නිවැරදි කර වන්දියක් නියම කිරීමෙන් අසාධාරණය ට ලක් වූ පුද්ගලයා ට අස්වැසිල්ලක් සැලසිය හැකි දඬුවමක් නොවේ ය මෙය.  මේ ගැන ජනපති මෙන්ම 'මරව් මරව්' කියා කෑ මොර ගසන සුද්දවන්තයින් සිතුවෝ ද?

ඇසිය යුතු තවත් ප්‍රශ්න ඇත. මිනීමරුවෝ සහ වෙනත් දරුණු අපරාධකරුවෝ නීතියේ සිදුරු ඇති නිසා හෝ තමන් වෙනුවෙන් පෙනී සිටින්නට දක්ෂ නීතිඥවරුන්ගේ සේවාවන් මිලදී ගැනීමට තරම් වත්කම් ඇති නිසා හෝ අදක්ෂ දූෂිත විනිසුරුවන් ඒ නඩු විභාග ඇසූ නිසා හෝ නිදැල්ලේ සිටින රටක් මෙය.  අහුවෙන එකා එල්ලලා මැරීමත් බලපුළුවන්කාරකම් තියෙන එවුන් නිදැල්ලේ සිටීමත් යුක්තිසහගතද? 

දරුණු අපරාධකරුවන් සියල්ල එල්ලා මරන්න බැරිවුනත් එකෙක් දෙකෙක් හරි මරණ එක යහපත් කියා කෙනෙකුට තර්ක කළ හැක. ඒ තරමින් සමාජය අනතුරු වලින් ආරක්ෂා වනවා යැයි ඔවුන් පෙන්වා දෙනු ඇත.  මීට වසර 50කට විතර පෙර අ(ර්)නෙස්ටෝ චේ ගුවේරා ලියු 'කියුබානු විප්ලවීය සටනේ මතක සටහන්' නම් කෘතිය මතක් වන්නේ 'මරණ දඬුවම' පිළිබඳ ඔහුගේ අදහස් ඒ මතකයන් අතරේ සටහන් වූ නිසා වේ.

සියෙරා මයෙස්ත්රා කඳු අතර බැටිස්ටා ගේ හමුදාවට එරෙහිව සටන් කරන අතර සතුරන්ට ඔත්තු සපයා අසුවූ පුල්ගලයෙක් පිළිබඳව චේ ට තීන්දුවක් ගන්න සිදුවූයේය. 

'වෙනත් යුගයක, වෙන තත්ත්වයන් යටතේ මොහු ඇතැම් විට අපේ අරමුණු වෙනුවෙන් බොහෝ දේ කරන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඒ මොහොතේ ඔහුව රඳවා තබා ගැනීමට පුළුවන් කමක් තිබුනේ නැහැ. අනික ඔහුව නිදහස් කළා නම් සතුරාට අප ගැන තොරතුරු නොදේවියි කියල හිතන්නත් අමාරුයි.  එහෙම වුනා නම් අපේ කණ්ඩායමට ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක් ම කල්පනා කරලා ඔහුව මරන්න තීන්දු කෙරුව.'

ඒ ආයුධ සන්නද්ධ අරගලයක අතුරු කතාවක්.  චේ ට මුහුණ දෙන්න සිද්ධ වුන ගැටලුව රාජ්‍යයකට ප්‍රශ්නයක් නොවේ. සමාජය ආරක්ෂා කරනු වස් දරුණුම අපරාධකරුවන් ජීවිතාන්තය දක්වා වුවත් සිර කර තැබිය හැක.

එසේනම් නීත්‍යනුකූල මිනීමැරුම් යනු වෛරය පිරිමසා ගැනීමක් ද? එනම් රාජ්‍යය ද, නීතියද ඇත්තේ හැඟීම් සමනය කිරීමට ද? රාජ්‍යය, නීතිය කෙසේ වෙතත් ජනාධිපති-අගමැති ප්‍රධාන යහපාලන ආණ්ඩුව ගත් මේ තීන්දුව අතාර්කිකයි.  එය තුළ ගැබ්ව ඇත්තේ නොහැකියාවයි, වෛරී චේතනාවයි. ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට සාර්ථක වැඩපිළිවෙළක් නැත. මත්ද්‍රව්‍ය ජාවාරමේ මහා මොළකරුවන්, මහා මුදලාලි ලා ට එරෙහිව වැට බඳින්නත්, ඔවුන් නීතියේ රැහැනට ගැනීමට වැඩපිළිවෙළක් වත් නොමැත. අධිකරණය ද නීතිය ආරක්ෂා කරන සහ ක්‍රියාත්මක කරන ආයතනික පද්ධතිය ද අකාර්යක්ෂමයි, දූෂිතයි.  තත්ත්වය මෙසේ තිබියදී 'අහුවෙන එකා ගේ බෙල්ල කපන' නීතිය විහිළුසහගතයි. ප්‍රශ්නයට විසඳුමක් නොවේ.  'කුඩු ප්‍රශ්නයට' සීමාවුන අර්බුදයක් නොවේ මෙය. සියලු දරුණු අපරාධ වලටද මෙය සාධාරණයි. 

ඇසකට ඇසක්, උණ්ඩයකට උණ්ඩයක්, ලෙයට ලෙය වගේ බොළඳ තර්කයකට මේ බරපතළ සමාජීය, මානුෂීය ප්‍රශ්නය ලඝු කරලා කිසිදෙයක් විසඳෙන්නේ නැත.  වන්දියක් නම් එය සාධාරණ ද නැත.  අනාගත අපරාධකරුවන් බියවැද්දීමක් බලාපොරොත්තු වනවා නම් එයද සිදුවන්නේ නැත. දැවැන්ත වැරදි සිදුවන සහ සිදු කරන සමස්ත නීති පද්ධතියක් වැරදි තීන්දුවක් දුන්නොත් පසුව වන්දියකින් සහ නිදහස් කිරීමෙන් නිවැරදි කර ගත නොහැකි දෙයකි මේ මරණ දඬුවම.

මේ සියළු කරුණු කාරණා වලට අමතරව දඬුවම අවභාවිතයේ යෙදවීමේ අනතුරක් ද ඇත. මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම මරණ දඬුවම නියම විය හැකි වරදක් නම්, දේශපාලන බලය විසින් නීතිය දැනගස්වීමට හැකි සංස්කෘතියක් සහ ආයතන පද්ධතියක් ඇති රටක දේශපාලන සමීකරණයෙන් සතුරන් ඉවත් කිරීමට කදිම උපක්‍රමයක් බව තේරුම් ගත යුතුයි.  අවශ්‍ය වන්නේ 'සුදුසු' සාක්ෂි නිර්මාණය කිරීම පමණි.  මතක තබා ගත යුතු වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන මේ රටේම සිරගෙවල් තුල මෙන්ම පොලිස් ස්ථාන වලද සිරකරුවන් රැඳවියන් ඝාතනය වන බවයි.

2015 වසරේ ජනවාරි 9 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට දිවුරුම් දීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධම්මපදයේ ගාථාවකින් ඔහු ගේ ප්‍රථම නිල කතාව කෙරුවේ ය.

නහී වේරෙන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්ති
ඒස ධම්මො සනන්තනෝ

මේ ලෝකය කවරදාකවත් වෛරයෝ වෛර බැඳීමෙන් නොසන්සිඳෙත්. මෙය හැම කල්හිම නොවෙනස්ව පවතින දහමකි.

එදා මෙදා තුර කතාව සහ ක්‍රියාව නොහොත් න්‍යාය සහ භාවිතය අතර විශාල පරතරයක් ඇති බව එතුමා බොහෝ අවස්තාවලදී  ඔප්පු කර ඇත. මෛත්‍රී යුගයක් ගැන බොහෝ දේ කිව්වත් වෛරය ඔහුගේ ද පොදුවේ යහපාලකයින්ගේ ද ප්‍රධාන මෙහෙයුම් සාධකයක් බව කනගාටුවෙන් වුවද කිව යුතුමයි.

මරුසිරා ගේ කතාව පාදක කරමින් චිත්‍රපට දෙකක් 70 දශකයේ අග භාගයේ නිර්මාණය විය. එකක් අමරනාත් ජයතිලක ගේ 'සිරිපාල සහ රන්මැණිකා'.   රඟපෑවේ රවින්ද්‍ර රන්දෙණිය සමග මාලිනී ෆොන්සේකා. අනෙක ටයිටස් තොටවත්ත ගේ නිර්මාණයක්. රඟපෑවේ විජය කුමාරතුංග සහ ගීතා කුමාරසිංහ.  චිත්‍රපටයට නම ගත්තේ මරුසිරා ගේ පපුව හරහා කොටපු පච්චයකිනි.  'මරුවා සමඟ වාසේ'.

දෙද්දුව ජයතුන්ගලාගේ සිරිපාල නොහොත් මරුසිරා අද ජීවතුන් අතර නැත. 

අද මරුවා සමඟ වාසය කරන්න ආරාධනා කරන්නේ පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රිපාල සිරිසේන. මැරුණේ සිරිපාල. මරන්න හදන්නේ සිරිසේන.

නැවතත් ඇන්ටන් ජෝන්ස් ගේ සින්දුව මතක් වේ.

නිර්භීත මරුසිරා කියන්නේ කව්ද සුමිතුරා
මිනී මර මරා හැංගි සිටියා රට පුරා
සිරිසේන නම් එයා මරුසිරා යයි කියා
ඉතිහාසෙට නමක් එක් කළා

සින්දුව ඔය විදිහට කිව්වොත් මම නම් පුදුම නොවෙමි.

 





Reactions:

0 comments: