31 July 2019

ජනපති සිහින: විහිළුසහගත සහ සීරියස්

විහිළු සපයන්නේ මෙයාල විතරක්ම නොවේ 

ජනතාවට බය අය මැතිවරණ පවත්වන්න කැමති නෑ.  මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නත් බයයි.  කෙසේ වෙතත් පමා වෙලා හරි මැතිවරණ පවත්වන්න සිද්ධ වෙනවා. එතකොට ජනමතය විමසෙනවා. ජනප්‍රියත්වයේ ප්‍රමාණය තීන්දු වෙනවා. ඒක තමයි 2018 පෙබරවාරි 10 දා සිද්ධ වුනේ. 

ඉදිරියටත් එහෙමයි. බලය බෙදීමෙන් ජාතික සමගිය උදා කරන්න පුළුවන් කියල විකාර දොඩන අයවත් මේ වෙනකොට පළාත් සභා මැතිවරණ ගැන නිහඬයි. ප්‍රජාතන්ත්‍රවාදය දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියල බෙරිහන් දුන්න අය මැතිවරණ කල් දැමීම ගැන නිහඬයි. 

ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත් මැතිවරණත් අදාළ වෙන්නේ මේවා තම තමන්ගේ දේශපාලන කැමැත්ත අකමැත්ත අනුවයි. නීතිය හා සාමය, අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම්, සහජීවනය, ස්වෛරීයභාවය, ස්වාධිපත්‍යය, පරමාධිපත්‍යය වගේ දේවල් ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි.   

දේශපාලනය ගැන උදේ හවා උනන්දු වන අය දේශපාලනිකවත් මතවාදී වශයෙනුත් ඒ තරම්ම දුප්පත්. ජනතාව ඊට වඩා පොහොසත්. අඩුම තරමින් තීරණාත්මක අවස්ථා වල විකල්ප කිරල මැනලා, සාපේක්ෂ වාසිය සලකා බලලා දේශපාලන තීන්දු ගන්න ජනතාව දන්නවා. ලැබෙන්නේ අර්ධ විසඳුම් බව ජනතාව නොදන්නවා නොවේ. ලබෙනවා වගේම අහිමි වෙන බවත් ජනතාව නොදන්නවා නොවේ. ඒ වුනාට දන්න යකාට නැත්තම් බාල තක්කඩියාට නැත්තම් තමන්ට මොනයම්හෝ වාසියක් දෙනු ඇතැයි සිතන කෙනාට ඡන්දය දෙනවා. යුගයේ අවශ්‍යතාවය, පොදු අරමුණු, රජ ජාතිය වෙනුවෙන් වගේ කතා කියනවා තමයි. ඒවත් යම් ප්‍රමාණයකට බලපානවා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. කොහොම වුනත් ජනතාව බොහෝ දේශපාලන විචාරකයින්ට වඩා ඉදිරියෙන් කියලයි දැනෙන්නේ.  

එහෙම නෙවෙයි කියලා හිතමු. ඒ කියන්නේ ජනතාව මෝඩයි. දේශපාලනය නිතර නිතර කතා කරන අයටත් වඩා මෝඩයි. එහෙම හිතමු. එහෙම හිතුවත් ජනාධිපති සිහින දකින සමහර අය ජනතා කැමැත්ත දිනාගන්න හිතාගෙන කියන කරන දේවල් විහිලුයි.  

කලක තරුණයින්ට චුවින්ගම් බ්‍රේස්ලට් දෙන්න පොරොන්දු වුන  රනිල් වික්‍රමසිංහට දැන් ගමට-ජිම් දෙනවා කියනවා. සජිත් ප්‍රේමදාස පාසැල් ළමුන්ට සපත්තු කුට්ටම් දෙනවා කියනවා. මේව විහිළු. මේ අය විහිළුකාරයෝ.  ඒ අතින් පොහොට්ටුවේ අපේක්ෂකයා කියල හිතාගන්න පුළුවන් වන ගොටාභය රාජපක්ෂ ටිකක් දියුණුයි. වියත්මග, එලිය වගේ සංවිධාන හරහා උත්සහ කරලා තියෙන්නේ වෘත්තිකයින්ගේ දැනුම සහ අත්දැකීම් එකතු කරලා ප්‍රතිපත්ති හදන්න. ඒකේ සීරියස් ගතියක් තියෙනෙව. නාගානන්ද කොඩිතුවක්කු අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙත් සීරියස් ගතියක් තියෙනවා. ඇතැම් වෘත්තිකයින්, සිවිල් ක්‍රියාධරයින් සහ සමාජ-දේශපාලන සංවිධාන ජාතික ජනතා ව්‍යාපාරය නමින් එකතු වී සකස් කරලා තියෙන වැඩපිළිවෙලත් ඒ වගේ. සීරියස්. රොහාන් පල්ලෙවත්තටත් වැඩපිළිවෙලක් තියෙනවා. මේවා සාධනීය ප්‍රවණතා. මැතිවරණ අවසන් වෙනකොට අමතක කරන මැතිවරණ ප්‍රකාශනවලට වඩා වටිනවා. ඒවා වටා ජනතාව පෙළගැසුනත් නැතත්, හොඳ වැඩ.    

මැතිවරණය ලං වෙද්දී ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය වගේ විෂයන් ගැන කතා කරයි. ජාතික සමගිය, නීතිය හා සාමය, සංහිඳියාව වගේ දේවල් සඳහන් වෙයි. යහපාලනය ගැන කතා නොකෙරුවත් වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන මොනයම් හෝ දෙයක් කියවයි. ඒත් හැමෝටම අමතක වුන දේවල් තියෙනවා. 

නිකසල රටක් ගැන කතා කෙරුවත් කසල ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් වෙලා නෑ. තිරසාර සංවර්ධනය ගැන කතා කෙරුවත් වැඩපිළිවෙලක් නෑ. ආහාර සුරක්ෂිතභාවය, පෝෂණය ගැන කතා කෙරුවත් කාබනික ගොවිතැන ගැන නිහඬයි. දේශීය වී වර්ග ප්‍රචලිත කිරීම ගැන නිහඬයි. ජාතිකත්වය ගැන කතා කෙරුවත් ජාතික න්‍යායපත්‍රය විදේශිකයින් විසින් සකස් කරන එක ගැන නිහඬයි. මානව හිමිකම් කවුන්සිලයේදී යහපාලන ආණ්ඩුව 30/1 කෙටුම්පතට සම-අත්සන් තැබීමෙන් නැතිකරගත්ත නිදහස, ස්වෛරීයත්වය ගැන නිහඬයි.  

මේවා ගැන රනිල් මොනවාද කියන්නේ? සජිත්, චම්පික, කරු ඇතුළු එජාපය ප්‍රධාන යහපාලන සන්ධානය මොනවාද කියන්නේ? ගෝටා මොනවාද කියන්නේ? නාගානන්ද, පල්ලෙවත්ත, ජාතික ජනතා ව්‍යාපාරය මොනවාද කියන්නේ? එයාල ඇත්තටම සීරියස් ද නැද්ද කියල හිතාගන්න පුළුවන් වෙන්නේ මේවා පිළිබඳවත් කතා කෙරුවොත් විතරයි. 
 

0 comments: