08 August 2019

භික්ෂුව සහ දේශපාලන භාවිතය


භික්ෂුවට දේශපාලනය අකැපයි කියල සමහරු තර්ක කරනවා. මහණ දම් පුරලා සත්‍යාවබෝධය හරහා නිවන ලඟා කර ගන්න එක මිස ලෞකික දේවල් වල නියැලෙන එක හොඳ නැහැ කියල තර්ක කරනවා. භික්ෂුන් විවිධයි. අරමුණු විවිධයි. විනය ගැන කියවීම් විවිධයි. කොහොම වුනත් බෞද්ධයින්ගේ බෝධිසත්ව ගුණ හොයන අය අබෞද්ධයින්ගෙන් ඒ ඒ ධර්ම වල කියැවෙන, ඉල්ලන, අණ කරන භාවිතයන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ ගිහි-පූජක දෙපාර්ශයේ කවුරු හරි ඒ ඒ විනය පද්ධති වලට පටහැනිව කටයුතු කරද්දී දොස් කියන්නෙත් නෑ. ඒකත් දේශපාලනිකයි.  කොහොමත් සිංහලකමත්, බෞද්ධකමත්, සිංහල බෞද්ධකමත් පටලව ගන්න ලේසියි. ඒ නිසා පටලවගන්නවා, ඇතැම් විට දේශපාලනිකව එහෙම කරන එක වාසිසහගත නිසා.

ඒ දිග සංවාදය ගැන මගේ උනන්දුවක් නැහැ. කැප-අකැප කාරනා ඒවා අදාළ කර ගන්න අය සාකච්ඡා කරයි. භික්ෂුවක් දේශපාලනයේ යෙදීම ගැන මට ගැටලුවක් නැහැ. ඒ නිසා මට අදාළ වෙන්නේ භික්ෂුවක් දේශපාලනයේ යෙදෙනවානම් සිවුරට, ශාසනයට, සමස්ථ සිංහල බෞද්ධ ප්‍රජාවට හානියක් නොවන ලෙස කටයුතු කිරීම පමණයි.

ඒ නිසා, අවසරයි හාමුදුරුවනේ....!

දේශපාලනයේ 'මොහොත' වැදගත්. සමහර අවස්තාවලදී ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. පිලිගන්නවා. නමුත් කාලය අප හිතනවාට වඩා දිගයි.  දේශපාලන ක්‍රියාවලියේ හැරුම් ලක්ෂයන් විරලයි. 'මොහොත' හඳුනා ගැනීමේදී වැරදි එමටයි.  හරි මොහොත මගහැරින එක දේශපාලනිකව පාඩුයි. ඇත්ත. ඒත් හදිස්සියේ 'මොහොත' හඳුනා ගන්න හැමෝටම බැහැ අපේ හාමුදුරුවනේ. ඒ සඳහා දැනුම, අත්දැකීම් තියෙන්න අවශ්‍යයි.

මේවා බෞද්ධයින්ට නැත්තම් භික්ෂුන්ට පමණක් සුවිශේෂ නෑ. දේශපාලනයේ යෙදෙන කාටත් පොදු දේවල්. එහෙම වුනත් භික්ෂුව දේශපාලනයේ යෙදෙනවා නම් මට තේරෙන විදිහට වඩාත් ප්‍රයෝගික විධික්‍රමය වන්නේ බෞද්ධ දර්ශනය මත පදනම් වූ උපක්‍රම තෝරාගැනීමයි.  වෙන විදිහකට කියනවා නම්, බෞද්ධ දේශපාලනික භාවිතයක් අනුගමනය කරන්න අවශ්‍යයි.

මේවා බෞද්ධ භික්ෂුන් වහන්සේලා, දේශපාලනයේ යෙදෙන හිමිවරුන් ඇතුළුව, මට වඩා දන්නවා ඇති. කෙසේ වෙතත්, දන්නා තරමින් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න අවසරයි හාමුදුරුවනේ.

මගේ එකම ගුරු වන තිලෝගුරු විවිධාකාරයෙන් 'භාවිතය' විස්තර කල සේක.  උන්වහන්සේ මෛත්‍රිය ගැන කරුණු පැහැදිලි කල සේක. ඒ හා සමානව ප්‍රඥාව ගැනද වදාළ සේක.  භික්ෂුවට සංයමයක් තිබීම වැදගත් යැයි වදාළ සේක. සතර බ්‍රහ්ම විහරණ ද භාවිතය ගැන වැදගත්ම කරුණු කියවෙනවා. අට ලෝ දහම ගැනත් ජීවිතයේ උච්ඡාවචන හමුවේ උපේක්ෂාසහගත් වීම සාධනීය බවත් ඔබ වහන්සේලා දන්නවා.

මේ හැම දෙයකටම කලින් ප්‍රශ්නය නැතහොත් 'මෝහත' කියවීමට වඩාත්ම උපකාරී වෙන්නේ කාලාම සුත්‍රයෙන් උගන්වන දේ කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ අපි කුමන හෝ කාරණයකදී කටයුතු කරන්නේ කෙසේද කියල හිතන්න කලින් කාරණය නිරාකරණය කරන්න ඕන. හදිස්සිය කියන්නේ නිවැරදි කියවීම ට එරෙහි වන සාධකයක්. නිවැරදි කියවීමෙන් භාවිතය අවුල් වෙන්න පුළුවන්. අවුල් භාවිතයන් සාධනීය ප්‍රතිඵල උත්පාදනය කරනවා අඩුයි.  

උදාහරණ හරහා මේ කියන දේ පැහැදිලි කරන්න අමාරු නැහැ. ඒ වුනාට බෞද්ධ වේවා නොවේවා, භික්ෂුවක් වේවා නොවේවා, බෞද්ධ පොත පත හරහා හෝ වෙන යම් ආකාරයකින් ඉහත කරුණු තේරුම් ගත්තා හෝ නොගත්තා, යම් කෙනෙක් හෝ සංවිධානයක් හෝ ප්‍රජාවක් ඒ ආකාරයට කටයුතු කරන්නේ නම් ප්‍රතිඵල සාධනීය වීමේ සම්භාවිතාවය ඊට අනුරූපව ඉහල යන බව මට විශ්වාසයි.

ප්‍රඥාවට බුද්ධියට ඉඩ දී ආවේගය පසෙක දමන්නේ නම්, සිත කය වචනය මනා සංයමයකින් භාවිතා කරන්නේ නම්, කොටින්ම බුදුන් යෝජනා කල ජීවිත භාවිතය පදනම්ව කටයුතු කරන්නේ නම්, දේශපාලන භාවිතය ද වඩා සාර්ථකයි කියලයි මට හිතෙන්නේ අපේ හාමුදුරුවනේ.  වැඩ අවුල් වීමේ සම්භාවිතාවය අඩු වෙයි. දහමට පරිභාහිර භාවිතයන් අසාර්ථකත්වයට සහ පරාජයට පාර කපනවා කියල මට හිතෙන්නේ බුදුන් මේ සියලු දේවල් ගැන ඔබවහන්සේලාට වඩා නිරවුල් සිතින් කරුණු පැහැදිලි කරලා තියෙන නිසයි.

මේවා ගැනත් හිතොවොත් හොඳයි අපේ හාමුදුරුවනේ.  

0 comments: