24 October 2019

හාන්සි වීමට නියමිතයි



පාවෙන ඡන්දදායකයා කියන්නේ මැතිවරණ සමයේ මතුවන ඉන් අනතුරුව අතුරුදහන් වන කෙනෙක්. කව්ද කියල හරියටම කියන්න කාටවත් බැහැ. හැඩරුවක් නැහැ. නමක් නැහැ. හැඳුනුම් පතක් නැහැ. උසද, උසනම් සිකියුරිටිද, කොටද, කොටනම් කම්කරුද කියල කියන්නත් බැහැ. හීන්දෑරිද, මහතද, කළුද සුදුද? කව්රුවත් දන්නේ නැහැ.

'මේ පාර නම් එයා දැවැන්තයෙක්' කියල සමහරු කිව්වත් වෙන අය කියන්නේ එයා අවශේෂයි කියල. අල්පිටියෙන් මතුවූ මහපොළොවේ දේශපාලන යථාර්ථය නම් කියන්නේ එහෙම කෙනෙක් හිටියත් දැන් එයා ඉන්නේ වකුටු වෙලා කියලයි. අදාළ නැහැ කියලයි. ඒ කියන්නේ එයා තවදුරටත් පාවෙන්නේ නැහැ. පොලොවටම ඇවිල්ලා.

එහෙම වෙනවා. මැතිවරණ දිනය ලං වෙන්න ලං වෙන්න මේ පාවෙන එකා කුදු වෙනවා.  සමහර අවස්ථාවලදී නම් කවදාවත් පාවෙන්න නොහිතපු එවුන් පාවෙන්න ගන්නවා, පාවෙලා පාවෙලා පාවෙලා ගිහින් වෙන තැනකට පාත්වෙනවා. 1999 චන්ද්‍රිකාට බෝම්බ ගහපු වෙලාවේ එහෙම වුනා කියල සමහර අය තර්ක කරන්නනේ මේ නිසයි.

ඉදිරි මැතිවරණයට අදාලව නම් පාවෙන් ඡන්දදායකය කියල නම් කරල තියෙන පුද්ගලයා මේ වෙද්දී පාවෙන එක නවත්තලයි තියෙන්නේ. ඒ කියන්නේ අර කඳවුරට නැත්තම් මේ කඳවුරට වැටිලයි ඉන්නේ.  මට එහෙමයි හිතෙන්නේ.  ඒ නිසා මේ දවස්වල දකින කැම්පේන් මට නම් දැනෙන්නේ එක එක දේශපාලන කඳවුරු වල ස්වයං ආතල් වැඩ හැටියටයි.  එක්කෝ 'අපි තමයි පට්ට, තොපිලා චා..හ්' කියල කියනවා. 'නැත්තම් 'උඹල ගඳයි, අපි සුවඳයි' කියල කියනවා.  එහෙමත් නැත්තම් 'අපි දිනුම් තොපිලා පරාදයි..හූ හූ!" කියල කියනවා . මේ හැම පොර ටෝක් එකකක්ම සිත්ගන්නා වචන වලින් සිත්ගන්නා රූප වලින් සරසනවා. කැම්පේන් ඇඩ් කියන්නේ ඒවාට. සතුරන්ට රිදෙන්න පුළුවන්. හොඳටම රිදුනොත් වැඩේ අතහරින්නත් පුළුවන්.  වැඩේ ඇදගෙන ගියත් අතහැරියත් ලැබෙන ඡන්ද ලොකු ගණනකින් වැඩි වෙන්නෙත් නැහැ අඩුවෙන්නෙත් නැහැ. එහෙමයි මට හිතෙන්නේ.

එතකොට, මගේ වැටහීමට අනුව, මේ වෙනකොට ඡන්දදායකයින් අති බහුතරයක් ඉන්නේ මහපොළොවේ. අහසේ ඉන්න සංඛ්‍යාව සමස්ථ ප්‍රතිඵලයට බලපෑමක් කරන්නේ නැහැ. මගේ ප්‍රශ්නය මෙයයි: පාවෙන සහ නොපාවෙන ඡන්දදායකයින්ට මැතිවරණයට පස්සේ මොනවාද වෙන්නේ?

කට්ටියක් සතුටු වෙයි. කට්ටියක් දුක් වෙයි. දිනපු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට දාකය වුන අය නැත්තම් එයාට ඡන්දෙ දාපු අය 'අපේ එකා දිනුම්, නොපෙ එකා අවුට්' කියල සතුටු වෙයි. අනිත් අය සාමාන්‍යයෙන් කියන්නේ මේ වගේ දෙයක් 'මොකා දින්නත් අපට මොනවත් ලැබෙන්නේ නැහැ බං...අපි වැඩක් කරලා කීයක් හරි හම්බ කරොත් විතරයි අපට කියල මොනවා හරි ඉතුරු වෙන්නේ.'

මැතිවරණ දිනයේ ඡන්ද ප්‍රකාශ කරන්න නියමිත වෙලාව පහු වුනාට පස්සේ අදෘශ්‍යමාන 'පාවෙන ඡන්දදායකයා' ගැන කව්රුවත් කතා කරන එකක් නැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එයාට මොනවාද වෙන්නේ හැබෑටම?

'මම පාවුන ඡන්දයක්' කියල කව්රුවත් කියන්නේ නැහැ.  කිව්වත් නැතත් අදාළ නැහැ. ඒ වෙද්දී එයා පියාඹන එක නවත්තලා නැහැයි කියන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. එයා හාන්සි වෙලා. එයා විතරක් නෙවෙයි. හැම ඡන්දදායකයෙක්ම හාන්සි වෙලා. ඊළඟ මැතිවරණය එනකල් හාන්සිවෙලා ඉන්න තමයි වෙන්නේ.

ටික දෙනෙක් ගොඩ යයි. ඇති බහුතරයට සිද්ද වෙන්නේ හාන්සිවෙලා ඉන්න. එහෙම තමයි අවුරුදු 71ක් තිස්සේ වෙලා තියෙන්නේ.

ඉතින් මැතිවරණ සමයේ ගත හැකි සියලු ආතල් අපි ගමු. ඒක අපේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය කියල හිතාගමු. ඒක අපේ එකම වරප්‍රසාදය නම් ඒක භුක්ති විඳිමු.  සැනසිල්ල අස්වැසිල්ල එච්චරමයි. ඒක තමයි අවුරුදු 71 ක මැතිවරණ ඉතිහාසය අපට කියල දීල තියෙන්නේ.

ඉතිං මේ දවස්වල අපේක්ෂකයන්ගේ ගුණ අගුණ ගැන ඇති තරම් කතා කෙරුවට කමක් නැහැ. වාද විවාද. තර්ක විතර්ක. ලාබ අලාබ. නින්දා ප්‍රශංසා. යස අයස. දුක සැප. අට ලෝ දහම.

උපේක්ෂාව.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත එළඹෙයි. ඊට පස්සේ කාට කාටත් හාන්සි වෙන්න වෙයි. 'මහන්සි නිසා' කියල හිත හදාගන්න දැන්මම හිත හදාගමු.  එහෙම සැලසුම් කරන එක හොඳයි. ප්‍රායෝගිකයි. 

1 comments:

සෙන්නා said...

2015 මමත් පාවෙවී හිටියා.. එක දවසක් හිතනවා අරූට දෙනවා කියලා.. ආයේ පස්සෙ හිතුවා නෑ අනිකට දෙනවා කියලා.. ඔහොම දෙපැත්තට පාවෙවී ඉඳලා අන්තිමට පෙඳ පාත්තයෙක් ගාවට ගිහින් වැටුනා.. අනේ රටට හොඳක් වෙයි කියලා... ඉතිරිය අතීතය...

දන්න යකා නොදන්න දෙවියට වඩා හොඳයි කියන එක සර්වකාලීන තියරියක්.. ඒක නිසා මෙදාපාරනම් කිසිම පාවීමක් නෑ.. දෙගිඩියාවක් නෑ.. උන් නාමයෝජනා දෙන්නත් කලින් කාටද දෙන්නෙ කියලා තීරණය කරලා තිබුනෙ...

මැකෝ, උඹ හරි පරක්කුයි යකෝ..