11 November 2019

ලිබ්බන්ගේ අලුත් ලව් එක



ලිබරල්. මේකට හරි සිංහල වචනයක් නැහැ. ලිබරල් පක්ෂයට සිංහල නමක් නැහැ. පත්තරයක් තිබ්බ මතකයි. ඒකට කිව්වේ 'ලිබරල් නිදහස'. ලිබරල් කියන වචනේ එක එක විදිහට තේරුම් ගන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවේ ලිබරල් කියනකොට අදහස් වෙන්නේ වෙළඳපොළවල්.  පොළවල් නෙවෙයි, වෙළඳපොළවල්. ලිබ්බන්ට වෙළඳපොළ කියන්නේ 'දෙවියන් වහන්සේ' වගේ දෙයක්. පෙනෙන්නේ නැහැ ඒත් හරිම ආදරණීයයි, සානුකම්පිකයි, සර්වසාධාරණයි, සර්වසම්පූර්ණයි. 
 
සමහරුන්ට ලිබරල් කියන්නේ නිදහසට සමාන වචනයක්. නීති නැහැ. රීති නැහැ. වටිනාකම් නෑ. සදාචාරය කියල දෙයක් නැහැ. සංස්කෘතිය කියල දෙයක් නැහැ. උරුමය, ඉතිහාසය වගේ දේවල් නැහැ. ලොක්කෝ නැහැ. මුරකාරයෝ නැහැ. ඉරි කෑලි නැහැ. ඕන ..කක් වගේ දෙයක්.  ලංකාවේ ලිබබන් සහ ලිබරල්වාදය ඔය විදිහට විස්තර කරන්න පුලුවන්.

සජිත් ප්‍රේමදාස කරලා තියෙන්නේ ලිබ්බන්ගේත් ඒ හරහා ලිබරල්වාදයේත් රෙදි ගලවන එක. 

දූෂණය 
ලිබ්බෝ දූෂණයට වංචාවට කැමතිම නැහැ. එහෙමයි කියන්නේ. ඒත් සජිත්ට ඒවා ගාණක් නැහැ. එජාපයේ නියෝජ්‍ය නායකයා සජිත්. සජිත් මහා බැංකු කොල්ලය ගැන වචනයක්වත් කිව්වේ නැහැ. ඒ නිසා ලිබ්බන්ට තවදුරටත් වංචා දූෂණ ප්‍රශ්ණයක් නෙවෙයි.

සජින්, මර්වින් සහ පරණ රාජපක්ෂ වහල්ලු
ලිබ්බෝ ඒ දවස් වල සජින් වාස් ගුණවර්ධනට මර්වින් සිල්වාට පලු යන්න බැන්න. සජින් ක්‍රිස් නෝනිස්ට කණට ගහපු එක අලෙවි කෙරුව. මර්වින් නිලධාරියෙක්ව ගස් බැන්ද එක අලෙවි කෙරුවා. දැන් එයාල සජිත්ගේ වේදිකාවේ. පක්ෂ සංවිධායකවරු. සජිත්ට එයාලා චෝයි. ලිබ්බන්ටත් එයාල චෝයි. 

පාටලී චම්පික රණවක සහ සිංහල බෞද්ධ අන්තවාදය 
ලිබ්බන්ට ඒ කාලේ චම්පිකව පෙන්නන්න බැහැ. චම්පික ජාතිවාදියෙක්. චම්පික අන්තවාදියෙක්. චම්පික වර්ගවාදියෙක්. චම්පික යුදවාදියෙක්. ඒත් කම්කරු සජිත් 
දැන් සිකියුරිටි චම්පිකව වැලඳගෙන. ඒ විතරක් නෙවෙයි අගමැතිකමත් පොරොන්දු වෙලා. චම්පික සජිත්ට චෝයි. ලිබ්බන්ටත් චෝයි.

ජාතිකවාදය 
ලිබ්බෝ ජාතිකවාදයට කැමතිම නෑ. දේශප්‍රේමීන්ට කැමතිම නෑ. තක්කඩියන්ගේ අවසාන ලැගුම්හල දේශප්‍රේමිත්වය කියල ලිබ්බෝ නිතරම කියනවා. ඒත් දැන් සජිත් තරම් ජාතිකවාදියෙක් නෑ. සජිත් තරම් දේශප්‍රේමියෙක් නෑ. පපුවට ගගගහා සජිත් රට ජාතිය ගැන කතා කරනවා. ලිබ්බෝ මීක් නෑ.

රණවිරුගාය 
ලිබ්බන්ට රණවිරුවෝ පෙන්නන්න බෑ. තේනුවර රණවිරුගාය අතුගාලා දාන්න ඕන කියල කියද්දී ලිබ්බෝ හුරේ දැම්ම. මාර වැඩක් වුනේ -- දැන් සජිත් තරම් කව්රුවත් රණවිරුගායෙන් පෙළෙන්නේ නැහැ. ලිබ්බන්ට අවුලකුත් නෑ. ලිබ්බන්ට රණවිරුගාය හැදිලා වගේ.

මරණ දඬුවම 
මෛත්‍රීපාල සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියල කියද්දී ලිබ්බෝ හැඬුවා. වැලපුනා. 'මිනීමරුවා' කියල මෛත්‍රීට බැන්නා. දැන් සජිත් කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියල. ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ හැමෝම මරන්න සූදානම් කියල කියනවා. ඒ කියන්නේ යුද්දේ අවසාන වෙනකොට සජිත් ජනපති වෙලා හිටියනම් අත්අඩංගුවට පත් වුන නැත්තම් ත්‍රිවිධහමුදාවලට භාර වුන 15,000කට අධික එල්.ටී.ටී.ඊයට සම්බන්ධ අය මරල දානවා. පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වුනා කියල අත්අඩංගුවට ගත් අයත් සජිත් මරයි. ලිබ්බන්ට ප්‍රශ්නයක් නෑ. ලිබ්බන්ට දැන් මරණ දඬුවම චෝයි.
     
හේතුවාදී බයිලා 
ලිබ්බෝ විද්‍යාවට කැමතියි. තර්කයට කැමතියි. බොහෝ ලිබ්බෝ හේතුවාදීන් කියල කියාගන්නවා. ලිබ්බෝ කේන්දර විශ්වාස කරන්නේ නෑ. නාඩි ශාස්ත්‍රය විශ්වාස කරන්නේ නෑ. පේන බලන්නේ නෑ. ආගම් කෝචෝක් කරනවා (දේවවාදී ආගම් ගැන නම් මොනවත් කියන්නේ නැහැ -- බයට වෙන්න ඇති). ඒත් කබීර් හෂීම් මිලියන 2.3ක් විතර වියදම් කරලා නක්ෂත්‍ර අතිරේකයක් පළ කරගන්නවා ලංකාදීප පත්තරේ. අහල නැති නක්ෂත්‍රකාරයින්ගේ අනාවැකි වලින් පිරුණු අතිරේකයක්. 'සජිත් දිනනවෝ!' කියල කියව ගන්නවා, ගාණකුත් ගෙවන්න ඇති. ලිබ්බන්ට ප්‍රශ්නයක් නෑ.

ආර්ථික ලිබ්බෝ සුබසාධනයට අකමැතියි. වෙළඳපොළට ආදරෙයි. සජිත් නත්තල් සීයට ඇඳගෙන අරකද මේකද දෙන්නම් කියල පොරොන්දු වෙනවා. හිටු කියල. ලිබ්බෝ නිහඬයි. ලිබ්බන්ට හදිස්සියේ සුභසාධනය චෝයි වෙලා. 

සත්ත්ව කරුණාව
ලිබ්බෝ සත්තුන්ට ආදරෙයි. විශේෂයෙන්ම අලින්ට. ලිබ්බෝ සත්තු මරල බුදින එක ගැන කිසි දෙයක් කියන්නේ නෑ (කුකුළෝ, ඌරෝ, එළුවෝ, කකුළුවෝ, හාල්මැස්සෝ, ඉස්සෝ, කූනිස්සෝ). අශ්ව රේස් ශේප්. බලු ෂෝ ශේප්. ඒත් ලිබ්බෝ සත්තුන්ට ආදරෙයි. සජිත් සත්ව අයිතීන් ගැන ප්‍රකාශයක් අත්සන් කරන්න යන්නේ බූරු කරත්තයක. ලිබ්බන්ට ඒකෙ අවුලක් නෑ.

 
කැලෑ ලව් 
ලිබ්බෝ කැලෑවලට ආදරෙයි. ගස් වලට ආදරෙයි. වනාන්තරවලට ආදරෙයි. විල්පත්තුව කපද්දී ප්‍රොෆයිල් පික් එක 'සේව් විල්පත්තු' කියල වෙනස් කරපු ලිබ්බෝ සජිත් කැලෑපාලුවෝ එක්ක ලව් කරද්දී නිහඬයි. ගස් වන්දනා කරපු ලිබ්බෝ දැන් පොරෝ වන්දනා කරනවා වෙන්න ඇති. 

දැන් ලිබ්බෝ වෙනස්. රණවිරුගායට ලව්. සුභසාධනයට ලව්. මරණ දඬුවමට ලව්. දේශප්‍රේමීත්වයට ලව්. සත්ත්ව හිංසනයට ලව්. කැලෑ කැපීමට ලව්. ජාතිකවාදයට ලව්. අන්තවාදයට ලව්. යුදවාදයට ලව්. හොරකමට ලව්. ගොන්කමටත් ලව්. 

ලිබ්බෝ. ලිබ්බෝ? සජිත් ප්‍රේමදාස ලිබ්බන්ගේ රෙදි ගැලෙව්වා. ඒක හොඳ දෙයක්. බලාගෙන යද්දී ලංකාවේ ලිබ්බෝ ලිබ්බෝ නෙවෙයි. ලිබරල්වාදය ගැන ලොකුවට කතා කෙරුවට ලිබ්බෝ ඇත්තටම ඇන්ටි-ලිබරල්. සජිතේ මේ බව දන්නවා. චම්පිකත් දන්නවා. සජිත්ගෙන් ඇහුවට වැඩක් නෑ. චම්පිකගෙන් අහන්න. චම්පික මොනවත් ලොකුවට කියන එකක් නෑ. කින්ඩියට වගේ පොඩ්ඩක් හිනාවෙයි. පොඩි වංගුවක් දාල ලෙස්සලා යයි. 'ලිබ්බෝ නෙවෙයි බං උන් ගල්ලිබ්බෝ!' චම්පික නොකිය එහෙම දෙයක් කියයි. ඕක කියවගන්න අමාරු නැහැ.


බලාපොරොත්තු වන්න: ජාතිකවාදීන් ගේ අලුත් ලව් එක


0 comments: