මීට අවුරුදු තිහකට ආසන්න කාලයකට පෙර තරුණයින් පිරිසක් මාතර පල්ලිමුල්ලේ පිහිටි ආනන්දාරාමයට එකතුවූයේ දේශපාලනය ගැන සංවාද කිරීමටය. ඔවුන්ගේ අරමුණ වූයේ දේශපාලන සංවිධානයක් ගොඩනැගීමයි. ඉතිහාසය, ආර්ථික විද්‍යාව, දර්ශනය, පරිසරය යනාදී විවිධ මාතෘකා ඔස්සේ දින ගණනක් සාකච්ඡා කරන ලදි. ඒ සියල්ල හරහා දේශපාලන භාවිතයක් නිර්මාණය කරගැනීමත් ඔවුන්ට අවශ්‍ය විය.
සාකච්ඡා මෙහෙයවූ සිව්දෙනෙක් විය. පන්සලේ නායක හාමුදුරුවෝ, අතුරෙලියේ රතන හිමි, මාතෘකා කරගත්තේ දර්ශනයයි. විශේෂයෙන්ම ථේරවාදය, මහායානය මෙන්ම මාක්ස්වාදය ගැනත් අදහස් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උණුසුම් සංවාදයක් ඇති විය. චම්පික රණවක 'සංවර්ධනය' සහ එහි මිත්‍යාවන් ගැන කරුණු කාරණා ඉදිරිපත් කළ අතර එවකටත් වයස අවුරුදු හැටකට ආසන්නව සිටි ඇම්.ඩී. ඩැනියල් නම් වූ 'සදාහරිත' විප්ලවවාදියා දේශපාලන ඉතිහාසය සහ විශේෂයෙන්ම ගොවි සටන් ගැන විවිධ අදහස් ඉතිරිපත් කළේය. මාඕ සේතුං ගේ 'පුංචි රතු පොත' අතැතිව, ඉන් ඇදලා අදහස් උපුටා දක්වමින් ඩැනි අයියා කණ්ඩායම දැණුවත් කළේය.
ජයන්ත ජයමුණි ද සිල්වා. ඒ වන විට අවුරුදු 43ක් පමණ වයසැති අනවශ්‍ය කතා නැති, පුංචිම පුංචි සිනහවකට එහා සතුට ප්‍රකාශ නොකරන ජයන්ත අයියා කුඩා සිරුරැති ඉතා වෙහෙස මහන්සිවී එකතු කර ගෙන ඇති දැවැන්ත දැනුම් සම්භාරයක් හිමි දේශපාලන ක්‍රියාධරයෙක්. 1971 ජවිපෙ පළමු අරගලයට යම් දායකත්වයක් ඔහුගෙන් ලැබුණු බව කවුරුන් හෝ පැවසූ මතකයක් මා සතුයි. ලොව පහල වූ මහා දාර්ශනිකයින්ට ඔවුන් ඉදිරිපත් කල දර්ශනයන්ද ගැඹුරින් අධ්‍යයන කළ හෝ අධ්‍යයනය කරමින් සිටින කෙනෙක් බව පැහැදිලි විය. ඉතිහාසයේ පුළුල් සහ දීර්ග කතා මෙන්ම සියුම් වූ එහෙත් තීරණාත්මක වූ අවස්ථා ද ඔහු දන සිටියේය. ඉදිරිපත් කරන ප්‍රවාදය ශක්තිමත් කිරීමට ඒ සියල්ලෙන් අදාළ කරුණු උපුටා ගැනීමෙහි දක්ෂයෙකි ඔහු. ඇතැම් දිගුවන් හි විශ්වසනීයත්වය අඩු වූවත් ඒ සෑම කතාවක්ම ඉතා රසවත් විය. ජයන්ත අයියා ඔහු අවට ලොව නිවැරදිව කියවා ගැනීමට දැඩි උවමනාවක් ඇති, ඒ වෙනුවෙන් අවංක උත්සාහයක යෙදෙන්නෙක් බව ද පැහැදිලි විය.
ඉතින් එම කණ්ඩායම පසු කලෙක දේශපාලන සංවිධානයක් නිර්මාණය කළෝය. සංවිධානයද දේශපාලන භාවිතයද මතවාදීමය වැළඳගැනීම්ද කාලය සමග විකාශනය විය. ඇතැම් අය ඉවත් විය. ඇතැම් අය ඉතුරු විය. මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගරු කිරීම් එසේම පැවතිණි.
ජයන්ත අයියා ගේ ගෙවල් නුවර. පහසුවට 'නුවර' කීවද ඔහු ජීවත් වූයේ ගෙලිඔය. වැඩ කළේ පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ. රස්සාව සරප්. අනූව දශකයේ සැලකිය යුතු කාලයක් නුවර සිටි බැවින් ජයන්ත අයියා විටින් විට හමුවීමටත් දේශපාලනික සහ දාර්ශනික කරුණු සාකච්ඡා කිරීමටත් අවස්තාවක් මා හට ලැබිණ. ජයන්ත අයියා සැමවිටම පෙනුණේ ගුරුවරයෙක් හැටියට ය. එමෙන්ම ඔහු ශිෂ්‍යයෙක්ද විය. සරල ගති පැවතුම් ඇති මේ පුංචි මිනිසා තුල ජීවත්වන මහානර්ග විද්වතා බොහෝ දෙනාට නොපෙනුණේ නම් ඒ ගැන පුදුම විය යුතු නැත.
ජයන්ත අයියාට නැවතීමක් පිලිබඳ කිසිඳු අවබෝධයක් නොතිබුනා වැනිය. නිතරම විවිධ පොත පත පරිශීලනය කළ ඔහුගේ මනසට විවේකයක් නොලැබුණා වැනිය. ඔහුගේ ජීවිතය කියවන, කියැවූ සියල්ල එකට කැටි කරන, අලුත් දෑ කියවන, කියැවූ දෑ නැවත කියවා වඩා හොඳින් අවබෝධ කරන, අවබෝධයන් හරහා නව දාර්ශණික ආකෘති නිර්මාණය කරන අභ්‍යාසයක් ම විය.
ජයන්ත අයියා අනූව දශකයේ අග භාගයේ සමන් පුෂ්පකුමාර (එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දාර්ශනික අංශයේ සිසුවෙක්) සමග පොතක් සංස්කරණය කලේ ප්‍රධාන දාර්ශනික ධාරාවන් එක රාමුවක් තුලට ගෙනෙන අරමුණ ඇතිවය. ඔහුට වුවමනා වූයේ විශ්වයම එක් දේශපාලන කොවක බහාලන්නයි. මට දැනුනේ එලෙසයි. එය කොහෙත්ම පහසු කාර්යයක් නොවන බව දැන දැනත් ජයන්ත අයියා එයම තම ජීවිත අභ්‍යාසය කළේ පරමාදර්ශ පුරවරය වෙත කෙටි මාර්ග නොමැති බව දැන සිටි නිසාදෝ යැයි සිතේ. වඩා සාධාරණ, සතුට ජනනය කරන, යහපත් ලොවක් තැනීමට නම් ඥානය මූලික වූ බවද, එය කොන්දේසි විරහිත අනිවාර්යයක් බවද ඔහු සිතුවා විය හැකිය.
අවුරුදු දශක බවට පෙරළුනි. විවිධ මංමාවත් ඔස්සේ ගමන් කළ මා නතර වූයේ පත්තර පිටු අතරේ. ජයන්ත අයියා සිටියේ ගෙලිඔය. වැඩ කළේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ. එසේ වූවත් ඔහුගේ විශ්වාන්තර චාරිකා නතර වූයේ නැත. තමා එකතු කරගන්නා දැනුම, තමා නිර්මාණය කරන ප්‍රවාද ඔහු අන් අය සමග බෙදා ගත්තේය. අන් අයගේ අදහස් වලට ගරු කළ ඔහුට විවේචන ඉවසීමටත්, වඩා තාර්කික අදහස්වලින් තම මතය පෝෂණය කරගැනීමටත් සූදානමක් තිබිණ.
පසු කලක ඉතා සමීපව ඇසුරු කල සුමේධ වීරවර්ධන ජයන්ත අයියා නම් වූ සරල, අහිංසක, නොනවතින දේශපාලන ක්‍රියාධරයා ගැන මෙසේ සඳහන් කළේය:
'ඔහුගේ චින්තනයේ මූලික මාතෘකා තුනෙන් බුදුදහම ගැන ඔහුගේ වටහාගැනීම " විද්‍යා විමුක්ති" නම් කෘතිය තුළ අන්තර්ගත වන අතර එය මානව විමුක්ති ව්‍යාපාරය මඟින් පල කෙරී ඇත. දේශපාලනය පිලිබඳ ඔහුගේ පැහැදිලිකිරීම වන "සම්මා විමුක්ති" කෘතිය සහ ඉතිහාසය පිලිබඳ ඔහුගේ පර්යේෂණය "බණ්ඩාර මහ ලංකා " යනුවෙන් නුදුරු අනාගතයේදී මානව විමුක්ති ව්‍යාපාරය විසින් පළකෙරෙනු ඇත.'
'ප්‍රඥාවී අවියෙන් යුධ වදිමු'. සංවිධාන ලාංචනයේ පහළ කොටසේ ලියා ඇති පාඨය මෙයයි. ජයන්ත අයියා එයමැයි. ප්‍රඥාව ඔහුගේ අවියයි. මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන අවහිර කරන සතුරු යැයි විශ්වාස කළ සියලු බලවේග වලට එරෙහිව සටන් වැදුනේ එම අවිය හසුරවමින්ය.
මහා පොළොවට, මිනිස් වර්ගයාට, ජීවිතයට නොඇලී එනමුත් ඉතා මෘදු ලෙස, අවංකව ආදරය කළ ජයන්ත අයියාගේ සියලු ක්‍රියාකාරකම් වලට උත්තේජනය සැපයුයේ මේ ලොව මීට වඩා සුන්දර විය හැකිය යන්න විශ්වාසය යැයි සිතමි. තමා පතන පරමාදර්ශී හෙට දින බොහෝ ඈත බව ඔහු දැන සිටියේය. තමාට සහ තමන්ගේ දේශපාලන සගයින්ට එරෙහි බලවේග ඉතා ශක්තිමත් බවත්, දරුණු බවත් ඔහු නොදැන සිටියා නොවේ. ඉන් පසුබට නොවූ ජයන්ත අයියා කළ හැකි දේ කිරීමට ඉදිරිපත් වූයේ ඉතා අවංකව සහ දැඩි කැපවීමකිනි. ඒ 'හෙට දින' ඔහුට කිසදා දැකිය නොහැකි බවද ඔහු දන සිටියද ප්‍රඥාවම සිය එකම අවිය කරගත්තා විය හැකිය. ප්‍රඥා අවි වලට දිගු ආයු කාලයක් ඇති බව ඔහු දැන සිටියේය.
ජයන්ත ජයමුණි ද සිල්වා සිය අවසන් හුස්ම පොද වා තලයට මුදා හරියේ මීට දින කිහිපයකට පෙරය. 'ජයන්ත අයියා නැති වුනා.' බොහෝ දෙනා තව බොහෝ දෙනෙක්ට කීවේ ඒ සරල පණිවුඩයයි. මහා ආලෝකයක් එක්වර නිවී ගිය සේය. දැනට. ඔව්, 'දැනට', මන්ද සියලු අන්ධකාර පලවා හැරීමට තරම් ගින්දරක් තනන්න අවශ්‍ය සියලු අඩුම කුඩුම ජයන්ත අයියා ඉතිරි කොට ඇති බැවිනි.
0 comments:
Post a Comment