සාහිත්‍ය සම්මාන උළෙලකට, පොත් එළිදැක්වීමකට හෝ වෙනත් සාහිත්‍ය නැතහොත් ශාස්ත්‍රීය වැඩසටහනකට එන අය කොටස් තුනකට බෙදින්න පුළුවන්. එක, කතෘ ගේ නෑදෑ හිතවතුන් සහ ප්‍රකාශන ආයතනයේ සේවික සේවිකාවන්. දෙක, උත්සවයේ කතා සහ වෙනත් අංග අහන්න/බලන්න එන අය. තුන, එන අය එක්ක කතා කරන්න බලාගෙන එන අය. විදර්ශන සාහිත්‍ය සම්මාන උළෙලත් ඒ වගේ.
මම අයත් වෙන්නේ තුන්වෙනි කණ්ඩායමට වුනත්, මුළු වැඩසටහනටම සවන් දෙන්න වුනා. ඒ තරම් ආකර්ශනීයයි. ඒ තරම් විචිත්‍රයි. ඒ තරම් ගැඹුරුයි. ඒ තරම් කාව්‍යමයයි. අමතරව, වේදිකාවට පැමිණි සියලු දෙනා සහෝදරයි. තුන, ඇති තරම් කතා කරන්න කට්ටිය හිටියා. ඇති තරම් කතා කරන්න දේවල් තිබුනා. සම්මාන ලැබුණ පොත් කියවන්නම හිතුනා. ලියනගේ අමරකීර්ති, රංජිනී ඔබේසේකර ගැන කරපු දීර්ග ඇගයීම හේතුවෙන් ඈ ලියු සියලු පොත් කියවන්න හිතුනා. පරාක්‍රම කොඩිතුවක්කු ලියු කවියක පරිවර්තනය ඈ කියවද්දී ඔහුගේ පරණ කවි නැවත කියවන්න හිතුනා.
කතා කරන්න ආස හිතෙන අය ගොඩාක් හිටියත් හැමෝම එක්ක කතා කරන්න බැරි වුනා. කතා කරන්න ඇති තරම් වෙලාවක් චෙන් කරලා තිබුනත් මට කලින්ම යන්න වුනා. එහම වෙනවා සමහර දවස්වල. ඒත් ඉතින් කතා කරපු දේ මදැයි කියල හිත හදාගන්නත් පුළුවන් වුනා.
මේ හැමදේටම විදර්ශන ප්‍රකාෂකයින්ට, විශේෂයෙන්ම ජනක ඉනිමංකඩට, පිං සිද්ද වෙන්න ඕන.
මට සුවිශේෂ දෙන්නෙක් හිටියා. පළමුව ප්‍රේම් දිසානායක. දෙවැන්නා කපිල කුමාර කාලිංග.
මීට අවුරුදු දෙකකට පෙර, ප්‍රේම් අයියා හමු වෙන්න ගිය වෙලාවේ, සුපුරුදු ලෙස ප්‍රේම අයියා මට පොත් කිහිපයක් පරිත්‍යාග කෙරුවා. ඉන් එකක් කපිල කුමාර කාලිංග ගේ 'කෙටි වුනත් මේ කවි.' කෙටි කවි සංග්‍රහයක්. අනතුරුව ඒ කවි ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න හැකි වුනා. සරල බසින් ලිය වුනත් සියුම් වගේම ගැඹුරු අර්ථ ඒ කවි වල තිබුනා. පසුව කපිල අයියා පොතක් හැටියට මුද්‍රණය කෙරුවා.
කපිල අයියා හඳුනාගත්තේ 2004 වසරේ. ඒ ෆීනික්ස් ආයතනයේ. ඒ කාලේ බොහෝ දේවල් කතා කළා. බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉන්පසුවත් එක එක තැන්වල් එක එක අවස්ථාවල කපිල අයියා මුණ ගැසුනා. කතා කළා. හිනා වුනා. පරණම දේවල් මතක් කරා. හැමදාම හැම හමුවීමම සුන්දරයි. කපිල අයියව හැමෝම දන්නවා. ඉතින් එයා ගැන වැඩිය ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රේම් අයියත් එහෙමයි. හැමෝම දන්නවා.
කොහොම වුනත් කපිල අයියා කරලා තිබුනේ ආදරය දනවන වැඩක්. ඒ ආදරය දනවන වැඩේ මට ලැබුනේ ප්‍රේම් අයියාගේ ආදරණීය ගති පැවතුම් නිසා. ඒ ආදරයට සාධාරණයක් කරන්න තමයි මේ පරිවර්තනය සඳහා මහන්සි වුනා. දෙන්නටම පිං සිද්ද වෙන්න මටත් සම්මානයක් ලැබුණා. ඒ නිසාම උළෙලටත් ආරාධනයක් ලැබුණා. ඒ නිසාම සහෝදරයි කියල දැනෙන සාහිත්‍යකරුවන් වේදිකාවට පැමිණ අදාළ සම්මාන ලබා ගන්න විට සතුටු වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසාම ලස්සන වැඩ සටහනක් දකින්න ලැබුණා. ඒ නිසාම සාහිත්‍ය සමාජයේ ආදරණීය අය මුණ ගැසුනා.
ජනකට වගේම, ප්‍රේම් අයියටත්, කපිල අයියටත් බොහොම පිං.



0 comments:
Post a Comment