ඇය 'ගුණරත්නම් ඇන්ටි' වුයේත් ඇගේ ලොකු පුතා 'පෙරියා' වූයේත් පොඩි පුතා 'බබා' වුයේත් ඥාතිත්වයක් පදනම් ව නොවේ. නමුත් එහි ඥාතිත්වයක් නොතිබුණා ද නොවේ. එකී ‘ඥාතිත්වය ' ලෙයින්, ජාතියෙන්, කුලයෙන් හෝ ආගමින් පෙරී ආවක් නොව අසල්වැසිකම, පුද්ගල වටිනාකම්, අපේක්ෂාවන්ගේ පොදු බව සහ දයාබර බව වැනි සාධක මත පමණක් ම ගොඩනැගුණු බැඳීමකි. මට රන්ජිදන්, කුමාර් සහ නිරන්ජනී ගේ මෑණියන් වන ඈ 'ගුණරත්නම් ඇන්ටි' වන්නේ ඈ මාගේ බිරිඳ ට ‘ගුණරත්නම් ඇන්ටි ' වූ බැවිනි. කිසිදා නො දුටු රන්ජිදන් 'පෙරියා' වන්නේද , කිසිදා නොදුටු කුමාර් 'බබා' වන්නේද එලෙස ය. නිරන්ජනී නැගෙණියක් සේ දැනෙන්නේ ද ඇය පෙරියා සහ බබා පිලිබඳ ඇති 'සහෝදර' හැඟීම හරහා ම නොවේ. ගුණරත්නම් ඇන්ටි ගේ ගෙදරදී ඇයව මුණ ගැසුණු විට ඇය අප හට දක්වූ සහෝදරත්වය නිසා ද ඇය නැගෙණියක් ලෙස දැනේ. මේ ඥාතිත්වයට අයිතිවාසිකම් කිව හැක්කේ ඍජුව ම නොවේ. කොටින්ම, මගේ බිරිඳට රන්ජිදන් සහ කුමාර් පිළිවෙලින් පෙරියා සහ බබා වන බැවින් හා ඔවුන්ගේ මව ඇයට ගුණරත්නම් ඇන්ටි වන බැවින්ය.
ඒ කෙසේ වෙතත් මෙය ඥාතිත්වය පිලිබඳ සටහනක් නොවේ. එමෙන් ම, මෙ‘තුල ඥාතිත්වයක් නැත්තේ ද නොවේ.
රන්ජිදන් මගේ බිරිඳට සහෝදරයෙකු වන්නේ ඔවුන් දෙදෙනා එකම ප්‍රදේශයක මිතුරු ගුරු මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් වූ බැවිනි. පාසල් සමයේ දී දේශපාලනය පිලිබඳ උනන්දුවක් තිබුණ ඇයට එවක 'අන්තරේ' කැඳවුම්කරු සමග කතා බහ කිරීමට බොහෝ දේ තිබිණ. රන්ජිදන් මට සහෝදරයෙකු වන්නේ ජවිපෙ සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය ගැන තිබූ පැහැදීමක් නිසා නොවේ. පේරාදෙණිය සරසවිය තුල ඔහුට හිතවත් මෙන්ම දේශපාලනිකව ඔහුට ප්‍රතිවාදී බොහෝ අය පවා ඔහු ගැන කී කතා නිසා ය. දක්ෂයෙක්... කවියෙක්... අවංක කෙනෙක්... මනුස්සයෙක්... ඔහු පිළිබඳ ව මේ හැම නාමයකට ම අදාළ කතා බොහෝ විය. පසු කලෙක, එනම් 1992 න් පසුව, මාගේ ආදරවන්තියගෙන් මෙන්ම ජගත් මාරසිංහගෙන්ද රන්ජිදන් ගැන බොහෝ දෑ දැන ගතිමි. හේ ඉතා දක්ෂයෙකි. අවංක විප්ලවවාදියෙකි. කලාකාමියෙකි. කවියෙකි. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම චතුර ලෙස හැසිරවීමටත් හපනෙකි. එමෙන්ම විරල ගණයේ මිනිසෙක් සහ සහෝදරයෙකි.
'රන්ජිදන් සහෝදරයා'ට වඩා 'පෙරියා' නමැති යෙදුම ඔහුට වඩාත් ගැලපෙන බැව් මගේ හැඟීම යි. ඒ දේශපාලන ශබ්දකෝෂයේ 'සහෝදරයා' යන්නෙන් විස්තර කල නොහෙන වටිනාකමක් ඔහුට තිබිය යුතු යැයි මට හැඟෙන හෙයිනි. එබැවින්, රන්ජිදන් ගැන කතා කරද්දී 'පෙරියා' යන නාමය මගේ ආදරවන්තිය විසින් යොදාගත් විට, එය වඩාත් උචිත බවත් ඉන් රන්ජිදන් කිසි දා හමු නො වූ ම‘වැන්නෙකු තුල පවා ඔහු හා ගොඩ නැගුණු ඥාතිත්වයට වඩාත් සාධාරණයක් සිදු වන බවත් මට හැගිණ. එතැන් සිට රන්ජිදන් ‘පෙරියා ' විය. කුමාර් 'බබා' විය. නිරන්ජනී ‘නිරන්ජනී' ම වූ යේ ඔවුන්ගේ ගෘහයේ ද ඇය නිරන්ජනී ම වූ නිසා ය. ඔවුන්ගේ මව ‘ගුණරත්නම් ඇන්ටි ' විය.
ගුණරත්නම් ඇන්ටි හමු වූ හැම අවස්ථාවකම ඇගේ දෑස් කඳුලින් පිරී තිබෙනු මා දැක ඇත. ඒ මාගේ බිරිඳ, සාමදානි, දුටු හැම විට ම ඇය තුල ඇයගේ වැඩිමල් පුතා ගැන මතකය අවදි වූ නිසා වන්නට ඇතැයි සිතමි. ඒ නිසා ගුණරත්නම් ඇන්ටි පිලිබඳ මගේ මතකයේ ඇත්තේ ඒ කඳුලින් පිරි දෑස් පමණි. මෑත කාලයේ ඇයව මට දක්නට ලැබුනේ පුවත් පත් වල ය. ඒ දේශපාලන වික්‍රමයන් හේතුවෙන් ‘බබා' හෙවත් කුමාර් සිරගත වූ අවස්ථාවල ඔහුගේ දේශපාලන සගයින් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයන්ට ඇයද සහභාගී වූ නිසා ය. ඒ හැම ඡායා රූපයකම ගුණරත්නම් ඇන්ටි සිටියේ කඳුළු පිරි දෑසිනි.
පෙරියා ගැනත්, බබා ගැනත්, පොදුවේ එකල ‘ජවිපෙ ක්‍රියාකාරිත්වය' ගැනත් සාකච්ඡා වෙද්දී බොහෝ අවස්ථා වල ඒ කඳුළු පිරුණු දෑස් සේම ජීවිතයෙන් වැඩි කාලයක් දුකම වළඳන්න සිදු වූ බැවින් දුකම ලියැවුනු ඇගේ මුහුණත් මට සිහි වේ.
ඔව්, තව ගුණරත්නම් ඇන්ටි ලා සිය දහස් ගණනක් අප අතර වෙසෙති. ඒ හා සමාන සංඛ්‍යාවක් සුසුමට, කඳුලට සමු දී මරණය නම් වූ (තාවකාලික) විමුක්තිය වැළඳ ගෙන ඇත. එහෙත් ඒ අය අතුරින් මට ‘ගුණරත්නම් ඇන්ටි ' සුවිශේෂී ය. ඒ පෙරියා, බබා සහ නිරන්ජනී, මාගේ බිරිඳ හරහා සහෝදර සහෝදරියන් වූ බැවින් නොවේ. ඇයගේ කඳුළු, ඝාතනය කරන ලද පුතෙකු වෙනුවෙන් සැලෙන කඳුළු වීම නිසා හෝ දේශපාලන තෝරා ගැනීම් හේතුවෙන් ඇයගේ තවත් පුතෙකුගේ සිරගත ව ඇති නිසා ද නොවේ. එමෙන් ම ‘පෙරියා' ගේ මව මට 'ඇන්ටි' වන නිසා ද නොවේ. නිරන්ජනී නිසා ම ය. නිරන්ජනී ගේ දරුවෙකු කෑගල්ලේ ප්‍රධාන පෙලේ පාසලකට ඇතුලත් කරවා ගැනීම සඳහා කරුණු කාරණා පවසන්නට ගුණරත්නම් ඇන්ටි එම විදුහලේ ප්‍රධානියා හමුවීමට ගිය පුවතක් අසන්නට ලැබිණ. විදුහලේ ප්‍රධානියා එහි දී මෙසේ පවසා ඇත: “ඉතින් දෙමළ ඉස්කෝලෙට ළමයව දාගන්න පුළුවන්නේ!"
ගුණරත්නම් ඇන්ටි මෙන් නිරන්ජනී ද එම පාසලේම බාලාංශ පන්ති වල ළමයින්ට ස්වේච්චාවෙන් උගැන්වූ බවද.සඳහන් කල යුතුවේ.
එය අසා ගුණරත්නම් ඇන්ටි ගේ දෑස් කඳුලින් පිරුණිදැයි නො දනිමි. එහෙත් මේ රටේ 'රන්ජිදන් සහෝදරයා' ගැන අසා තිබෙන සියලු දෙනා ගේ හදවත් සසල වියහැකි පුවතකි එය. ඒ රන්ජිදන් පණ පෙවූ ඥාතිත්වය මේ රටේ යම් පමණකින් හෝ නිර්මාණය වී තිබුණි නම්, එවැනි දෙයක් ගුණරත්නම් ඇන්ටි ට කිසිදා අසන්නට නොලැබෙන නිසා. එහෙත් ඇයට එය අැසීමට සිදු විය.
'පෙරියා' යනු 'ලොක්කා' (ලොකු පුතා හෝ ලොකු අයියා) යන්නෙහි දෙමළ වචනය ලෙස මට නො දැනුණේ ඥාතිත්වය නමැති විෂය තුල එක්තරා දේශපාලන කියවීමක් වෙනුවෙන් ඔහු පෙනී සිටි බැවිනි. ඒ වෙනුවෙන් සටන් කිරීමට තීන්දු කල බැවිනි. එම තීන්දුව ම ඔහුව ඝාතනය කිරීමට හේතු සාධක නිර්මාණය කල බැවිනි. බබා ගේ දේශපාලන භාවිතය වෙනස් ය. ඔහු 'දක්ෂයෙක්' යැයි මම නො සිතමි. ඔහු කවියෙක් දැයි මම නොදනිමි. පෙරියා ‘මනුස්සයෙක්' වන අර්ථයෙන් ම බබා ද ‘මනුස්සයෙක් ' දැයි නොදනිමි. ඒ කෙසේ වෙතත්, ඔහු නියෝජනය කරන දේශපාලන ධාරාව පිලිබඳ බරපතල මතවාදී ගැටළු ඇතත්, එය පෙරියා පෙනී සිටි ඥාතිත්වය වෙනුමෙන් ම නාමිකව හෝ පෙනී සිටියි. එම ඥාතිත්වයට අංශුමාත්‍රයක හෝ වරදක් මා දන්නා පරිදි එම පවුලේ කිසිවෙකුගෙන් සිදුවී නැත.
බොහෝ වේදනා විඳින්නට සිදුව ඇති ගුණරත්නම් ඇන්ටිගේ දෑස් එවන් හේතුවක් නිසා කඳුලින් බර වීම ඇයගේ පුද්ගලික වේදනාව පමණක් කියාපාන්නක් නොවේ. එය සමස්ත සමාජයක් ම ලැජ්ජා වියයුතු කරුණකි. පෙරියා ට මෙන් ම පෙරියා පෝෂණය කල ඥාතිත්වයට ද කරන ලද අපහාසයකි. පෙරියා පණ දුන් ඥාතිත්වය දවසකින් හෝ දෙකකින් සමස්ත සමාජය වැළඳ ගනීවි යැයි ඔහු ද විශ්වාස නොකරන්නට ඇත. මන්ද යත්, ලෝකයේ විපර්යාස සිදුවන්නේ බොහෝ සෙමින් වන බැවිනි. විප්ලව සිදු කලත්, නැතත්, ඔවැනි දේ නීතියෙන් හෝ අණ පනත් මගින් ස්ථාපිත කිරීම වුව පහසු නැත.
“ඉතින් දෙමළ ඉස්කෝලෙට ළමයව දාගන්න පුළුවන්නේ!"
‘ගුණරත්නම් ඇන්ටි 'ට එවැන්නක් අසන්නට ලැබීම ඛේදවාචයකි. එහෙත් ඒ පිලිබඳ ව කඳුළු සැලිය යුත්තේ ඇය පමණක් නොවේ.