29 November 2017

ශ්‍රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ද?

බලෙන් ගත්තද මතු දියුණුව තකා  කැමැත්තෙන් දුන්නද ?
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇතැයි සිතමු. දෙකෙන්ම ඉල්ලා සිටින්නේ අදාළ කාරණයේ ජාතික හෝ මහජනයාට ඇති වැදගත් කම හේතුවෙන් සම්පූර්ණ විනිසුරු මණ්ඩලයකින් විභාග කරන ලෙසයි.  එවිට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කල යුත්තේ අදාල කාරණයෙහි වැදගත්කමයි.  එනම් ශ්‍රේෂ්ඨාධිකරණයට මහජන උවමනාව පිලිබඳ යම් අවබෝධයක් තිබිය යුතුයි.

එක පෙත්සමක් ගීතා කුමාරසිංහ ගේ ද්විත්ව පුරවැසිභාවය ගැන.  ඉල්ලා සිටින්නේ ද්විත්ව පුරවැසියෙකු බැවින් ඇයට පාර්ලිමේන්තුව අකැප බව තීන්දු කරන ලෙසයි  (ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන අංක 99/2017).  දෙවෙනි පෙත්සම 14 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන. එනම් එය ජේ.ආර්. ජයවර්ධන විසින් අධිකරණයත් ව්‍යවස්තාදායක ත් එකතු කර ගෙන සියළු පිළිගත් සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් තක්කඩි ආකාරයෙන් සම්මත කර ගත් බැවින්, එය ජනතා පරමාධිපත්‍යය කෙළෙසු බැවින්, ජනතාව මැතිවරණයකදී ප්‍රතික්ෂේප කරන ලද අපේක්ෂකයින් 'ජාතික ලැයිස්තුව' නම් වූ පස්ස දොරින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රතිපාදන නීතිගත කල බැවින් එහි නෛතිකභාවය විමසීමට කරන ලද ඉල්ලීමකි  (ශ්‍රේෂ්ඨාධිකරණය රිට් ආඥා  අංක  05/2-15).  

පළමු කාරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් නිර්දේශ කරන්නේ එහි ඇති 'පොදු සහ මහජන වැදගත්කම' පිළිගත් බැවිනි.  සැබවින්ම මෙම කාරණය වැදගත්.  මන්ද රටවල් දෙකකට පක්ෂපාතිත්වය ගම්‍ය වන පුරවැසිභාවයක් සතු කෙනෙකුට එක රටක ජනතාව ඍජුව, සාධාරණව, සාර්ථකව සහ සදාචාර සහගතව නියෝජනය කල හැකිද යන්න ගැටළුවක් වන බැවිනි.  අනතුරුව ගීත කුමාරසිංහ ට පාර්ලිමේන්තු ආසනය අහිමි විය.

දැන් දෙවෙනි නඩුව විමසමු.  මෙහි ද 'නියෝජනය' ප්‍රශ්න වේ.  මැතිවරණයක දී ඡන්දදායකයින් විසින් අපේක්ෂකයෙකු ප්‍රතික්ෂේප කිරීමෙන් ගම්‍ය වන්නේ ඔහු හෝ ඇය එම මැතිවරණ කොට්ටාශය නියෝජනය කිරීමට නුසුදුසු බවයි.  එවැනි නුසුදුස්සෙකුට පාර්ලිමේන්තුවේ ජනතාව නියෝජනය කිරීමට ඉඩ දෙන ඕනෑම ප්‍රතිපාදනයක් අනිවාර්යයෙන්ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන්නකි.  එබැවින්ම එය නීති විරෝධී වේ.  කෙසේ වෙතත් එය විභාග කල යුතු වේ.  එහි පොදු සහ මහජන වැදගත්කම ගැන තර්කයක් නැත.  වැදගත් වේ.  අතිශයින්ම වැදගත් වේ.  එබැවින්ම ද්විත්ව පුරවැසිභාවය ට අදාළ නඩුව මෙන්ම මෙයද පූර්ණ විනිසුරු මඬුල්ලක් විසින් විභාග කල යුතුව තිබිණ. එහෙත් 14 වන ව්‍යවස්ථා සංශෝධනය ට අදාළ නඩුවේ විනිසුරු මඬුල්ලේ ස්වභාවය පිලිබඳ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප වේ.

ඇයි මෙහෙම වෙන්නේ?

දිවංගත ප්‍රවීන් නීති විශාරද, හිටපු විනිසුරු සේ.ජී. වීරමන්ත්‍රී අධිකරණයේ වගකීම් ගැන මෙසේ ප්‍රකාශ කරලා තියෙනවා: 'අධිකරණයේ ස්වාධීනත්වය ගැන ව්‍යවස්ථාවක මොනතරම් දැඩිව අවධාරණය කර ඇතත්, අවසානයේ ක්‍රියාවෙන් ඒ සියල්ලම අහෝසි කල හැකි බැවින් විධායක ය මෙන්ම ජනතාවද එකී ව්‍යවස්ථාදායී විදිවිධාන වල සාරය ට සාධාරණයක් වන අයුරින් කටයුතු කල යුතු වන අතර අධිකරණය ද  පිරිසිදුව, නිකැළැල් ආකාරයට යුක්තිය විසඳිය යුතුයි.'  එනම් සාධාරණව, සූක්ෂමව සහ කාර්යක්ෂමව අධිකරණය කටයුතු කල යුත්තේ දේශපාලන අතපෙවීම් වලට ගොදුරු නොවන ලෙසය.  
  
අපට ඇත්තේ එබඳු අධිකරණයක් ද?  පහුගිය වසර 30 තුල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගේ වෘතීමය ගමන් මග විමසුවහොත් අපට පෙනෙන්නේ දේශපාලන සබඳතා බොහෝ දෙනාගේ ඉදිරි ගමන් වලට පිටුවහලක් වුන බවයි.  අභියාචනාධිකරණයේ විනිසුරුවන් නීතිපති තනතුරට පත්ව පසුව අගවිනිසුරු පදවියෙන් පිදුම් ලැබූ අවස්ථා ඇත.  මෙවැනි තත්ත්වයන් හමුවේ නීතිපති දෙපාර්තුමේන්තුව අපහසුතාවයට පත්වීම අනිවාර්යය යි.  තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පෙරදැරි කර ගත විනිසුරුවන් ඇත්නම් අධිකරණයේ ස්වාධීනත්වය ගැන සහතික දීමට නොහැක.  විශේෂයෙන්ම දේශපාලන බලාධිකාරිය ට අදාළ වන තීන්දු වල සාධාරණත්වය ප්‍රශ්න කිරීමට සිදුවේ. 

අප සඳහන් කල නඩු දෙක සමස්ත දේශපාලන ව්‍යුහයට මෙන්ම ජනතා පරමාධිපත්‍යයට අදාළ වේ.  අධිකරණය 'පොදු සහ මහජන වැදගත්කම' දේශපාලනිකව තක්සේරු කරනවා නම් එවන් අධිකරණයකින් යුක්තිය සාධාරණත්වය බලාපොරොත්තු විය නොහැක.  විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට එම අධිකරණය කැපව සිටින බව තව දුරටත් පිළිගත නොහැක.   එවන් අධිකරණයක් දේශපාලනයෙන් ස්වාධීන නොවේ, දේශපාලකයින්ට සහ විශේෂයෙන්ම පවතින ආණ්ඩුවට පක්ෂග්‍රාහී වේ, දේශපාලන බලවතුන්ගේ ඕනෑ එපාකම් ගැන පමණක් සැලකිලිමත් වන ඔවුන්ගේ අතකොලුවක් බව තීන්දු කිරීමට සිදුවේ.  


කියවන්න:
කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ නැතුව ඉන්න නම්....
මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම
Reactions:

0 comments: