02 July 2018

ඔයත් එක්ක වැඩ කරන්න මට ආසයි චාමර


චාමර ලක්ෂාන් මුලින්ම මුණගැහුනේ එයා ලක්බිම පුවත්පතේ වැඩ කරන කාලේ.  වැඩිය කියවපු පත්තරයක් නොවන නිසා චාමර ගැන වත් 'අහස්ගව්ව' පිටුව ගැනවත් දැනන් හිටියේ නෑ. 'අහස්ගව්වට ඔයාව ඉන්ටර්විව් කරන්න ඕන' කියල කිව්වා. 'හා' කිව්වා.

ඒ කාලේ තාවකාලික රස්සාවක් කළ ෆීනික්ස්-ඔගිල්වි ආයතනයේ තමයි ඒ ඉන්ටර්විව් එක කෙරුවේ. වෙළඳ දැන්වීම්, ධනවාදය, බුද්ධාගම වගේ මාතෘකා තමයි සාකච්ඡා කෙරුනේ.  මේ 2004 දී විතර, මතක හැටියට. 

'රිවිර' පුවත්පත් සමාගම ආරම්භ කළේ ඊට අවුරුද්දකට දෙකකට පසුවයි. මම රිවිරට සම්බන්ධ වුන බව චාමර දැනගෙන ඉන්න ඇති.  දවසක් චාමරට මට කතා කෙරුවා.

'අයියේ මට ඔයා එක්ක වැඩ කරන්න ආසයි. මාව රිවිරට ගන්න පුළුවන්ද?'

ඒ වෙනකොට චාමරගේ දක්ෂකම් ගැන හොඳ අවබෝධයක් තිබුන නිසා, චාමර රිවිරට හොඳ ආයෝජනයක් කියල මට හිතුනා. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිශාන්ත කුරේ ට චාමර ගැන කිව්වා. චාමරව 'ෆ්‍රීලාන්ස්' පදනමින් රිවිරට සම්බන්ධ කර ගත්තේ එහෙමයි.

රිවිර පුවත්පතට චාමර සමගම සම්බන්ධ වුන රසික ජයකොඩි චාමර ගැන මුහුණුපොතේ අගනා සටහනක් ලියල තියෙනවා.  'රිවිර තුළ චාමර' රසික විස්තර කෙරුවේ මෙහෙමයි: 

'රිවිර පුවත්පත වෙනත් ඕනෑම සිංහල පුවත්පතක් මෙන් ම ඕපාදූපකාරයන්, කේලාම්කාරයන්, උගුල් අටවන්නන් සහ අදක්ෂයන්ගෙන් පිරුණු තැනක් විය. ඔවුන්ගෙන් බොහොමයක් බොරු ප්‍රතිරූප මත පමණක් යැපුණු, වෘත්තිය ගැන පමණක් නොව ලෝකය ගැන පවා දැනුමක් හෝ කියැවීමක් නො තිබුණු පුහු මිනිසුන් විය. එහි සිටි වැඩක් කළ හැකි, වැඩට මුල් තැන දුන් කිහිප දෙනා අතර චාමර ඉදිරියෙන්ම සිටියේ ය. එම පුවත්පත ලබා දුන් අවකාශය තුළ ඔහු බොහෝ දේ කළේය. ඒ යුගයේ ඔහුගේ විශේෂම දක්ෂතාව වූයේ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමයි. සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් ඔහු විශේෂාංග සිය ගණනක් රිවිර ඉරිදා පුවත්පතට රචනා කළේ ය. එයට අමතරව දේශපාලන විශ්ලේෂණ ලිවීමෙහි ද, ක්‍රීඩා විශේෂාංග ලිවීමෙහි ද ඔහු වෙසෙස් දස්කම් පෙන්නුම් කළේ ය. පුවත්පත් කලාවේ වැඩ පෙන්වීමටත්, ශක්තිමත් නමක් හදා ගැනීමටත් රිවිර ඉරිදා සංග්‍රහය ඔහුට මනා වේදිකාවක් විය.'

චාමරයි රසිකයි වැඩ කෙරුවේ රිවිර පත්තරේ. මම හිටියේ 'ද නේෂන්' පත්තරේ. ඒත් මේ තරුණයින් දෙදෙනා ලඟින් ඇසුරු කරන්න අවස්ථාවක් මට ලැබුනා.  පත්තර දෙක පටන් ගත්තේ 2006 ජූනි මාසේ. 'ද නේෂන්' එකෙන් මම සමුගන්න තීරණය කෙරුවේ දෙසැම්බර් 26 දා.  පත්තරෙන් යන දවසේ මම ක්‍රිශාන්ත ට ඊමේල් පණිවුඩයක් යැව්වා. ඒක දිග විස්තරයක්.  ඒ සටහනට මෙහෙම දෙයකුත් එකතු කෙරුවා: 'රිවිර පත්තරේ අනාගතය රසිකයි චාමරයි'.

'ද නේෂන්' පත්තරේ ට නැවත සම්බන්ධ වුණේ 2011 ඔක්තෝබර් මාසයේ.  ඒ වෙනකොට රසික 'සිලෝන් ටුඩේ' පත්තරේ. චාමර තවමත් රිවිර පත්තරේ.  චාමර 'ද නේෂන්' පත්තරේට සහ විශේෂයෙන්ම මට ගොඩාක් උදව් කෙරුව.  රිවිරෙන් යන්න තීරණය කරන්න ඉස්සෙල්ලා ඒ බව දැනුම් දෙන්නත් ඒ පිළිබඳ මගේ අදහස දැනගන්නත් මගේ කාමරයට චාමර ආවා. තීරණය හරි බවත්, චාමරට වරදින්නේ නැතිබවත් කියල 'ඕල් ද බෙස්ට්' කියල කිව්වා.

චාමර ගියේ 'ඉරුදින' පත්තරේ ට.  මොනවා හෝ කාරණයකට රිවිර පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම චාමර වචනයක් දෙකක් වත් කතා කරන්න මාව හොයාගෙන ආව. ඒත් ඒ කාලේ වෙනකොට අපේ වෘත්තීයට අදාළව කරුණු කාරණා වැඩිය විමසුවේ මම. චාමරගෙන්.  ඒ වෙද්දී චාමර මට යෝධයෙක්.  යෝධයෙක් වුනාට චාමර නිහතමානී කෙනෙක්.  2015 වසරේ අග භාගයේ චාමර පොතක් එළිදැක්වූවා. එම උත්සවයේ කතාවක් කරන්න කියල චාමර මට ආරාධනා කෙරුවා.  මට දැනුනේ ලොකු ආඩම්බරයක්. චාමර දක්ෂ මාධ්‍යවේදියෙක්, නිරහංකාර මනුස්සයෙක්, හොඳ මිත්‍රයෙක්. ඒ නිසයි.

චාමර ලේක් හවුස් එකට යන්න තීරණය කරපු අවස්ථාවත් මතකයි.  චාමරට ගැළපෙන තැනක් නෙවෙයි කියලයි මට හිතුනේ.  ඒත් චාමර වගේ කෙනෙක් එතන ඉන්න එක හොඳයි කියලත් හිතුනා.  'රැස' පත්තරේ පටන් ගන්න කලින් චාමර කතා කරලා 'අලුත් වැඩක් කරන්නයි යන්නේ මාලින්ද අයියේ' කියල කිව්වා.  පත්තරේට යෝජනා කරලා තිබුණ නම් ගැනත් පසුව කතා කරලා 'ඔයාට හිතෙන්නේ මොකද්ද?' කියල ඇහුව.  

'ඔයත් ලියන්න ඕන' කියල කිව්වට මුල්ම පත්තරේට ලියන්න බැරි වුණා. 'රැස' මුලින්ම පිට වුන දවසේ ලේක් හවුස් එකේ පොඩි උත්සවයකට එන්න කිව්වා. ලිපිය කොහොමහරි එදා ලියල දුන්නා. 'වචන 500 කට අඩු කරන්න' කියල චාමර උපදෙස් දුන්නා. අඩු කෙරුවා. පහුවදා ලිපිය පළවුනා.  දහස් ගණනක් ලිපි ලිව්වත් එදා දැනුනේ ජීවිතේ පළමු ලිපිය පළවෙනකොට දැනුන සතුටමයි. මට තියෙන අමාරුකම් ගැන හොඳට දන්න චාමර ඒ සඳහා මුදලක් දෙන්නම් කිව්වත් මම 'එපා' කිව්වේ රැස කියන්නේ 'චාමරගේ පත්තරේ' නිසා.  ඉඩක් දීමම ගෙවීමක්.  එහෙමයි මට හිතුනේ.


සිළුමිණ බාර ගෙන පළමු පත්තරය මුද්‍රණය කෙරුවට පස්සේ චාමර කතා කෙරුව: 'අයියේ, සිළුමිණ පොඩ්ඩක් බලල කොහොමද කියල කියන්න හොඳේ?' පත්තර ගැන මට වඩා බොහෝ දේ දන්න චාමර මගෙන් එහෙම ඇහුවේ එයා නිහතමානී නිසා සහ අහක ඉන්න මටත් වටිනාකමක් දෙන්න ඕන කියල හිතපු නිසා වෙන්නත් ඇති.

චාමර එක්ක වැඩ කරන්න මට අවස්ථාවක් තිබුනේ නෑ. ඒත් අපි වැඩ කෙරුවේ එකට.  එක එක පත්තර වල වැඩ කෙරුවත්, දුරින් හිටියත්, හිටියේ එකට. මතවාදී කාරණා ගැන වැඩිය කතා නොකෙරුවත්, අපි වෘත්තීය තුළ හිට ගත්තේ එකට.  

මම පුරුදු වෙලා හිටියේ 'රැස' ට සතිපතා ලියන ලිපිය චාමරට ඊමේල් එකක් හැටියට යවන්නයි. යැව්වේ බදාදා. පළවුණේ බ්‍රහස්පතින්දා. 'අයියේ එව්වද?' කියල එක අවස්ථාවක ඇහුවත්, සාමාන්‍යයෙන් ලිපිය ගැන චාමර ඇහුවෙත් නෑ මම කිව්වෙත් නෑ.  කතා කෙරුවේ වෙන දෙවල් ගැන.  අපි එහෙමයි වැඩ කෙරුවේ.  පහුගිය සතියේ මගේ ලිපිය පළ වුණේ නෑ. හෘදස්පන්දනයක් නවතිනකොට ලිපියක් නතර වෙන එක හරිම සුළු දෙයක්, විශේෂයෙන්ම අදාළ හදවත චාමර වගේ කෙනෙක්ගේ වෙද්දී.      

වචන 500 කින් චාමර ගැන ලියන්න තරම් හැකියාවක් මට නැහැ.  වචන 500කට අඩුවෙන් ලිව්වත් චාමර නම් මේ වගේ දේවල් පත්තරේ දාන්නේ නැති බව මට විශ්වාසයි.  චාමර එහෙම කෙනෙක්. එහෙමයි වැඩ කෙරුවේ. 

'රැස' පත්තරේට ලිව්වේ චාමර නිසා. ඉදිරියටත් ලියන්නේ චාමර නිසා.  අපි එකට වැඩකරපු නිසා. වැඩකරන්නේ එකට නිසා.  

0 comments: