13 December 2018

'ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් කරන 'ප්‍රජාතන්ත්‍රවාදීන් වෙත ආදරයෙනි

දෙසැම්බර් 12 දා සවස 3 ට ලිප්ටන් වට රවුමට ජනතාවට එන්න කියල කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කරන්න.  ඒ සටන සංවිධානය කලේ කව්ද කියල හරියටම කියල තිබුනේ නැහැ. මුහුණුපොතේ පල කරලා තිබුන පෝස්ටරයේ සඳහන් වුනේ අහලම නැති ජාතකයක් -- 'ෆයිට් ෆෝ ඩිමොක්රසි' (ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන).  මේ උද්ඝෝෂණය වෙනුවෙන් මුහුණුපොතේ විවිධ දැන්වීම් පළ කරලා තිබුනා.

මුලින්ම දැක්කේ මෙයයි. 

'හොඳයි' කියල හිතුනා.  'මදියි' කියලත් හිතුනා.  'අනුර, හකීම්, සුමන්තිරන් වගේ අය ඩීල් දාන්නේ නැද්ද?' කියලත් ඇහුවා.  ඇහුවට සමහරු අමනාපත් වුනා. 

කොහොම වුනත්, ඊට පස්සේ දැක්ක සටහන් වලින් අර මුලින් හිතුන දේ සෑහෙන්න වෙනස් වුනා.

මේ දැන්වීමේ ඇති සංවිධාන සෙට් එක බලන්න.  අහන්න හොයන්න දෙයක් නැහැ. හරියටම කියන්න පුළුවන් මේක කාට සේවය කරන වැඩක්ද කියලා. 

කෝකටත් කියල 12 දා 3.30 ට විතර (කියපු විදිහට කලුපාට කමිසයක් ඇඳගෙන) ලිප්ටන් වට රවුමට ගියේ හේතු දෙකකට. එක, මුලින්ම දැක්කේ කසුන් පුස්සවැල්ල ගේ සටහනක්/ආරාධනයක් නිසා. මම ගෞරව කරන මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, තරුණයෙක් කසුන්. දෙක, ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදීන් කව්ද, එයාල සටන් කරන ප්‍රජාතන්ත්‍රවාදයේ හැඩය කුමක් ද වගේ ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීම සඳහා. 

උද්ඝෝෂණයට ගියේ මගේ ලොකු දුව එක්ක.  උද්ඝොෂණ වලට සම්බධ වී නැති නිසා සහ පවතින දේශපාලන අර්බුදය ගැන විමසිලිවන්ත නිසා දුවට මේ ගැන කුතුහලයක් තිබුනා. 

'සාමය සඳහා සංවිධාන සීයේ උද්ඝෝෂණයකට 100ක් වත් හිටියේ නැහැ, ඒ නිසා මහා ලොකු සෙනගක් බලාපොරොත්තු වෙන්න එපා,' කියල සරල අනතුරු ඇඟවීමක් කෙරුවේ උද්ඝෝෂණ ගැන යතාර්ථවාදී වෙන එක හොඳයි කියල දුවට ඒත්තුගන්වන්නයි.


හිටපු අය දැක්කා. අඳුරන බොහෝ අය හිටියා. දේශපාලන/මතවාදීමය සගයින් නොවුනත් මට ඒ බොහෝ අය සහෝදරයි. සන්නස්ගල, ප්‍රසන්න විතානගේ, චින්තන ධර්මදාස, විදර්ශන කන්නන්ගර, සුජිත් අක්කරවත්ත, රොෂාන් ගුණවර්ධන, ටිම්රාන් කීර්ති, විමුක්ති ජයසුන්දර, සුජීව සිරිමෙවන්, කසුන් පුස්සවෙල, තිඹිරියාගම බණ්ඩාර, හිරන්යදා දේවසිරි, ඵුසති ලියනාරච්චි ඒ අතර හිටියා. බොහෝ දෙනා එක්ක කතා කෙරුවා. හොඳ යාලුවෝ. සුන්දර යාලුවෝ. ප්‍රජාතන්ත්‍රවාදී බෝඩ් එක යටට වෙලා ඉන්න කාගේවත් අවසර අවශ්‍ය නැහැ. එකට උද්ඝෝෂණය කෙරුවට සෙසු සටන්කාමීන්ගේ දේශපාලනයන් වලට අවනත වුනා කියන්නත් බැහැ.  ඒ කෙසේ වෙතත් ප්‍රමුඛ වෙලා තියෙන්නේ කාගේ දේශපාලන අරමුණුද කියන එක ගැන කව්රු කව්රුත් ටිකක් හොයන එක නරක නැහැ. එහෙමත් මට හිතුනා.

උස්සගෙන හිටපු පෝස්ටර් දැක්කා.  සටන් පාඨ ලියලා තිබුන කොලයක් කව්දෝ බෙදුවා. ඒක දුව අරගෙන තිබුනා.  ඒවා කියනවා ඇහුනා. 

එක කොනක ඇඳුමෙන් පෙනුමෙන් අනෙක් හැමෝටම වැඩිය වෙනස් පිරිසක් හිටියා. 88-89 වකවානුවේ ඝාතනය වුන හෝ අතුරුදහන් කරන ලද අයගේ නෑදෑයින් නැත්තම් හිතවතුන්. සරල සටන් පාඨයක්. අනුවේදනීයයි.  ඒ ගැන පසුව කතා කරමු

මට තේරුණ විදිහට ප්‍රබලම අංගය දෙතුන් දෙනෙක් එකතු වෙලා කරපු කෙටි වීදි නාට්‍යය. එයාලව වට කරගෙන පිරිසක් හිටිය නිසා හොඳට බලාගන්න බැරිවුනා. දැක්ක දේ විස්තර කරන්නම්.

මනුස්සයෙක්. පීඩිත විදිහට අන්දවා තිබුන පීඩිත පෙනුමක් ඇති මනුස්සයෙක්.  හොඳට ඇඳ පැළඳගෙන හිටපු දෙන්නෙක්. තරුණයෙක් සහ තරුණියක්. පීඩිතයා ගේ කමිසයේ 'ප්‍රජාතන්ත්‍රවාදය' කියල ලේබලයක්. තරුණයින් 'මාධ්‍යය'. තරුණයෝ දෙන්නා පීඩිතයාව කළු පටි වලින් බඳිමින් හිටියා. මනුස්සයා දඟලනවා. අන්තිමට දඟලන්න බැරි විදිහට බඳිනවා. තරුණයයි තරුණියයි එකිනෙකාට 'පහක් දීලා' හපන්කම ගැන සතුටු වෙනවා.

ඒත් පොඩි අවුලක් එතන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පහර දෙන්නේ මාධ්‍යය පමණයි ද?

උද්ඝෝෂණයේ ඍජුවම මාධ්‍යයට විවිධ චෝදනා එල්ල කරලා තිබුනා. කව්ද මේ මාධ්‍යකරුවන්? කව්ද 'හාම්පුතා'?  ITN Ru ජනතාවගේ බව ඇත්ත. ඒත් ඒ නාලිකාවල මාධ්‍යකරුවන් හැමදාම කෙරුවේ අඩු වැඩි වශයෙන් හාම්පුතුන් ට කඩේ යන එක. අද ඊයෙක වුන දෙයක් නෙවෙයි. 2015 ජනවාරි සිට 2018 ඔක්තෝම්බර් මාසය දක්වා ITN Ru නාලිකා විතරක් නෙවෙයි බේරේ ගෙදරත් කෙරුවේ ඕකමයි. ඒ කාලේ හාම්පුත්තු අතර රනිල් වික්‍රමසිංහත් හිටියා. ඒ කාලේ මේ අය මැසිවිලි නැගුවේ නම් නැහැ.  එතකොට දුකක් වේදනාවක් දැනෙන්නේ පොදුවේ හාම්පුත්තු වෙනුවෙන් කඩේ යන එක ගැනද නැත්තම් ඇතැම් හාම්පුත්තුන්ට කඩේ යන එක ගැනද? මේවත් කල්පනා කල යුතුයි.

ඇඩ් එකේ හැටියට නෙවෙයි වැඩ.  එහෙමයි හිතුනේ. වැඩිපුරම ගැහුවේ ජනාධිපති ට. මහින්දටත් ගැහුවා. රනිල්ව ලජ්ජ නැති විදිහට ආරක්ෂා කෙරුව. එයාල නොකිය කියන්නේ රනිල් සහ එජාපය ප්‍රජාතන්ත්‍රවාදී කියලද? එජාපයේ ව්‍යවස්ථාව ගැන කිසි දෙයක් එයාල දන්නේ නැද්ද? 2015 ජනවාරි සිට 2018 ඔක්තෝම්බර් මාසය දක්වා ප්‍රජාතන්ත්‍රවාදය සුපිරියටම තිබුනද? අන්තිමට හිතුනේ පැමිණ සිටි අය කෙසේ වෙතත් උද්ඝෝෂණය සංවිධානය කරපු අය හීනෙන් බය වුන ප්‍රජාතන්ත්‍රවාදීන් කියලයි. ඒ කියන්නේ එජාපයට රිදෙන තෙක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම කැක්කුමක් මෙයාලට තිබිල නැහැ වගේ.

උද්ඝෝෂණයට පැමිණි අයට කියන්න සටන් පාඨ මුද්‍රණය කරලා තිබුනා. 

'ගේම් එපා ඩීල් එපා, කැත පොලිටික්ස් එපා එපා....කුමන්ත්‍රණය පරදවන්න ජනතාවනි පෙරට එන්න.' පොදුයි. නිවැරදියි. සම්පූර්ණයි.

අනෙක් සටන් පාඨ බොහොමයක් අසම්පූර්ණයි. සිරිසේන ට හොඳටම බනින ඒවා අතරේ මහින්දටත් ෂොට් දෙනවා. රනිල් ගැන මීක් නැහැ. ආයෙත් කියන්න ඕනේ -- ඇඩ් එක වගේ නෙවයි වැඩ.

රට අරාජික කෙරුවේ සිරිසේන ද? ඔව්, සිරිසේන පැහැදිලිව මේ අරාජික තත්ත්වය ඇති කිරීමට දායක වුනා. සිරිසේන විතරක් නෙවෙයි මෙයට වග කිව යුත්තේ. මේ අර්බුදයට පාර කැපුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. ඒක ලිව්වේ එජාපය. සරත් වීරසේකර හැරුණු විට පාර්ලිමේන්තුවේ 223ක් එයට ඇත ඉස්සුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු නොතකා පරස්පර විරෝධී කරුණු ඇතුලත් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා.





පෝස්ටර් ගත්තහම එකඟ විය හැකි කාරණා තිබුනා.  පාදඩ දේශපාලන සංස්කෘතියට එරෙහි විය යුතුයි. ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. 





අපේ රට කාගේවත් බූදලයක් නෙවෙයි. ඇත්ත.  මෙතන 'ඔබ' කියල අදහස් කරන්නේ කව්ද? අපේ රට තමන්ගේ බූදලයක් හැටියට මහින්ද මෛත්‍රී වගේම රනිලුත් හිතන බව අලුතින් කියන්න ඕනේ නැහැ. එක පෝස්ටරයකින් සියලු කරුණු කාරණා විස්තර කරන්න බැහැ, ඒත් සමස්ත උද්ඝෝෂණය තුල මේ 'ඔබ' කියන්නේ කව්ද කියන එක හිතාගන්න පුළුවන්. උද්ඝෝෂකයින් මෙතනදී රනිල්ව පැත්තකට තියල (ආරක්ෂා කරලා) තමයි මේ වගේ දේවල් කිව්වේ.




ඔව්. දේශපාලනය ගැන කතා කරනවානම්, සදාචාරය ගැන කතාකරනවානම් හැමෝම ඒ තුල ඉන්න ඕන. ඔව්, ප්‍රජාතන්ත්‍රවාදය බලයලත් පිරිමින්ට විතරක් සීමා වෙන එක වැරදියි.මේ පෝස්ටර් දෙකෙන්ම කියවන 'සීමා කිරීම' ට වග කිව යුත්තේ සිරිසේන ද, මහින්ද ද? ඒ දෙන්නා විතරමද?






ප්‍රජාතන්ත්‍රවාදය ට ඉංග්‍රීසියෙන් කියන්නේ democracy කියල. ඒ ඉංග්‍රීසි අකුරු නවය පිළිවෙලින් ටී ෂර්ට් වල ගහගත් තරුණයෝ පිරිසක් මෙහෙම බැනරයක් අල්ලාගෙන හිටියා: 'ගේම් ඇති. පුරවැසි මතයට හිස නවනු!'  හරියටම හරි. ගේම් ඇති. පුරවැසි මතයට අවනත විය යුතුයි. පුරවැසි මතය අවසානයේ විමසුවේ 2018 පෙබරවාරි 10 දා. එදා ප්‍රකාශ වුන 'මතයට' උද්ඝෝෂකයින් අවනත වෙන්න සූදානම් ද?


මුලින් සඳහන් කරපු පෝස්ටරය ගැන දැන් කතා කරමු.  දුකම හිතුන පෝස්ටරය මෙයයි. කතාව හරි. කෙසේ වෙතත් නොකියන කතාවකුත් තියෙනවා මෙතන.  මේ කියන වකවානු වල නීතිය වල්වැද්දුවේ කව්ද? 1971 දී නීති පොත වහල දැම්මේ සිරිමාවෝ/ශ්‍රීලංනිපය ප්‍රධාන එක්සත් පෙරමුණ ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ. යුද්ධය පවතී වකවානුවේ නීතිය වල්වැද්දුවේ එජාපය සහ ශ්‍රීලංනිපය ප්‍රධාන ආණ්ඩු සහ එල්ටීටීඊය. 88-89 සමයේ අවනීතිය රජ කෙරුවේ එජාපයට සහ ජවිපෙට පිං සිද්ද වෙන්න. 



පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එක හරිම පහසුයි. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ව දරුණු ලෙස සටන් වැදුන ඇතැම් පාර්ශව ගැන මුනිවත රකිමින් කතා කරන එකෙන් සමස්ත ප්‍රොජෙක්ට් එක ඉදිරියට තල්ලු වෙන්නේ නැහැ. වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දඩමීමා කරමින් තක්කඩින්ට බලයේ ඉන්න නැත්තම් බලය ලබාගන්න ඉඩ සලස්සන එක විතරයි. 

උද්ඝෝෂණය 'දැවැන්ත' වුනේ නැහැ.  ඒක නම් ප්‍රශ්නයක් නෙවෙයි. වෙනසක් ඇති කරන්න මහා ලොකු පිරිසක් අවශ්‍යම නැහැ. ඒත් පොඩි පිරිසක් ජනතාවක් බවට පත්කරගන්නත්, මතයක් මතවාදයක් කරන්නත් මූලික කොන්දේසි සම්පූර්ණ වෙන්න ඕන කියල හිතෙනවා. මුල්ම කොන්දේශීය ප්‍රොජෙක්ට් එකට අවංක වීම.  තක්කඩි පාර්ශව කිහිපයක් තිබියදී ඇතැම් තක්කඩි ආරක්ෂා කරගෙන තක්කඩි විරෝධී පෙරමුණු හදන එක වීරකමක් නෙවෙයි. ඒකත් පුංචි තක්කඩිකමක්. 

'මේකත් ඩීල් එකක් ගේම් එකක් නේද?' කියල හිතුනා. මෙතන පොලිටික්ස් හිතුව තරම් කියන තරම් ලස්සන නැහැ නේද කියලත් හිතුනා. භාගෙට ශිෂ්ටත්වය ශිෂ්ටත්වයම ද? පාදඩ දේශපාලන සංස්කෘතියේ ඇතැම් මව්වරු පියවරු ආරක්ෂා කිරීම පාදඩ දේශපාලන සන්ස්රුතියට එරෙහි වීමක් ද?

මේක මේ උද්ඝෝෂණයට සීමා වුන දෙයක් නෙවෙයි. පොදුවේ බොහෝ උද්ඝෝෂණ වල දකින්න පුළුවන් දෙයක්. කියන දේ වගේම නොකියන දෙයක් තියෙනවා නම්, ඒ නොකියන දේ ට අදාළ වන පාර්ශවයන් පැහැදිලිවම ප්‍රජාතන්ත්‍ර විරෝධී නම්, එතන පුංචි බොරුවකුත් අනිවාර්‍යයෙන්ම රෝපණය වෙනවා. සන්නස්ගල, ප්‍රසන්න විතානගේ, චින්තන ධර්මදාස, විදර්ශන කන්නන්ගර, සුජිත් අක්කරවත්ත, රොෂාන් ගුණවර්ධන, ටිම්රාන් කීර්ති, විමුක්ති ජයසුන්දර, සුජීව සිරිමෙවන්, කසුන් පුස්සවෙල, තිඹිරියාගම බණ්ඩාර මේවා නොදන්නවා කියල හිතන්න අමාරුයි.  



     
නොකී අරමුණ කෙසේ වෙතත්, කඩේ ගියේ කාට වුනත්, මේ සටන් පාඨය වටිනවා. ඒ ගැන හැමෝම කල්පනා කලොත් හොඳයි කියල හිතෙනවා.
 




  

1 comments:

සෙන්නා said...

මටනම් මේ ප්‍රජාතන්ත්‍රවාදය තිත්ත වෙලා. ඕක තමන්ගෙ පැවැත්ම තියා ගන්න කොල, නිල්,රතු හැම එකාම පට්ට ගහන, ඒත් තමන්ට බලය ලැබුනම වේසකමේ යොදවන ආයුදයක්..

දැන් අපිට ඕනා නිර්භීත ඒකාධිපතියෙක්..රටේ දියුනුව වෙනුවෙන්, මහජනතාවගේ දියුනුව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවමින් ඒක වේස කමේ යොදවන ජඩයන්ව පෝලිමට හිටවලා වෙඩිතියන්න තරම් නිර්භීත ඒකාධිපතියෙක්..

අනේ නැද්ද එහෙම ඒකාධිපතියෙක්...