06 June 2020

ජාත්‍යන්තරවාදීන්ට මොකද වුනේ?


රට. දේශය. දේශප්‍රේමය. දේශීයත්වය. ජාතිය. ජාතිකත්වය. ජාතිකවාදය. සමහරුන්ට මේවා නයාට අඳු කොළ වගේ. ඒ වුනාට එයාල සමහර ජාතිකත්වවලට, වර්ගවාදවලට සහ වර්ගවාදීන්ට, ජාතිකවාදවලට සහ ජාතිකවාදීන්ට, ආගම් සහ ආගම්වාදවලට  ලව්. චූටි කොන්දේසියක් තියෙනව. සිංහල වෙන්න බැහැ. බෞද්ධ වෙන්න බැහැ.

එක වෙනම කතාවක්.

මෙතන වැදගත් වෙන්නේ ජාතිය දේශය වගේ දේවල් වලට සහ ඒවා වෙනුවෙන් පෙනී ඉන්න අයට එරෙහි වෙන අය ස්ථානගත වෙන්නේ කොතනද කියන එකයි. එයාල ජාතිය දේශය වගේ දේවල් වලට ඉහලින් නැත්තම් ඒවායින් ඔබ්බට ගිය තැනක ස්ථානගත විය යුතුයි. විශ්වීයත්වය, ජාත්‍යන්තරය සහ ජාත්‍යන්තරවාදය පූජනීය දේවල් හැටියට සලකන මේ අය ජාත්‍යන්තරවාදීන් හැටියට නම් කරන එකේ වරදක් නැහැ.  

මන්ද එයාල දේශනා පවත්වන්නේ පොදු මානව අයිතීන් ගැන. විශ්වීය මානව හිමිකම් ගැන. පොදු මිනිසත්කම් ගැන. කොටින්ම රටකට සුවිශේෂ නොවූ, සීමා නොවූ දේවල් ගැන. ඇතැම් අවස්තාවලදී එයාල අරගල කරන්නේ 'ජාත්‍යන්තර මැදිහත්වීම්' වෙනුවෙන්. ජාත්‍යන්තර ප්‍රජාවේ කණස්සල ගැන කියමින් ප්‍රතිවාදීන් බියවද්දන්නත් උත්සහ කරනවා. ඔය කියන ජාත්‍යන්තරයේ බලවතුන් ශ්‍රී ලංකාව ගැන නිකුත් කරන නිවේදනයි මෙයාලගේ නිවේදනයි බොහෝ දුරට සමාන වීම අහම්බයක් කියල හිතන්න අමාරුයි. කොලින් පවල් කියන විදිහට මේ 'මානවවාදීන්' ඇමරිකාව දියත් කරන නැත්තම් දියත් කරන්න බලාපොරුත්තු වන යුද්ධ වල 'බල ගුණිතයන්.' පවල්ට අනුව එයාල ඇමරිකාවේ සටන් පෙරමුණේ කොටස්කරුවන්. කොලින් පවල් කියන්නේ ඇමරිකාවේ හිටපු හමුදාපති. ඒකත් මතක තියාගන්න ඕන.    

හරි. ඒත් ඇමරිකාව කියන්නේ 'ජාත්‍යන්තර ප්‍රජාව නෙවෙයි නේ' කියල තර්ක කරන්න පුළුවන්. එහෙමද? ගෝලීය දේශපාලනයට අදාළ වන ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ඇමරිකාව. එක්සත් රාජධානියත් යුරෝපීය සංගමයත් ඇමරිකානු අයියගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන සුවච කීකරු මල්ලිලා. කැනඩාවත් ඔස්ට්‍රේලියාවත් ඒ කටයුතු අනුමත කරන්නන්. එක්සත් ජාතීන්ගේ සංගමය මේ කටයුතු සාධාරණය කරන්න සුදුහුණු ගාන ආයතනයක්.

ඉහත ලියා ඇත්තේ පෙරවදනක් කියල හිතාගන්න.

දැන් කාරණය කතා කරමු. අපේ ජාත්‍යන්තරවාදී වීරයන්ගේ මාතෘභූමිය මේ දවස් වල අර්බුදයක. ආයතනගත්වුණු ජාතිවාදයත්, පොලීසියේ තගරියත් හේතුකොටගෙන ඇමරිකාව පුරා උද්ඝෝෂණ. ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය කරන තැනට මේවා ක්‍රියාත්මක වුනා විතරක් නෙවෙයි, ඝාතනයට එරෙහි වෙන අයටද මේ ජාතිවාදය සහ තගරිය අත්විඳින්න වෙලා තියෙනවා.  

කෝවිඩ්-19 උවදුරක්ව පවතින තත්ත්වයක් තුල කඳුළුගෑස් ප්‍රහාර එල්ලකරන එකට කියන්න වෙන්නේ biological warfare කියල. පොලීස් ප්‍රහාර හමුවේ බිමට ඇද වැටුණු උද්ඝෝෂකයින් සපා කන්න පොලීසිය පොලීස් බල්ලෝ මුදාහරිනවා. මාංචු දම්මටත් පසුව උද්ඝෝෂකයින්ට අසීමිත විදිහට බැටන් පොලුවලින් තඩිබානවා. පොලීස් වාහන උද්ඝෝෂකන් අතරට ධාවනය කරනවා. දහස් ගණන් අත්අඩංගුවට ගන්නවා.

මේවා ඇමරිකාවට අලුත් නැහැ. ඇමරිකානු ජාතිවාදයේත් පොලීස් කෲරත්වයේත් පළමු ගොදුර ජෝජ් ෆ්ලොයිඩ් නෙවෙයි. සතවර්ෂ ගණනාවක් පුරා කළු ජාතිකයින්ට, ස්වදේශීය ඇමරිකානුවන්ට නොහොත් පළමු දේශයන්හි ප්‍රජාවන්ට සහ වෙනත් සුලුජාතිකයින්ට  අත්විඳින්න වුන දෙයක් තමයි මැයි 25දා ජෝජ් ෆ්ලොයිඩ්ට අත්විඳින්න වුනේ. දශක ගණනාවක් ලොව පුරා රටවල්, ආණ්ඩු සහ ප්‍රජාවන්ට මේ දෙයම අත්විඳින්න වෙලා තියෙනවා. මානව හිමිකම් උල්ලංගණය කිරීම ඇමරිකාවට නතිං.  මානව හිමිකම් උල්ලංගණය කිරීම ඇමරිකාව පූජනීය දෙයක් ලෙස සලකනවා. 
 
 ඇමරිකාව ලිබියාව නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අත්වෙන්නේ මුවම්මා ගදාෆිට අත්වුන ඉරණම ද? එහෙම අහන එක සාධාරණයි. පොඩි වෙනසක් තියෙනවා. ඇමරිකාවේ අද සිදුවන දෙයට සාපේක්ෂව ලිබියාවේ මහා දෙයක් සිදුවුනේ නැහැ. ලිබියාවේ සිද්ධ වුන දේ ඇමරිකාවේ සන්නිවේදන බාහුව විසින් ලස්සනට ප්‍රසාරණය කෙරුව. 'බල ගුණිතයින්' තමන්ගේ වගකීම ඉටු කෙරුවා තමයි. ඒ කෙසේ වෙතත් ලිබියාවේ ඇතිවුනේ ගිණිපුපුරක් නම්, ඇමරිකාවේ අද ඇතිවෙලා තියෙන්නේ ලැව්ගින්නක්.

මේ වන විට මාධ්‍යවේදීන් 33 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙන අතර 143 දෙනෙක්ට පහර දීලා තියෙනවා. තිස් පස් දෙනෙකුගේ කැමරා ඇතුළු වෙනත් උපකරණ විනාශ කරලා තියෙනවා. මාධ්‍යවේදීන්ට වෙඩි තියල තියෙනවා.  රබර් උණ්ඩයක් වැදී එක මාධ්‍යවේදිනියකගේ ඇසක් අන්ධ වෙලා තියෙනවා. තර්ජන, ගර්ජන, පහර දීම්, අත්අඩංගුවට ගැනීම් වැඩි වෙමින් පවතිනවා.

ඒත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරවාදීන් නිහඬයි. මානව හිමිකම් ගැන, ශිෂ්ටත්වය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන පපුවට ගගහ බෙරිහන් දුන්න අය මීක් නෑ. පොලීස් මර්ධනයට මුර්ගත්වයට විරුද්ධ වුන අය හොයාගන්නවත් නැහැ.

හරි නම් එයාල මේ වෙන කොට එයාල නියෝජනය කරනවා කියල කියන සිවිල් සමාජය දැනුවත් කරන්න මහන්සි වෙන්න ඕන. ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට  උද්ඝෝෂණයක් සංවිධානය කරන්න ඕන. අඩුමතරමින් ඇමරිකානු තානාපතිනියට බාර දෙන්න පෙත්සමක් ලියන්න ඕන, පෙත්සමට අත්සන් එකතු කරන්න ඕන. 

මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන නිතර නිතර කියවපු අය කෝ? මානව අයිතීන් ගැන නිතර නිතර කියවපු අය කෝ? ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිතර නිතර කියවපු අය කෝ? කෝ මේ මානවවාදීන්? කෝ හෙජමනියෝ? කෝ (ගල්)ලිබ්බෝ? කෝ මාස්ක්වාදීන්? කෝ වම්මු? කෝ ජාත්‍යන්තරවාදීන්?

ඇමරිකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතුයි කියල නොකියන්නේ ඇයි? 'ආරක්ෂාකිරීමට ඇති අයිතිය (Responsibility to Protect)' ගැන කතා නැත්තේ ඇයි? ඇමරිකාව බිඳවැටුණු නැතහොත් අසමත් රාජ්‍යයක් (Failed State) කියල නොකියන්නේ ඇයි? ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙලා ඇතිවෙලා තියෙන තත්ත්වය සමනය කර යුතුයි කියල නොකියන්නේ ඇයි? චොවිඩ්-19 හේතුවෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයක් ආදාහනය කිරීම ගැන කුපිත වුනු මානව හිමිකම් සභාව නිහඬ වෙලා තියෙන්නේ ඇයි කියල අහන්නේ නැත්තේ ඇයි? සාමය එපාද? සංහිඳියාව එපාද? ප්‍රජාතන්ත්‍රවාදය, මානවවාදය, ශිෂ්ටත්වය එපාද? මේවා ඇමරිකාවට අදාළ නැද්ද? ඇමරිකාවට අකැපද? 

ජාත්‍යන්තරවාදීන් නිදිද? ඇමරිකාවේ ජාතිවාදය විසින් එයාලව හාන්සිකරවලා ද? එයාලට බැරිද අලයිනා බී ටෙප්ලිට්ස් නෝනාට පොඩි ලියම් කෑල්ලක් යවන්න. මේ විදිහට...

ටෙප්ලිට්ස් නෝනා වෙත වේදනාවෙන් ,

මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව, සුළුජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දශක ගණනාවක් ඔබගේ රජය සමග ඉතා කුළුපඟව කටයුතු කර ඇති අප දැඩි වේදනාවකින් පසුවෙන්නෙමු. ඔබගේ රජය ගැනත් පොදුවේ ඔබේ රටේ විදේශ සහ ස්වදේශීය ප්‍රතිපත්ති මගින් කියවෙන ජාතිවාදයද, ත්‍රස්තවාදයද, ම්ලේච්ඡාත්වයද අප නොදැනගෙන නොවේ එසේ කටයුතු කළේ. නමුත් උද්ගත වී ඇති තත්ත්වය ඉතාම ලැජ්ජාසහගත බව කිව යුතුමයි. 

අඩුම තරමින් සිදුවුනේ මරණයක් නොව මිනීමැරුමක් බව මාධ්‍යයට ප්‍රකාශ නොකිරීම බලවත් අත්වැරැද්දක් බව කිව යුතුමයි. ඔබ තුමියගේ වචන තේරීම අවාසනාවක් බවයි අපගේ වැටහීම. ලජ්ජසහගතයි මැතිනියනි.

මාධ්‍යවේදීන් වෙත එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳව ද අපට කියන්න සිද්ද වෙන්නේ ද එයමයි. ලජ්ජසහගතයි මැතිනියනි. ආයුධ සන්නද්ධ සුදු ජාතික අන්තවාදී කණ්ඩායම් ඇඳිරි නීතිය උල්ලංගණය කරද්දී ඔවුනට එරෙහිව පොලීසිය ක්‍රියා නොකිරීමද ලජ්ජසහගතයි මැතිනියනි.

වැරදි ලෙස වටහා නොගන්නා ලෙස අප ඉතා උවමනාවෙන් සහ බැගෑපත්ව ඉල්ලා සිටිමු. ඔබතුමියටවත්, ඔබ නියෝජනය කරන ආණ්ඩුවටවත්, ජාතිවාදයෙන් සහ ම්ලේච්ඡත්වයෙන් සැදුනු සහ පවතින රටටවත් ලජ්ජා වීමට කිසිත් ඉතිරි වී නැත. ලජ්ජා-නිර්ලජ්ජ මායිම පහු වී සතවර්ෂ ගණනාවක් ගත වී ඇති බැවිනි.

'ලජ්ජාසහගතයි මැතිනියනි' කියද්දී අප කතා කරන්නේ අප ගැනමයි. අපට නිර්වස්ත්‍රව අපගේ/ඔබගේ වගකීම් ඉෂ්ට කිරීම අතිශයින් අපහසු වන බව අමුතුවෙන් කිව යුතු නැත. එනමුත් උදාවී ඇත්තේ එවැනි තත්ත්වයකි.

ලජ්ජසහගතයි මැතිනියනි.

මීට විශ්වාසී


<ඔබේ රට විසින් හාන්සි කරවා ඇති ජාත්‍යන්තරවාදීන් ගේ අත්සන්>

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරවාදීන් අඩුම තරමින් මෙහෙම දෙයක්වත් නොකලොත්  එයාලට මානව හිමිකම් චන්ඩි ලයිසන් අහිමි වෙන්න ඉඩ තියෙනවා.  ප්‍රජාතන්ත්‍රවාදයේ ටවුන් රාළලාට විසල් අහිමි වෙන්න ඉඩ තියෙනවා.

අවශ්‍ය නම් මෙන්න ලිපිනය.  ඇඳිරි නීතිය ලිහිල් කරපු ගමන් යන්නයි තියෙන්නෙ.

210 ගාලු පාර
කොළඹ 3. 
Reactions:

0 comments: