11 May 2022

ලෙයට ලෙය වෙනුවට ආලය

මසක කාලයක් ගෝල් ෆේස් හි ගොඩනැගු ගෝටාගෝගමෙහි දහස් ගණන් තරුණ තරුණියන් මෙන් ම නොයෙකුත් මතවාදී ධාරාවන් නියෝජනය කරන අන් අය එකට බැඳ තැබූ සුන්දර වරපටය ආදරයයි. එකට එක් වී වැපුරුවේ ආදරයයි. යෙදුනේ හෙට දින රට හදන ව්‍යායාමයක පෙරහුරුවකයි.  අහිංසකත්වය, අවිහිංසාවාදය, නිර්මාණශීලිත්වය, එඩිතරකම, ඉවසීම, සාමුහිකත්වය යනාදියෙන් අරගල භූමිය සුවඳවත් විය. එවැනි අහිංසක, අවිහිංසාවාදී, නිර්මාණශීලී, එඩිතර අරගලයක් මතක ඉතිහාසයේ නැති තරම්ය. අපේ රටේ හෙට දවස පිලිබඳව සුභවාදීව හිතන්න අරගලකරුවන් සියලු දෙනාට බල කර සිටියා මෙන් ය.

ඊයේ මැර ප්‍රහාර එල්ල කරන ලද්දේ අරගලකරුවන්ට පමණක් නොව, ඒ සුභවාදී සිහිනයට මෙන් ම මේ ගොඩනැගෙමින් තිබුණු අපුර්වත්වය දෙස ආදරයෙන් බලා සිටි සුවහසක් හදවත් වෙතය. මැර කණ්ඩායම් මෙහෙය වූ අය තක්සේරු නොකෙරුවේ මෙයයි. ගෝටාගෝගම යනු රට පුරා විහිද ගිය ආණ්ඩු විරෝධයක එක් ප්‍රකාශයක් බව ඔවුන් නොසිතුවා විය හැක. මැර ප්‍රහාරවලින් සිහින තුවාල වන්නේ නැති බව ඔවුන් දැන සිටියේ නැත. කෙතරම් දරුණු ලෙස පහර දුන්නත්, අරගලකරුවන්ගේ අධිෂ්ඨානය පලුදු කළ නොහැකි තරමටම ඝනකම්ව අරගලකරුවන්ගේ ආදරය වර්ධනය වී තිබිණ. සිහිනයේ බ්ලු ප්‍රින්ට් එක ඉතා වේගයෙන් නැවත සකස්වුනි.          

වෛරයම වපුරා, ප්‍රචණ්ඩත්වය යෝජනා කර, විහිංසනයේ මාවතම තෝරාගෙන ක්‍රියාත්මක වුවන්ට උපේක්ෂාව හෝ අනුකම්පාව නෙළා ගැනීමට අවසර නැත. ජනතා විරෝධය ජනතා කෝපය බවටත් කෝපය ප්‍රකෝපය දක්වා වර්ධනය විය. සංවිධානාත්මක පිරිස් ප්‍රභූ නිවෙස් ගිනිබත් කිරීමට කටයුතු කළා යැයි විවිධ මත ඉදිරිපත් කරන කිසිවෙකුට බැහැර කළ නොහැකි කාරණය වන්නේ ඒ සියල්ල සඳහා මාර්ග බාධක ඉවත් කරන ලද්දේ මැරයන් ම සහ ඔවුන් මෙහෙයවූවන් බවයි. අද වන විට මහින්දගේ සහ ඔහුගේ දේශපාලන සගයින්ගේ ලේ ඉල්ලන තැනට සියල්ල තල්ලු කලේ ඔවුන් ම මෙහෙයවූ ලේ පිපාසිත මැරයින්ගේ ක්‍රියාකාරිත්වයයි.

ලේ පිපාසය පෙරළා ලේ පිපාසයම අවදි කරන බව ඉතිහාසය කියා දෙන සරලම පාඩමකි. සොඳුරු සිහින බොඳ වෙන්නේ එහෙමයි. 'ලෙයට ලෙය' දරුණුයි, එක්තරා ආකාරයකට මුග්දයි. පහරදීමට එරෙහිව පහරදීම එකක්, පහර දුන්න අයට පහර දීමත් 'පහර දීපිය' යන විධානය දුන් අයට පහර දීමත් තේරුම් ගත හැක, එහෙත් 'සතුරා' සොයා ගැනීමට අපහසු වූ විට සතුරා සංකේතවත් කරන සියලු දේ සහ සතුරාට නෑකම් කියන සියලු දෙනා විනාශ කිරීමට යොමු වීම 'සටන' භයානක පැත්තකට තල්ලු කිරීමක් වේ. එය දැනට උද්ගත වී ඇති තත්ත්වය තුල මීට වඩා බොහෝ දරුණු මිලිටරිකරණයකට අත වැනීමක් වැනිය. විශේෂයෙන්ම මතක තියාගතයුතු වන්නේ එවැනි 'තත්ත්වයක්' කෘත්‍රිමව නිර්මාණය කිරීමට වැඩිම හැකියාව ඇත්තේද ගැටුම ලේ ගැලුමකට පරිවර්තනය කිරීමට අවශ්‍ය පාර්ශවයන්ට බවයි. ඒ සඳහා හැම විට ම විභවය සතු වන්නේ මර්ධනකාරී රාජ්‍ය ව්‍යුහය හසුරවන්නන්ට වේ.   

අරගලයට ඇති ප්‍රධාන ප්‍රාග්ධනය සදාචාරයේ වාසියයි. ප්‍රධාන අවිය ආදරයයි. ප්‍රබලම ශක්තීන් නම් සාමුහිකත්වයයි, අධිෂ්ටානයයි, සිහින දැකීමට ඇති හදවත් සහ සිහින සැබෑ කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසයන් වේ. ඇමති මණ්ඩලය නොව ඇමති මණ්ඩල දෙකක් ඉවත් කරන්නත්, අගමැතිවරයෙක් ඉල්ලා අස්කරවන්නත් එය ප්‍රමාණවත් විය. රටක් ජනතාවක් අවදි කරන්නත්, අරගලයට කැඳවන්නත් එය ප්‍රමාණවත් විය. මේ සියල්ල ක්‍ෂණයකින් ම්ලේච්ඡත්වයෙන් මකා දැමිය හැක.  නැවත කියන්නෙමි 'ලෙයට ලෙය' දරුණුයි, මුග්ධයි, අරගලයේ සදාචාරාත්මක වාසිය පලුදු කරයි. 'ලෙයට ආලය' ලයාන්විතයි, මෘදුයි, අරගලයට පණ පොවයි. මැර ප්‍රහාරයෙන් අනතුරුව ගෝටාගෝගම පුරා නොකියවෙන එනමුත් සියල්ල වෙළාගෙන ඇත්තේ 'ලෙයට ආලය' විසිනි. අරගල භූමිය හරහා තවමත් හමා යන, අරගලකරුවන්ට ශක්තිය පොවන සුවඳ එයයි. ගෝටාගෝගම වඩාත් ලස්සනට ප්‍රතිනිර්මාණය වුයේ ඒ නිසා ය.

අරගලයක ආරම්භය කවියක් වැනිය. අරගලයක හුස්ම හිරවෙන්න පටන්ගන්නේ අරගලයෙන් ආදරය ඉවත් වූ විටයි. ආදරය 'ලේෆ්ට්' වුනොත්, සටන්පාඨ සමග බිඳුණු සිහින පමණක් ඉතිරි වේ. වෛරයට වඩා ආදරය ඝනකම් විය යුතුම වන්නේ මේ නිසයි.

0 comments: