05 May 2023

ඇරඹුම තිතක්මය


පුංචි දවස්වල ඉරි සහ තිත් ඇති තරම් දැක තිබිණ. නිශ්චිත ප්‍රමාණයක් හැඩයක් නොමැති මුත් ඉරක් නැත්තම් රේඛාවක් ඉරක් ලෙසත් තිතක් නැතහොත් ලක්ෂ්‍යයක් තිතක් ලෙසත් හඳුනා ගන්න හැකියාවක් තිබිණ. ඒවාට නිර්වචන ඇති බව ඉගෙන ගත්තේ වයස අවුරුදු 11 පමණ වූ විටයි. පාසලේ වඩු වැඩ ඉගැන්වූ බැවින් 'වඩ්ඩා' ලෙස හැඳින්වූ ලියනගේ සර් මටත් අයියාටත් ජ්‍යාමිතිය ඉගැන්වුයේ ඒ කාලේදීය. තිතටත් ඉරටත් නිර්වචන ඇති බව කියා දුන්නේ ඔහුය.

 තිතක් නැතිනම් ලක්ෂ්‍යයක් යම්කිසි නිශ්චිත ස්ථානයක් නියෝජනය කරන නැතහොත් සලකුණු කරන, නිශ්චිත දිගක් පළලක් හැඩයක් හෝ ප්‍රමාණයක් නොමැති දෙයක් බව ඉගෙනගත්තේ ඔහුගෙන්ය. ඉරකින් නැතහොත් සරල රේඛාවකින් යම් ලක්ෂ්‍යයන් දෙකක් යා කරනු ලැබෙන බවත් ඔහු කියා දුන්නේය. එයට පළලක් නැත. අප්‍රමාණ ලක්ෂ්‍යයන් නැත්නම් තිත් වලින් එය සෑදෙන්නේ අසල ඇති ඕනෑම ලක්ෂ්‍යයන් දෙකක් අතරද රේඛා ඛණ්ඩ සහිතව බවත් ඒ සියලු රේඛා ඛණ්ඩ වල ඓඛ්‍යයක් ලෙසත් රේඛාව යන්න තේරුම් ගත හැකි බව කියා දුන්නේය.  

වඩ්ඩා මේ වාගේ නිර්වචන කියා දුන්නද ඒ නිර්වචන මතක තබා ගැනීමටවත් පාවිච්චි කිරීමටවත් අවස්තාවක් නොලැබිණ. ඉතින් අර පුංචි කාලේ හඳුනාගත් තිත් සහ රේඛා පුංචි කාලේ වාගේම වැඩි තැකීමකින් තොරව සිතේ කොනක තබා ගැනීමට පුරුදු විය.   

නැවත තිත සහ ඉර වෙත මා යොමු කලේ ෆීනික්ස්-ඔගිල්වි වෙළඳ දැන්වීම් ආයතනයේ කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කල ගාමිණි අබේකෝන්ගේ රේඛීය චිත්‍රකරණයයි. ගාමිණි අයියා දක්ෂ චිත්‍ර ශිල්පියෙකු බව කවුරුත් පිළිගත්හ. ඔහු විශේෂ උනන්දුවක් දැක්වුයේ රේඛීය චිත්‍රවලටය. මීට අවුරුදු කිහිපයකට පෙර 'ලයින් ආට්' ශීර්ෂය යටතේ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක් සැලසුම් කල බැවින් එයට යම් ප්‍රචාරණයක් දීම වස් මා එවක වැඩ කල 'ද නේෂන්' ඉරිදා පුවතපතේ සති ගණනක් එක චිත්‍රය බැගින් පළකලේ ඊට අදාළ කවියකුත් සමගයි. ප්‍රදර්ශන විවෘත කිරීමට පෙර ඉරිදාවේ ගාමිණි අයියා සහ ඔහුගේ ශිල්පය පිලිබඳ ලිපියක්ද රචනා කළෙමි. පරණ කවි පෙරලා බලද්දී ඒ රේඛා චිත්‍ර මෙන්ම එක් එක් චිත්‍රයට අදාලව ලියු කවිද, ඉහත සඳහන් ලිපියද හමුවුයෙන් තිත් සහ රේඛා ගැන නැවත සිතන්නට විය.    

මේ සා සියුම් රේඛාකරණයක රහස කුමක්දැයි එදා ඇසූවිට ඔහු මෙසේ පවසන ලදී:

'අනේ මන්දා...උපතින් ලැබුන දෙයක් වෙන්න ඇති.'

පිළිතුරෙන් සෑහීමකට පත් නොවුයෙන් ප්‍රශ්නය වෙනත් ආකාරයකින් අසූවෙමි. නොනවතින ප්‍රශ්න වැලට තිත තියන ලෙසින්දෝ ඔහු ශිල්පයේ රහස පැහැදිලි කලේ මෙලෙසයි:

'මං හිතන්නේ මම තිත් වලින් පටන්ගත්ත නිසා වෙන්න ඕන. මුලින්ම චිත්‍ර ඇන්දේ තිත් වලින්. හරි ගානටම තිත් වැටුනේ නැත්තම් අසාර්ථකයි. ඒ නිසා මම වඩා සියුම්ව,  පරිස්සමෙන් මේ දේ කරන්න පුහුණු වෙන්න ඇති. ඔය කියන සියුම් පාලනය ඇඟිලි තුඩු වලට ආවේ එහෙම වෙන්න ඕන.'

මේ මොහොතේ මා ඉදිරියේ තිරයේ දිස්වන්නේ ගාමිණි අයියා රේඛීය චිත්‍රයකට නැංවූ ගල්විහාරයේ හිටි පිළිම වහන්සේ ය. ගල් විහාරය අභියසය මා සිටින්නේ. කළුගලින් මතුකරගත් පිළිම වහන්සේ එලෙසම මා හට පෙනේ. පිළිමයක් ලෙසත් පිළිමය සැදුම්ලත් රේඛා සමුහයත් පෙනේ. තිත් නොපෙනේ. ඒත් ගාමිණි අයියාගේ පැහැදිලිකිරීමෙන් අනතුරුව මට පසක් වූ දෙයක් ඇත: සියලු දැවැන්තවුද විචිත්‍රවුද නිර්මාණ ආරම්භ වන්නේ තිතකිනි.

දැවැන්ත මන්දිර මෙන්ම වෙහෙර විහාරද ගොඩනැගීමට පෙර අදාළ ස්ථානය සුද්ද පවිත්‍ර කරගත යුතු වේ. කවුරුන්හෝ පස් කැපිය යුතු වේ. ගඩොල් සෑදීය යුතු වේ. කළුගලේ සැඟව තිබෙන බුදුරුව දකින්න තරම් දෑසක් සහ පරිකල්පනයක් ගල් වඩුවා ඉගෙන ගත යුතුවේ. ඔහුද තිතෙන් තිත නියමිත ප්‍රමානයෙන් ගල මත කොටන්නට අවශ්‍ය ඉවසීම සහ සංයමය 'තිතෙන් තිත' ඉගෙන ගත යුතු වේ. දෑඟිලිතුඩු වෙත සංවේදීබව කාන්දු කිරීමට වෙහෙස මහන්සි විය යුතු වේ.  සියුම් දේ දකින්න හඳුනාගන්න හැකි වන ලෙස දෑස් පුහුණු පුරුදු කල යුතු වේ. මේ සියලු දේ තිත්ම වේ.

ඇරඹුම තිතක්ම බව හඳුනා ගැනීමට අපහසුය. හඳුනා ගත්තද එය අමතක කිරීම ඉතා පහසුය. ඉතින් තිතකින් ඉරකටද, ඉරකින් බොහොමයක් ඉරිවලටද පහසුවෙන් සහ වේගයෙන් අපි ගමන් කරන්නෙමු. අවසානයේ අප ලොවට ඉදිරිපත් කරන්නේ පිළිමයකි, මන්දිරයකි, සුමිහිරි සංගීත ප්‍රසංගයකි, ඉතා සංකීර්ණ යන්ත්‍රයකි, න්‍යායකි, ක්‍රමවේදයකි, මතවාදයකි, දහමකි. මුල තිතක් බව අමතක වේ. අදාළ නැති වේ.

මෙහි කිසි වරදක් නොමැත. සත්‍යාවබෝධ මාවත හෝ ගමන තිතකින් මෙන්ම, රේඛා චිත්‍රයකින්ද, පිලිමයකින්ද, කළු ගලකින්ද ආරම්භ කිරීමට තහනමක් නැත. එහෙත් මෙසේ ඇසීමට අවසරයි:

දුටුවේද කළු ගල? කළුගලෙහි සැඟව තිබු පිළිම වහන්සේ දුටුවේද? පිළිමය සැදුම්ලත් රේඛාවන්ගේ ජ්‍යාමිතියද ජ්‍යාමිතියේ කලාවද, කලාව පෝෂණය කල ඉවසීමද, සංයමයද, මේ සියල්ලෙහිම ඇරඹුම වන තිතද දුටුවේද? තිත්වලට ප්‍රමාණ නොමැති බව වැටහුනේද? අසංඛේය තිත් අතරද අසංඛේය රේඛා ඛණ්ඩ තිබෙන බව වැටහුනේද, දුටුවේද?

නැවත මා මාගෙන් විමසමි:

තිතක් ඇත්තේද? තිතක් නොමැතිද? තිත නිබෙන අතරම තිත නොමැති නොවේද? තිත ඇත්තේද නැත්තේද නොමැති නොවේද? සියලු කලාවන්හි මූලාරම්භය මෙය නොවේද? දුටුවානම තිත දැකිය නොහැකිද රේඛාව? රේඛාව දුටුවේ නම්, රේඛා චිත්‍රයද, පිළිම වහන්සේද, අනතුරුව කළුගලද සොයා ගත නොහැකිද?

මා අභියස ඇති රූපය ගල් විහාරයේ හිටි පිළිම වහන්සේගේ අනුරුවක් ද රේඛාවට නැංවූ? ඒ රේඛා අතර පෙනෙන නොපෙනන ඡායාවක් ලෙස සරන්නේ ගාමිණි අයියා මනා පාලනයකින් යුතුව සංවේදී දැඟිලි තුඩු වලට හසු කරගත් පන්හිඳකින් කාන්දුවන ප්‍රතිභාවක්ද, ගාමිණි අයියාමද?  

ඇතිවන, වැඩෙන, වැඩී ක්ෂයවන, ක්ෂයව මියයන ධර්මතාවයේ රහස තිතක්මද නැතිනම් දහම සෙවීම ආරම්භ කල යුත්තේ තිතකින්මද? සත්‍යාවබෝධය සනිටුහන් වන්නේ සියලු තිත්, විශේෂයෙන්ම පළමු තිත අතුරුදහන් වීමෙන්ද?

ගාමිණි අයියාට තෙරුවන් සරණයි!

--මාලින්ද සෙනෙවිරත්න

0 comments: