07 January 2015

මෛත‍්‍රීපාලගේ පරාජයේ කතාව (කෙටුම්පත)

ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට ද ගැටලූවක් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. එමගින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැකිය. නමුත් එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැරදුනහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත. 


යමෙකු සටන් කිරීමට තීරණය කරනා විට සහ එකී සටන සමග බොහෝ මිනිසුන් ද අත්වැල් බැඳගන්නා විට, ඉන් ජයග‍්‍රහණය අපේක්ෂා කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. බොහෝ දෙනෙකුට වෙනසක් අවශ්‍ය විය. අප දිනනු ඇතැයි බොහෝ අය විශ්වාස ද කළහ. නමුත් ජයග‍්‍රහණය යනු එතරම් පහසුවෙන් ලද හැක්කක් නොවේ. අරගල අපට අවශ්‍ය විට සහ අප අපේක්ෂා කරන ආකාරයට ප‍්‍රතිඵල ගෙන දෙන්නේ කලාතුරකිනි. අපි සටන් කළෙමු. අපි විශ්වාස කළෙමු. නමුත් අපේ බලාපොරොත්තුව කඩ වුණි.  


දේශපාලනය යනු දීර්ඝ වූ ක‍්‍රියාවලියකි. මේ පිළිබඳ සවිඥානක අය, එය ඇරඹෙන්නේ මැතිවරණය දැනුම් දුන් විට නොවනා වග ද, එය අවසන් වන්නේ එහි ප‍්‍රතිඵල නිකුත් කළ පසුව නොවනා වග ද මැනවින් අවබෝධ කර ගනිති. බලාපොරොත්තු කඩ වීම, අපේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා වූ දීර්ඝ ගමනක මං සළකුණුය. මේ එවන් වූ මොහොතකි. මේ ගෙවෙන්නේ අරගලය දියත් කිරීමට සහ කලකිරීම් ඇතිකරවන සුළු වූ දිනයන්හි පවා නොසැළී සිටීමට අපට සවිය දුන් මහා වටිනාකම් මතින් අන් කවරදාටත් වඩා ශක්තිය උපදවා ගත යුතු මොහොතකි. මේ සටන අත්නොහරින බවට මම මේ මොහොතේ ප‍්‍රකාශ කරමි. මගේ උපරිම හැකියාව සමගින් මම මේ අරගලය ඉදිරියට ගෙනයන්නෙමි. 


මම මේ පරාජය නිහතමානීව පිළිගනිිමි. ජයගත් මහින්ද රාජපක්ෂ මහතාට මම සුභ පතමි. අපට වෙන්ව යාම සඳහා සාධාරණ හේතුසාධක නිර්මාණය වී පැවති බව පිළිගැනීමට තරම් දේශපාලන පරිණතභාවයකින් ඔහු යුක්ත බව මට විශ්වාසය. තමාට නිවැරදි කර ගැනීමට නොහැකි වූ වැරදි ඔහු දකිනු ඇත යන්න මාගේ විශ්වාසයයි. අප වෙත ඡන්දය දෙන්නැයි අප ජනතාවට පැවසූ යෝජනාවල යුක්තියුක්තභාවය ඉදිරි කාලයේදී ඔහු දකිනු ඇත යන්න මාගේ විශ්වාසයයි. ඔහු ජයග‍්‍රහණය කර ඇත. එහෙත් අපේ ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීමට සහ වඩා අවශ්‍ය කරන්නා වූ ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ සඳහා වූ අවස්ථාව තවම ඉතිරිව ඇත. ඔහු එම කාර්යය නිහතමානීව සිදු නොකරනු ලබන්නේ නම්, ඔහු මා බරපතල ද්‍රෝහියෙකු ලෙස සළකනු ඇත. අනෙක් අතට, ඔහු විසින් අපගේ ආයතන පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ සහ පුරවැසිභාවය වඩා අර්ථසම්පන්න කිරීම පිණිස අපගේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ මුළුමණින්ම යළි කෙටුම්පත් කිරීම සඳහා වූ ක‍්‍රියාවලියක් දියත් කරනු ලබන්නේ නම් ඔහුට මා තුළ ප‍්‍රබල මිතුරෙකු පෙනෙනු ඇත. 


මම ඔහුට සුභ පතමි.


[දමයන්ත මුණසිංහ විසින් පරිවර්තනය කරන ලද මෙය http://dmunasingha.blogspot.com වෙබ් අඩවියෙන් උපුටා ගතිමි]

0 comments: