07 January 2015

මෛත‍්‍රීපාලගේ ජයග‍්‍රහණයේ කතාව (කෙටුම්පත)

ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට කම් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. ඒ තුළින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැක. නමුත් එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත. 

මම මෛත‍්‍රීපාල සිරිසේන. අපේ ඡන්ද ව්‍යාපාරයේ තේමා පාඨය වූයේ 'මෛත‍්‍ර‍්‍රිය' යන්නය. එබැවින් අද පටන් අප පෙන්නුම් කරනා මෛත‍්‍රියෙහි අඩුපාඩුකම් නිසා යම් සිදු වීමක් සිදු වුවහොත්, එය අපේ ජනතාව අත් විඳින්නා වූ බරපතලම අසාධාරණය වන්නේය. 

වෛරයට දැන් ඉඩක් තිබිය යුතු නැත. පලිගැනීම්වලට ද දැන් ඉඩක් තිබිය යුතු නැත. ගෙවුණු කාලයෙන් අප උගත යුතු යමක් වේ නම්, ඒ අප ආදරය කළ නායකයන් ඇතුළු අප හැම දෙනාටම වැරදීම් සිදු විය හැක යන්නයි. අපි හුදු පාරිශුද්ධවන්තයෝ නොවෙමු. අප හැම සතුව ද වැරදි තිබේ. අප පුද්ගලයන්ට වඩා ආයතන සහ නීතිරීතිවලට වැඩි අවධානය යොමු කළ යුත්තේ එම නිසාය. අප සතුව නිවැරදි ආයතනික සැකැස්මක් සහ නිවැරදි නීති රෙගුලාසි පද්ධතියක් තිබේ නම්, මිනිසුන් වැරදි කිරීමේ හෝ මිනිසුන්ට වැරදි සිදු වීමේ අවස්ථාවන් විරල වේ. එලෙස පවතින විට ද වැරදි සිදු වන්නේ නම්, ඒ සඳහා ගත යුතු පිළියම් ද කඩිනමින් අප ගත යුතුය. එමනිසා ඉදිරි කාලය තුළ නීතිරීති සහ ආයතනික ව්‍යුහයන් නිවැරැදි තත්වයට පත් කරලීම සඳහා මම ඇපකැප වන්නෙමි. 

මෙම ජයග‍්‍රාහී මොහොතේ මට පෙර බලය හෙබවූ ජනාධිපතිවරයා පිළිබඳව ද වචනයක් කිව යුතුය. මහින්ද රාජපක්ෂ මහතා තරම් ජනතාවගේ ආදරය දිනාගත් වෙනත් නායකයකු නැති තරම්ය. ගුවන් යානයෙන් බැස, දෙදණ බිම තබා, අප මාතෘ භූමිය සිප ගත් මොහොත මට අද මෙන් සිහියට නැගේ. මහින්ද රාජපක්ෂ වැනි නායකයකු ලැබීමට තරම් අපි වාසනාවන්ත වීය යන්න මාගේ අවංක හැඟීමයි. 

ඔහු වීරයෙකි. එසේම ඔහු වීරයෙක් ලෙස සදා හිඳිනු ඇත. ඔහුගේ නම ඉතිහාස පොතෙන් කිසිදා නොමැකෙනු ඇත. කළ හැකි උපරිමය එතුමා ඉටු කළ අතර කඨෝර සහ නිති වෙනස්වන සුළු දේශපාලනයට සමු දී සතුටින් විශ‍්‍රාම සුවය ගත කිරීමේ හැම අයිතියක්ම එතුමාට ඇත. එතුමා කලක් මගේ නායකයා මෙන්ම මගේ මිතුරා ද විය. අප සැම වෙනුවෙන් එතුමා උදාකර දුන් ජයග‍්‍රහණය, වඩා අර්ථවත් කිරීම සඳහා සිදු කළ යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා වූ මාගේ ව්‍යායාමයට එතුමාගේ ද සහයෝගය ලැබෙනු ඇත යන්න මාගේ පරම විශ්වාසයයි. 


තරඟ කිරීමට කාලයක් ඇත. වාද කිරීමට ද කාලයක් ඇත. ප‍්‍රීතිඝෝෂා කිරීමට ද කාලයක් ඇත. වැඩ කිරීමට ද කාලයක් ඇත. මේ උදා වී ඇත්තේ එලෙස වැඩ කිරීමේ කාලයයි. 

හැකියාවන්ගෙන් සපිරි සහ හදවතින් උසස් මිනිසුන් 
මා සමග ඇත. මා සමග තරඟ කළ අනෙක් පාර්ශවය තුළ ද ඒ හා සමානම අය ඇත. ඔවුන් හැමටම මේ රට අයිතිය. රටේ අනාගතය ද ඒ හැමගේ එකමුතුව වැඩකිරීමේ ගුණය මත රඳා පවතිනු ඇත. මට එරෙහි වූ සැමට මා මේ මොහොතේ මිත‍්‍රත්වයේ උණුසුම් දෑත් දිගු කරන්නෙමි. එය පිළිගන්න. අපි ඉදිරියට පියනගමු. එකමුතුව සහ එකාවන්ව. 

[දමයන්ත මුණසිංහ විසින් පරිවර්තනය කරන ලද මෙය http://dmunasingha.blogspot.com වෙබ් අඩවියෙන් උපුටා ගතිමි]

මෙම මැතිවරණයට අදාළ වන වෙනත් කතා:

මහින්දගේ ජයග‍්‍රහණයේ කතාව (කෙටුම්පත)


0 comments: