15 July 2015

කැකිරිලන්තයේ දේශපාලන පුවත් සාරාංශය (2015.07.15) -- ප.ව. 7.17

අද දින (2015.07.15) දේශපාලන කරලියේ විවිධ කරුණු කාරණා පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අදහස් පහත දැක්වේ. කැමති නම් බෙදාගන්න. බෙදාගත්තේ නැතත්, සතුටින් ඉන්න. සියල්ල දත් විදග්ධයින්ගෙන් නිදහස් වන දිනය ඇත ලඟයි.

'මෛත්‍රී ජනවරම පාවා දෙයි' කියූ රාවය පුවත්පත මේ සතියේ පත්තරේ 'මෛත්‍රී අපව ඇන්දුවේය' යන හෙඩ්ලයින් එක දාන තෙක් තමා නොඉවසිල්ලෙන් බලා සිටින බව සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ නායක සහ කැකිරිලන්තයට සුදුසුම ජනතා නියෝජිත මාලින්ද සෙනෙවිරත්න පවසයි.

රාජ්‍ය මාධ්‍යය එජාපයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම එම පක්ෂයේද ජනපතිගේ ද ප්‍රජාතාන්ත්‍රික උවමනාවන්ගේ තරම (සහ හෙළුව) පෙන්වන බව මහ හඬින් සිනාසෙමින් සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ නායක සහ කැකිරිලන්තයට සුදුසුම ජනතා නියෝජිත මාලින්ද සෙනෙවිරත්න පවසයි.

මංගල 'කොටි' සමරවීර ගේ කුරුඳු-පොලු ගැන්සියේ චන්ඩිකම් ගැන ඩලස් අලහප්පෙරුම දොඩවද්දී පහුගිය රජයේත්, 'චන්ද්‍රිකා මඩම්' ගේ පාලන කාලයේත් විවිධ ගැන්සි වල චන්ඩිකම් හමුවේ ඩලස් නිහඬව සිටියේ ඇයි දැයි සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ නායක (සහ කැකිරිලන්තයට සුදුසුම ජනතා නියෝජිත) මාලින්ද සෙනෙවිරත්න අසා සිටියි.

තමාගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කැමති තැනක කැමති මොහොතක හමුවීමට තමන්ගෙන් කිසිඳු බාධාවක් නොමැති බව සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ නායක මාලින්ද සෙනෙවිරත්න ප්‍රකාශ කරයි.  ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා නමන්ගේ අවසරයකින් තොරව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමු වීම උසාවි නියෝගයකින් තහනම් කල පසුවයි.  තව දුරටත් අදහස් දක්වමින් කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සෙනෙවිරත්න මහතා 'මැදිහත් නොවන' සිරිසේන මහතාගේ මෙම 'මැදිහත් වීමේ' ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පිලිබඳව යහපාලන ඔස්තාර්ලා (පුරවැසි බලය ඇතුලුව) නිහඬව සිටීම හාස්‍යයට කරුණක් බව පැවසුවේ මහ හඬින් සිනාසෙමින් ය.

මෛත්‍රිපාල සිරිසේන මහතා එජාප ව්‍යවස්ථාව සහ රටේ ව්‍යවස්ථාව පටලවාගත්ත බවක් පෙනෙනවා යැයි සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ නායක මාලින්ද සෙනෙවිරත්න පවසයි.  ඔහු මෙසේ පැවසුවේ රටේ ව්‍යවස්ථාව නොදන්නෙකු මෙන් 'අගමැති තනතුර' තමාගේ කැමැත්ත මත පිරිනමන දෙයක් යැයි සිරිසේන මහතා ප්‍රකාශ කල බැවිනි. කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට බලාපොරුත්තු වන තම පක්ෂය සිරිසේන මහතාට ව්‍යවස්ථාවේ අයනු ආයනු  නොමිලේ කියාදීමට සූදානම් බවද ඔහු පැවසුවේය. 

බලය ඇති අය බලය නොමැති තමන්ට කරන කෙනෙහිලිකම් ගැන කම්පා වන මහින්ද රාජපක්ෂ ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදවිය ගැන දුකක් තමන්ට නොදැනෙන බව සීමාරහිත උම්මත්තකියින්ගේ පක්ෂය ප්‍රකාශ කරයි.  එහෙත් එම කෙනෙහිලිකම් කරන්නන් ප්‍රජාතන්ත්‍රවාදීන් යහපාලකයින් සීලවන්තයි යැයි විශ්වාස කල අය ගැන හීන් අනුකම්පාව මුසු වුන දුකක් දැනෙන බවද කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන එම පක්ෂය සඳහන් කළේය.




0 comments: