19 March 2016

19 වන ව්‍යවස්ථාව 'අනවසර පදිංචිය' නීතිගත කර ඇත


30 කට සීමා කරනවා කියූ ඇමති මණ්ඩලය 2015 සැප්තැම්බර් මස 42ක් විය.  දැන් 43 කි.  'යහපාලන' ආණ්ඩුව මෙය අවම වශයෙන් 113 දක්වා වැඩි කිරීමට අවසරයක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ලබා ගෙන ඇත.
අනවසර ඉදිකිරීම්.  අනවසර පදිංචිකරුවන්.  අනවසර ඉදිකෙරීම් සමතලා කිරීම්.  අනවසර පදිංචි කරුවන් බලහත්කාරයෙන් ඉවත්කිරීම්.  එක්තරා ආකාරයකට සංවර්ධනය කියන්නේ මේයටයි.  කොම්පඤ්ඤ වීදිය සුද්ද කරද්දී සමහරුන්ට දුක හිතුනා, විශේෂයෙන් ඉංග්‍රීසියෙන් කතාකරන ලියන අයට.  තොටළඟ සුද්ද වෙද්දී ඒ අය නිහඬයි. විල්පත්තුව සුද්ද කරද්දී වෙනම විදිහක්.

මේ සංවර්ධනය නොවේ.  මේ මිතුරා සතුරා හඳුනාගෙන ඒ අනුව කඳුළු සැලීමයි. නැතහොත් නිහඬ වීමයි.  හරියට 88-89 මානව හිමිකම් උල්ලංගනය වුනේ නෑ වගේ, එල්.ටී.ටී.ඊ කියන්නේ පූස් පැටවූ විදිහට දකින එක වගේ, සියලු වැරදි කලේ හමුදාව කියා අනේ අපොයි කියනවා වගේ.  සුද්ද කරන්නා වැදගත්.  සුද්ද වෙන එකාත් වැදගත්.  ඒ අනුවයි කඳුළු උනන්නේ ඇස් වලට. ඒ අනුවයි අහක බලන්නේ හෝ අහක බැලෙන්නේ.

කොහොම වුනත් 'අනවසර පදිංචිකරුවන්' ගැන කතා කල යුතු වන්නේ තොටළඟ, කොම්පඤ්ඤ වීදිය හෝ විල්පත්තුව යනාදී තැන් වල සිදුවී ඇති සහ සිදුවන අනවසර පදිංචි වීම් වලට වඩා බරපතල 'අනවසර පදිංචි වීමක්' සිදුව ඇති නිසා.  එක්තරා ආකාරයකට 'සරණාගතයින්ගේ කඳවුරක්' වන් 'ජාතික ලැයිස්තුව' ද 'අනවසරයෙන් පදිංචි වන තැනක්' ලෙස දැකිය හැක.  මෛත්‍රිපාල සිරිසේන එම අනවසර පදිංචි කරුවන්ට තෑගී ඔප්පු පවා ලබා දුන්නේ ය.  එහෙත් අප කතා කරන්නේ වෙනත් ආකාරයක ඉඩම් කොල්ලයක් ගැනය.  එය සිද්ද වුනේ ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ.  ඒ 'වත්ත' ට කියන නම 'ඇමති මණ්ඩලය'.  අනවසර පදිංචිකරුවන් වන්නේ ඇමති වරු.

එය මෙසේ ය සිදුවුයේ.

පාර්ලිමේන්තුවේ අංක ගණිතය දේශපාලන ස්ථාවරත්වයට ඉතාම වැදගත් බව පැහැදිලි වූයේ ජේ.ආර් ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනමතවිචාරයෙන් එජාපය රැකගත් තුනෙන්-දෙකේ බහුතර බලය 1989 දී නැති වුන විටය.  ඉන් පසු තුනෙන්-දෙක තියා සරල බහුතරයක් ලබාගැනීමද අපහසු කාර්යයක් බව කාට කාටත් අවබෝධ විය.  දේශපාලන කරලියට පිල් මාරු, බාවා ගැනීම් බරපතල ලෙස ආවේ ඉන් පසුව ය.  සරල බහුතරයක් ලබාගැනීමටත්, තියෙන සරල බහුතර ආරක්ෂා කර ගැනීමටත් මේ ක්‍රමවේදය අවශ්‍ය විය.  එයට නෛතිකභාවයක් ලබා දුන්නේ අග විනිසුරු සරත් සිල්වා ය.  පසුව සරල බහුතරය තුනෙන් දෙකක බහුතරයක් බවට පෙරලා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් විය.  එම අංක ගණිතය විසඳ ගන්න එකම එක ක්‍රමයක් තිබිණ: විපක්ෂයෙන් පනින මන්ත්‍රීවරුන්ට ඇමති පදවි තිලිණ කිරීම.  එහෙම පනින අයගේ පක්ෂ සාමාජිකත්වයට හානියක් නොවන්නත්, ඒ හරහා මන්ත්‍රීකම අහිමි නොවන්නත් සරත් සිල්වා ගේ තීන්දුව වැදගත් විය.

මෙය විකෘතියක්, ප්‍රජාතන්ත්‍ර-විරෝධී තත්වයක් කියා බොහෝ දෙනා පැවසූ ව ද මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගත්තේ නැත.  එහෙත් ඇමති මණ්ඩලය 30 කට සීමා කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු විය.  2015 ජනවාරි 8 දා බලයට පත් වී, එජාපය සමග ගිවිස ගත් පරිදි 30 දෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් ඒ අනුව පත් කරන ලදී.

ඉතින් මදිද? මදි!  ඒ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සංස්කෘතියේ ස්වභාවයයි.  මුදල් ආයෝජනය කරන්නේ ප්‍රතිලාභ අපේක්ෂා කරන බැවිනි.  මැතිවරණයකට ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරන්නේ මන්ත්‍රීවරයෙකුට ලැබෙන (සාපේක්ෂ) සොච්චම සාක්කුවේ දාගෙන 'ජනතා සේවයේ' යෙදෙන්න නොවේ.  'අඩුම තරමින් නියෝජ්‍ය ඇමතිකමක් වත්?' එහෙමයි මේ අය කල්පනා කරන්නේ.

ඒ කෙසේ වෙතත්, අපැහැදිලි සහ අස්ථාවර දේශපාලන පසුබිමක එළඹෙන මහා මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් හදන්නේ කෙසේද, හදන ආණ්ඩුවේ ස්වරූපය කුමක්ද යනාදී වශයෙන් බරපතල ප්‍රශ්න රැසකට පිළිතුරු සෙවීමට රනිල් ට මෙන් ම මෛත්‍රිපාලටත් සිදුවිය. ඒ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය නාමිකව තමන් සතු වුවත් ප්‍රායෝගිකව එය එසේ නොවන බව මෛත්‍රිපාල දැන සිටියේය .  [19 වන සංශෝධනය සම්මත කිරීමෙන් අනතුරුව තක්කඩිකමින් ලේකම්වරු -- පක්ෂයේ සහ සන්ධානයේ -- වෙනස් කිරීමට ඔහුට සිදුවිය. අදටද පක්ෂය සම්පූර්ණයෙන් තම අනසකට නතු කිරීමට මෛත්‍රිපාල සිරිසේන අසමත් වී ඇත].  මැතිවරණ වේදිකාවේ 'ජාතික ආණ්ඩුවක්' ගැන කතා කලේ 'රටට සුදුසු' නිසාම නොවේ, මෛත්‍රිපාල ගේ දේශපාලන වලංගුභාවය සඳහා එය අනිවාර්ය කොන්දේසියක් වූ නිසා ය.  මෙහි අවධානමක් විය, එනම් එජාපය ආසන 113ක් ගැනීමයි.  තම පක්ෂයට ආසන 113ක් දිනාගැනීමට අසීරු බව මෛත්‍රිපාල දැන සිටියේය.  අමතරව ජයග්‍රහණය කරන පාක්ෂිකයින්ගේ විශ්වාසය ද සහතික නොවින.  'ජාතික ආණ්ඩුව' අනිවාර්යක් වුයේ මේ හේතුවෙනි.  ඒ සඳහා 'ඇමතිකම' නම් 'මිල' ගෙවන්නට සිදුවන බවත්, ඇමති මණ්ඩලය 30 කට සීමා කිරීම හරහට සිටින බවත් ඔහු ට අවබෝධ වන්නට ඇත.  19 වන සංශෝධනයේ 46(4) වගන්තිය ලියවුනේ ඉහත යථාර්ථයන් පදනම් කර ගෙන ය.

19වන ව්‍යවස්ථා සංශෝධනයේ  46 (1) (අ) සහ (ආ) වගන්ති වලට අනුව "අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරයින් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු ය," සහ "අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරයින්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතලිහ නොඉක්මවිය යුතුය." එක් පක්ෂයක් හෝ සන්ධානයක් ස්ථාවර ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව (113) ලබාගන්නේ නම් ඉහත ගණිතය ට අනුව අවම වශයෙන් සතලිස් දෙන්නෙකුට (42) මන්ත්‍රී කම ට අමතරව කිසිම අමාත්‍යාංශයක ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් ලැබෙන්නේ නැත (43 වැනියා කථානායක යැයි උපකල්පනය කළ විට).  එනම් ඒ සියලු දෙනා අසතුටු වනවා නොඅනුමානය.  එය වනාහි පාර්ලිමේන්තුවේ අංක ගණිතය එක මොහොතකින් කුඩු පට්ටම් කර දැමිය හැකි බෝම්බයකි.  මොවුන් ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ අසතුට සමනය කිරීම දේශපාලන ස්ථාවරත්වයට අතිශයින් වැදගත් වන බව 19 වන සංශෝධනය සම්පාදනය කළ උදවිය අවබෝධ කරගන්නට ඇත.  'ජාතික ආණ්ඩුව' සියලු දෙනාගේම ගැලවුම විය.

19 වන සංශෝධනයේ 46(4) වගන්තිය මෙයයි: "(1) වන අනු ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ දී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය."

19 වන සංශෝධනය සැකසූ විද්වතුන් සහ ඔවුනට උපදෙස් දුන් දේශපාලනාඥයින් 'ජාතික ආණ්ඩුව' ඉතාම කූට ආකාරයකට ය නිර්වචනය කර ඇත්තේ.  46 (5) වගන්තිය කියවෙන්නේ මෙසේය: '(4) වන අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවන ලබන ආණ්ඩුවක් වන්නේය."

මෙය අපැහැදිලි වූ ද විවිධාකාරයෙන් අර්ථකථනය කළ හැකි වූද නිර්වචනයකි.  "පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සියල්ල එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක්" ලෙස නිර්වචනය කළේ නම් පරිපූර්ණ නියෝජනයක් ඇති වන බැවින් ම 'ජාතික' යන වචනයට සාධාරණයක් ඉටු වීමට තිබිණ.  අඩුම තරමින් "පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ ලබාගන්නා ලද ආසන සංඛ්‍යාව අනුව දෙවෙනි ස්ථානය හිමි දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම වත් අවම වශයෙන් එකතුව පිහිටුවන ආණ්ඩුව" ලෙස නිර්වචනය කළේ නම් ගැටළු සහගත් වුවද එය 'ජාතික ආණ්ඩුව' ලෙස නම් කළ හැකිවේ.  නමුත්, 19වන ව්‍යවස්ථාවේ අදාළ සටහන අනුව, උදාහරණයක් වශයෙන්, වත්මන් පාර්ලිමේන්තුවේ එක්සාත් ජාතික පක්ෂයට 113 බහුතරය නිර්මාණය කරගැනීමට සහය වන හෝ විය හැකි ඕනෑම පක්ෂයක් සමග 'ජාතික ආණ්ඩුවක්' සෑදීමට වරම් ඇත.  බහුතරය ඇති බැවින් එවිට 46 (1) (අ) සහ (ආ) වගන්ති බලරහිත වනු ඇත.  ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව, කැමති නම්, 113 දක්වා වැඩි කිරීමටද අවසර ඇත.

මෙය නොසැලකිල්ලෙහි ප්‍රතිඵලයක් නොව, හිතා මතා, පටු දේශපාලන වාසි ලබාගැනීමට 2015 ජනවාරි 8 දා සහ 2015 අගෝස්තු 17 දා ලබාගත් ජනවරම පාවා දීමක් බව පැහැදිලි වේ.  මේ පිලිබඳ අද වන තුරු 'යහපාලනය' වෙනුවෙන් හඬ නැගු ඊනියා විද්වතුන්, වෘතිකයින්, ඊනියා සිවිල් සමාජ නියෝජිතයින් ඇතුළු සියලු දෙනා මුනිවත රැකීමෙන් ගම්‍ය වන්නේ ඔවුන් වගකීම් විරහිත බවත්, දේශපාලන වශයෙන් අඥාන බවත් එසේ නැතහොත් දේශපාලන තක්කඩිකමකට දැන දැනම සම්මාදම් වූ බවත් ය.

ජනතාව රවටා ඇත.  ව්‍යවස්ථා සම්පාදනය යන වැදගත් කාරණය හරහා ජනතාවට කොකා පෙන්නා ඇත.  මෙය ජාතික ආණ්ඩුවක් නොව ජනතා විරෝධී ආණ්ඩුවක් ලෙස හඳුනා ගත යුතු ය. එමෙන්ම මෛත්‍රිපාල-රනිල්-චන්ද්‍රිකා-චම්පික ප්‍රධාන මෙම දේශපාලන බලාධිකාරියේ මෙම තක්කඩිකම් ඉවසන සියලු පාර්ශවයන් දේශපාලන වංචාකාරයින් ලෙස හඳුනා ගත යුතු ය.

මේ සියලු දෙනා ජනතා අභිලාෂයන්ට එරෙහිව  තක්කඩිකමින් සහ අනවසරයෙන් මෙම ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් ඇති අය සහ ඔවුන්ගේ ජනතා-විරෝධී භාවිතයන් ඉවසන පිරිස් වේ.  කොටින්ම මොවුන්ගෙන් 'යහපාලනයක්' බලාපොරොත්තු විය නොහැකි බව තේරුම් ගත යුතුය.  'යහපාලනය' සඳහා අලුත් අරගලයක් කළ යුතු වේ. ඇමති මණ්ඩලයට නීති විරෝධී ලෙස කඩා පැන ජනතා අවසරයෙන් තොරව පදිංචි වුවන් වහා ඉවත් කළ යුතු ය.  මෛත්‍රිපාල සිරිසේන ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ සියලු දෙනා පිළිබඳව ජනතාව විමසිලිමත් විය යුතුය. මන්ද රාජපක්ෂ පාලනය ට නොදෙවැනි වූ තක්කඩි දේශපාලන භාවිතයක ඔවුන් නිරත ව සිටින බැවිනි.

1 comments:

Unknown said...

Very good article, sheds light on Yhapaalass to see their nudity.

My Idea is the concept or the word National government can not be included in a constitution because it is a value added term. National government can only be formed from out side the constitution as necessary practical measure.

Nawarathna Rambukwella