10 December 2017

ආඥාදායකත්වයන් සහ ආඥාදායකයින් සමග ගනුදෙනු බේරාගත යුතුයි


'The tyrannies we inhabit and those which reside within us' ලිව්වේ මීට වසර 7 කට පෙර.  ඒ කාලේ දිලීප ලෝරන්ස්-හේවා කියල මිත්‍රයෙක් මම ලියන දේවල් ගැන උනන්දු වුනා.  ඒවා ගැන යම් යම් අදහස් ඉදිරිපත් කලා.  විවිධ ලිපි වගේම විවිධ අදහස් වෙත මාව යොමු කලා.  මීට වසර හතකට පෙර වෙයින් ඩයර් ( Wayne Dyer) ගේ ‘The sky’s is the limit’ (සීමාව අහස වේ) කියන පොත ගැන දිලීප මට කිව්වා.  දිලීප කිව්වේ ඩයර් ට අනුව ජීවිතය කියන්නේ  අඩු වැඩි වශයෙන්  'අනෙක් අය අප ගැන ඇති අපේක්ෂාවන් වලට හැඩගැහීමක්.' දිලීප මේ තත්ත්වය 'ආඥාදායකත්වයට ගොදුරු වීම,' හැටියටයි හඳුනගත්තේ.

එවිට මට නැවතත් නිතර නිතර මතක් වෙන පොතක් සිහියට ආව.  ෆිලිප් ගෝවවිච් (Philip Gourevitch) ගේ '‘We regret to inform you that tomorrow we will be killed with our families’ (කනගාටුවෙන් ඔබලාට දැනුම් දෙන්නේ හෙට අපගේ පවුල් සමගින් අපව ඝාතනය වනු ඇති බවයි).  1998 වසරේ ප්‍රකාශයට පත්වුන මේ කෘතියේ රුවන්ඩා හි ඒ දවස් වල සිදුවූ මිනිස් සංහාරය විස්තර කරලා තිබුන.  එහි බලය ගැන මෙහෙම අදහසක් අඩංගුයි: 'බලය යනු වෙන කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ යතාර්ථය පිලිබඳ තමාගේ කියවීම තුල වාසය කිරීමට සැලැස්වීමයි.'

බලය යන වචනය ඇසු විට ඉබේටම සිහිගැන්වෙන කාරණා (රාජ්‍යය, හමුදාව, ප්‍රචණ්ඩත්වය, මර්දනය, ධූරාවලි යනාදිය) වලින් එපිට දේවල් වලට දිලීපගේ කියවීම අදාළ යි කියා මට හිතුන.

ආඥාදායකත්වය කියන්නේ හුදෙක් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ජනතාව ඉවත් කිරීම හෝ හිතුමනාපෙට නීති පැනවීම හෝ තක්කඩිකම් හමුවේ ජනතාව අසරණ කිරීම හෝ නොවේ. පාලනය හැමවිටම දෘඪ නෑ; ඇතැම් අවස්ථාවල දී මෘදුයි, ලයාන්විතයි. දනී නොදනී ගොස් අමතක වන තරමට ම.  එහි අවසාන ප්‍රතිඵලය 'ඕව ඔහොම තමයි බං' කියන තැනකට ජනතාව පත්වීමයි, එවැනි මානසිකත්වයක් තුල නේවාසික වීමයි.

නෙවාසිකත්වයේ මාන තීන්දු කර ඒවාට අනුකූල වූ මානසික සිරකුටු හදන දෙවියෙක් හෝ යෝධයෙක් හෝ බලවතෙක් නෑ.  ඒ වුනාට සමාජය ව්‍යුහගත වෙන්නේ අඩු වැඩි වශයෙන් බලවතුන් වඩා කැමති ප්‍රතිඵල නිපදවෙන විදිහටයි. ව්‍යුහය මෙන්ම එය තුල චන්ඩි පාට් දාන අයට ද බොහෝ අවස්ථා වලදී විරෝධයේ දිග පළල සහ හැඩය තීන්දු කරනවා.  ව්‍යුහය කුඩුපට්ටම් කරන හෝ එහාට මෙහාට ඇදල හැඩය වෙනස් කෙරෙන අවස්ථා නැතුව නෙමෙයි, එත් විරලයි.

කෙසේ වෙතත් නීති සහ තුවක්කු වලින් ජනතාවක් මෙල්ල කල හැකි මුත් වඩා පහසු සහ කාර්යක්ෂම සහ දිගුකල් පවතින මෙල්ල කිරීම නම් ගොදුර එක්තරා අලස, අකාර්යක්ෂම තත්ත්වයකට පත්කිරීමයි. එතනදී පීඩිතයාට තමා පීඩිතයෙක් ලෙස පෙනෙන්නේ නැත.  පීඩිත ක්‍රියාවලිය පීඩාවක් ලෙසද පෙනෙන්නේ නැත.  පවතින තත්ත්වයට කවුරුන්හෝ වගකිව යුතුයි කියා සිතීමට පෙළඹෙන්නේ නැත.  පවතින ක්‍රමය තුල විසඳාගත හැකි දෝෂයක් ලෙස වත් එය තේරුම් ගන්නේ නැත.  'ඕව ඔහොම තමයි' කියල හිත හදාගන්න තැනක ට පීඩිතයා පත් වෙයි. හරියට දෙවියෝ එහෙම නියම කරලා වගේ.  එත් ඔය 'දෙවියෝ' අහිංසක නැහැ වගේම 'දෙයියෝ දුන්න දේ නේ' කියල හිතන්න පුරුදු කරන එකත් අහිංසක නැහැ.  එහෙම හිතන්න පුරුද කිරීම සහ පුරුදු වීම පීඩකයා ට බොහෝ වාසි සහගත තත්ත්වයන් උදා කරලා දෙනවා.  කලබල නැතුව, වැඩි වියදමක් නැතුව, තුවක්කු බැටන් පොලු කඳුළු ගෑස් වාරණ යානාදිය භාවිතා කරන්නේ නැතුව තක්කඩිකම් ලස්සනට කර ගෙන යන්න පුළුවන් එතකොට.

මෙහෙම හිතුවොත් හොඳයි: 'ඕව සාමාන්‍ය දේවල්' කියල විස්තර කරන 'සාමාන්‍ය දේවල්' නිර්මාණය වෙන්නේ 'සාමාන්‍ය' නැත්තම් ස්වභාවික විදිහට නෙවෙයි.  ඒවා නිර්මාණය වෙන්නේ විෂම සමාජ දේශපාලන ආර්ථික වටපිටාවක් තුල.  ඇතැම් විට එම වටපිටාව තුල ඇති බල අධිකාරියේ උවමනාවට.  ඒවා සාමාන්‍යයි නැත්තම් ස්වභාවිකයි කියල හිතන එකත් එහෙම හිතල ඒවා වෙනස් කල නොහැකියි කියා නිගමනය කරන එකත් එම බල අධිකාරියට වාසි සහගතයි.

 තුවක්කුවකට පපුව ඉදිරිපත් කිරීම මෝඩ වැඩක්.  තුවක්කු මගහැරලා යෑම මොලේ ඇති වැඩක්. ඒත් නැති තුවක්කු වලට බය වීම නොකලමයුතු දෙයක්.  තුවක්කුව 'ස්වභාවික' නෑ, 'සාමන්‍යයත්' නෑ.  බලය ට විවිධ ස්වභාවයන් තිබුනත් බලය 'ස්වභාවික' හෝ 'සාමාන්‍ය' වෙන්නේ නැහැ. 

ගතවූ නිශ්චිත පැය ගණනක් තුල කල සියලු කාර්යයයන් එකින් එක සලකලා බැලුවොත්, එහෙම නැත්තම් අවසානයට කල කාර්යයන් 20 හෝ 30 හෝ 100 මොනවාදැයි කියල කල්පනා කලොත් අප ජීවත්වන්නේ හෝ අපට ජීවත් වීමට සිදුවී ඇත්තේ ව්‍යවස්ථාවේ කියවෙන නීති පද්ධතියකට පමණක් අවනතව නොවන බව පැහැදිලි වනු ඇත.  නීති වලට යටත් වනවා වගේම රීති වලටද අවනත වෙනවා.  මෙය 'සමාජ සම්මුතිය' හැටියට දකින්න පුළුවන්.  එත් මේ නීතියටවත් රීති පද්ධතියකටවත් අහු නොවන වෙනම ආකාරයේ 'විනය පද්ධතියකට' ත් අවනත විය හැකි බව තේරුම් ගත යුතුයි.  අහිංසක නොවන 'ස්වභාවිකකරණයක්' හැටියට මෙය තේරුම් ගන්න පුළුවන්.

පීඩකය අප වෙත පැමිණෙන්නේ 'මම පීඩකයෙකි' කියල ලොකු අකුරින් ලියල තියෙන පෝස්ටරයක් උස්සගෙන නෙවෙයි.   ආඥාදායකයෝ  'අවනත වෙයං ඩෝ!' කියල කෑ ගහගෙන එන්නේ නැහැ.  එහෙම නොවුනත් පීඩනය තියෙනවා. ම්ලේච්ඡකම් සිද්ද වෙනවා. 

තක්කඩියින්ට අතවනන, තක්කඩියින් බෝ කරන, තක්කඩයින් ආරක්ෂා කරන නීති පද්ධතියක් ඇත.  අධිකරණ ව්‍යුහයක් ඇත.  පොලීසියකුත් ඇත. අවශ්‍යනම් හමුදාවකුත් ඇත.   මේ හැම දෙකටම පරිභාහිරව විරෝධය මෙල්ල කරන්න මැරවරයින් ද ඇත.  විරෝධයට නායකත්වය දෙන සමහර අය නිහඬ කරන්න සල්ලි ද ඇත.  වැදගත් ම වන්නේ මේ හැම දේටම උදව් කරන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුගෙඩි ඇතුලේ සහායකයෙකුත් ඉන්න එකයි.

ගොවවිච් කතා කරන්නේ එයා ගැනයි, එම තත්ත්වය ගැනයි.  දිලීප කියන්නෙත් ඒකමයි.  එනම් සතුරා ඉන්නේ පිටම නෙවෙයි, අප තුලයි.  දරුණුම ආඥාදායකයා මොහු වේ.  කාලකන්නි ම ආඥාදායකත්වය මෙය වේ. 

සරල උදාහරණයක් ගමු.  අහවල් සබන් කැටය තොර ගත්තේ ඇයි කියල අපි අපෙන් ම අහනවද?  අපගේ (කියල කියන/හිතන) තෝරාගැනීම් ඇත්තටම 'අපේ' ම ද?  අපි ජීවත්වෙන්නේ අපට ඕන ජීවිතද අනුන් අපෙන් බලාපොරොත්තු වන ජීවිතද? මේ වගේ ප්‍රශ්න අපි අපෙන් ම අහනවද?  අහන්නේ නැත්තම්, ඒ ඇයි?

සම්මතයට විරුද්ධ වීම යෝජනා කිරීමක් නොවේ මෙය.  එහා ගෙදර ඉන්න සුනිල් සතුටු වෙන විදිහට ජීවත් වීමේ වරදක් නෑ, එසේ ජීවත්වීමෙන් සතුටක් තෘප්තියක් ලැබෙනවනම්.  ඒත් සුනිල් ඇත්තටම අහිංසක ද?  ඒ ගැන අපි කල්පනා කරලා තියෙනවද?

ඇත්තටම සිදුවන්නේ කුමක් ද?  බොහෝ අවස්ථාවලදී  ගොඩ වෙන්න පහසුම කෝව ඇතුලට අපි ගොඩ වෙනවා.  පසුව ගොඩ වුනේ කව්රුවත් බල කරලා නෙවෙයි කියන එක අමතක කරනවා.  ඒ අතරේ 'මේක මහා වදයක්,' 'මෙතන හැරෙන්නවත් නිදහසක් නැහැ' කියල දුක් වෙනවා.  තරහ යනවා.  සමහර විට 'මොනවා කරන්න ද.....ඕව ඔහොම තමයි' කියල හිත හදාගන්නවා.  තක්කඩිකමකට 'ස්වභාවිකයි' කියල කියනවා.  තක්කඩිකමට සම්මාදම් වෙනවා.  තක්කඩිකමටත් තමන්ටත් 'අහිංසක' ලේබලය අලව ගන්නවා.

කෝව ඇත්තටම තියෙන්නේ හිත ඇතුලේ.  ඒ ගැනත් හිතන්න ඕන.

ආඥාදායකයින් හැදෙන්නෙත්, වැඩෙන්නේත්, අවශ්‍ය නම් අපව තලන්නේත් එහෙමයි.  අපව පෙළන මතවාද බලෙන් අපේ හිත තුලට කා වද්දනවට වඩා සිද්ද වෙන්නේ අපි කැමැත්තෙන් (අලසකම නිසා හෝ ඒ ගැන වැඩිය නොසිතූ නිසා) ඒවා වැළඳ ගැනීමයි.  ඒවා ඉන්පසුව ජීවිත භාවිතය හරහා නඩත්තු කිරීමයි.

දිලීපටත්, ගොවවිච්ටත්, ලුවී ඇල්තුසෙයර්ටත් ශතවර්ෂ ගණනාවකට පෙර මෙය සිද්ධාර්ථ ගෞතම පැහැදිළි කරලා තියෙනවා.  නැවත නැවත, නැවත නැවතත්, 'මම' විමසිය යුත්තේ එබැවිනි.  අපේ සිත් තුල ආදරයෙන් නඩත්තු කරන ආඥාදායකය සමග ගනුදෙනුවක් තියෙනවා අපි නිතර නිතර මග හරින.

මට වඩාත් ම ආදරේ මම මයි.  මට දරුණුම හතුරුකම් කරන්නෙත් මම මයි.  මා පෙළන ආඥාදායකයා මම මයි.  මාව සිරගත කර ඇත්තේ ද, මා බැඳ තබා  ඇත්තේ ද, සිරකුටිය අභියස මුරකරු ද, මම මයි.

ඒ මම.  ඔබ?  අප?

සකල දේශවාසී පීඩිතයින් නිදහස් කිරීමට පෙර කල යුතු යමක් ඇත.  විප්ලවයේ අනිවාර්යය පූර්වකොන්දේසිය එයයි. අප තුල වෙසෙන, අප විසින් හදාවඩා ගන්නා ආඥාදායකයා ට ආයුබෝවන් කිවයුතුයි. 

දිලීප එකඟ වේවි




 .
[2010 දෙසැම්බර් මස 9 වනදා  'Daily News' පුවත්පතේ පළවුණු 'The tyrannies we inhabit and those which reside within us' ලිපියෙහි පරිවර්තනයකි]


කියවන්න:

"අපි....ගෝතයින්ට බයයි නංගියේ....."

කොඳු ඇති සහ නැති නායකයෝ

ශ්‍රේෂ්ඨාධිකරණය මහජන උවමනාව සහ දේශපාලන උවමනාව පටලවා ගෙන ද?

කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ නැතුව ඉන්න නම්....

මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම



Reactions:

0 comments: