11 January 2018

එතකොට මෛත්‍රී බොරුද කිව්වේ?


තමන්ගේ ධූරකාලය අවසන් වන්නේ කවදාද කියල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසලා තියෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව එහෙම විමසලා තියෙන්නේ "ධූරකාලය පිලිබඳ මත දෙකක කතිකාවක් සිවිල් සහ දේශපාලන ක්ෂේත්‍ර වල පවතින නිසා" ලු.  එහෙම කතිකාවක් ගැන ඇහුවමයි!

'මගේ ධූරකාලය ස්වකැමැත්තෙන් අවුරුදු හයේ සිට පහකට අඩුකරා.....එහෙම අඩු කරපු වෙන නායකයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ' වගේ කතා කියද්දී ඔය කියන කතිකාවක් ගැන වත් අපහදිලිතාවයක් ගැන වත් සිරිසේන මහත්තයා කිව්වේ නැහැ.  'වැඩේ අහවරයි' කියන විදිහේ ස්වරයක් තමයි පාවිච්චි කෙරුවේ.

සිරිසේන මහත්තය දේශපාලන වේදිකාවට නැගල කිව්වේ ආයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ කියල විතරක් නෙවෙයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කරනවාමයි කියලයි.  එහෙම කෙරුවේ නැහැ.

ඒ වුනාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපති ධූරකාලය අවුරුදු පහකට සීමා කෙරුව. ඒ විතරක් නෙවෙයි, ඔය ධූරකාලය පිළිබඳව පැහැදිලි කිරීමකුත් සංශෝධනයට එකතු කෙරුව.  ධූරකාලයට අදාලව ලියල තියෙන්නේ 2015 අප්‍රේල් 22 දා ට පෙර දිනයේ ජනාධිපති ධූරයේ සිටින පුද්ගලයා එම ධූරයේ ම සිටින අතර (ධූරකාලය ට) ඔහු හෝ ඇය අදාළ ව 19වැනි සංශෝධනයේ කරුණු වලට යටත් වන බවයි. 

තත්ත්වය මෙසේ තිබිය දී නීතිපති මහත්තයා කියන්නේ සිරිසේන ජනපති තුමා ධූරයට පැමිණියේ 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර බැවින් එහි විධිවිධාන (ධූරකාලය පිළිබඳව) ඔහුට අදාළ නොවන බවයි. 

ලොක්කා පත් කල සොක්කා ලොක්ක ගේ කැමැත්තට සැලූට් දාන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් ම සොක්කා ගේ උසස්වීම් තියෙන්නේ ලොක්කගේ අතේ නිසා.  නීතිපති ල අගවිනිසුරු වෙන රටක් මේක.  දූෂිත ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙන රටක් මේක.  ශ්‍රේෂ්ඨාධිකරණය විධායකයට අවනත වෙන රටක් මේක. 

බලය එපා, බලතල එපා, ඥාති සංග්‍රහය එපා කිය කිය බලයට බලතලවට ලොබ බඳින, ඥාතීන්ට හිතවතුන්ට සංග්‍රහ කරන රටක් මේක.  නීතියට අවනත වෙමි කියල නීති කඩන, නීතිය නවන, නීතිය වටේ වංගු ගහන නායකයින් ඉන්න රටක් මේක.  ප්‍රේමදාස ජේආර් වුන, චන්ද්‍රිකා ප්‍රේමදාස වුන, මහින්ද චන්ද්‍රිකා වුන, මෛත්‍රී මහින්ද වුන රටක් මේක. 

ඒ නිසා මෛත්‍රිපාල බොරු ද කිව්වේ කියල අහන්න අවශ්‍ය නැහැ.  අහන්න ඕන මෛත්‍රිපාල බොරු නොකිය ඉඳියි ද කියලයි. 



5 comments:

sarath said...

Absolutely true!

Anonymous said...

ප්‍රේමදාස ජේආර් වුන, චන්ද්‍රිකා ප්‍රේමදාස වුන, මහින්ද චන්ද්‍රිකා වුන, මෛත්‍රී මහින්ද වුන රටක් මේක.

එතකොට රනිල් බබා?!!! මාරයි!!!

Maharoof Imtiyad said...

Well said. Voters have been taken for a ride.

Maharoof Imtiyad said...

Well said. Public taken for a right royal ride.

dulan said...

More than anyone else it is MR who made the judicial system not viable in Sri Lanka.