13 January 2018

'මේවා මොන ජීවිත ද බං?'


කව්රු හරි කරන හෝ කරපු දෙයක් අල්ලාගෙන විවේචනය කරද්දී සමහර අය මේ වගේ ප්‍රශ්නයකින් කතාව ඉවර කරනවා: "මේ මොන ජීවිත ද බං?"  ප්‍රශ්ණය තුල නොකියන දේවල් තියෙනවා.  ප්‍රශ්ණය අසන්නා විවේචනය ට ලක්කරන පුද්ගලයට වඩා 'පොරක්'.  ජීවිතය කියන්නේ මොකද්ද කියල එයා දන්නවා.  ජීවත්වීම කියන්නේ මොකද්ද කියලත් එයා දන්නවා.  ඒ කියන්නේ 'මේවාත් ජීවිත බං?' කියන ප්‍රශ්නේ කාටවත් එයාගෙන් අහන්න බැහැ.  මොකද එයා පොරක්. ඇදයක් නැති පොරක්.  අඩුවක් නැති පොරක්.    එයාගෙන් ''මේවාත් ජීවිත බං?' කියල ඇහුවොත් අහන කෙනා මෝඩයෙක් වෙන්නම ඕනේ (එයා සහ වෙනත් අය හිතන විදිහට).  

මේ ලෝකේ වැඩිපුර ඉන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සු.  පෘතග්ජනයින් අඩුයි.  හැමෝම වගේ මාර්ග ඵල ලබාගෙන. හැමෝම වගේ ශාන්තුවරයෝ.  ඒ වුනාට මේ මාර්ගඵලලාබීන්, මේ ශාන්තුවරයින්, මාර්ගඵලලාබීන් නැත්තම් ශාන්තුවරයින් වෙන්නේ තමන්ට විතරයි.  සරලව කියනවා නම් 'මම පට්ටම පට්ටයි, මගේ ජීවිතය පට්ටම පට්ටයි, ඒ වුනාට මම වගේ නෙවෙයි අනිත් අය -- එයාල චාම චා, එයාල ගේ ජීවිතත් චාම චා....'     

ඇත්තම කතාව 'ජීවත් විය යුත්තේ කෙසේ ද?' කියන ප්‍රශ්නය ට නිශ්චිත උත්තරයක් නැහැ.  විවිධ දාර්ශනිකයින් ඒ ඒ දර්ශන වලට සාපේක්ෂව 'මෙය වේ ජීවත් විය යුතු විදිහ' කියල පෙන්නුවට, විවිධ නීති පද්ධති වලට අනුව 'මෙය වේ හරි දේ මෙය වැරදි වේ' කියල නිර්වචනය වුනාට, ඒ සියලු දේ එම මොහොතට, එම සමාජ ආර්ථික දේශපාලන වටපිටා වට, එම දර්ශනයට සාපේක්ෂ වෙනවා.

'අර්ථය' කියන දේ විවිධ අය විවිධ විදිහට ලබාගන්නවා.  අර්ථයක් ලබාගැනීමට නැත්තම් ජීවිතය අර්ථාන්විත කරගන්න (තමන් ට ගෝචර වන විදිහට) විවිධ දේ කරනවා. සමහර දේවල් නීත්‍යානුකූලයි.  සමහර දේවල් නීති විරෝධියි.  සමහර දේවල් වලට කවුරුත් වැරදි කියන්නේ නැහැ. වැඩිම වුනොත් 'මෝඩ වැඩක්' නැත්තම් 'මෝඩයෙක්' කියල කියයි ඒත් නීතිවිරෝධියි නැත්තම් සදාචාර විරෝධීයි කියල කියන්නේ නැහැ.  'චාම චා' කියන්නෙත් නැහැ. වෙනත් දේවල් වලට එහෙම කියනවා.  'මේවා මොන ජීවිතද බං?' කියලත් අහනවා.   

එක විදිහක් නැහැ.  විවිධයි. පොර ටෝක් අවශ්‍ය නැහැ.  අපි ජීවත්වෙන්නේ මාර්ගඵල ලබපු අයගෙන් පමණක් හැදුනු සමාජයක නෙවෙයි.  ශාන්තුවරුන්ගේ ප්‍රජාවක සාමාජිකයින් නෙවෙයි අපි.  ඒ වුනාට නිතරම 'මේවා මොන ජීවිත ද බං?' කියන ප්‍රශ්නය අපට ඇහෙනවා.  ඒ ප්‍රශ්නේ නොඅසා අසනවා අපට දැනෙනවා.     


ජීවිතය මෙයයි කියල කියන්න මට තේරෙන්නේ නැහැ.  ජීවත් විය යුත්තේ මෙහෙමයි කියල කියන්න මට තේරෙන්නේ නැහැ.  ඒත් 'මම මෙහෙමයි ජීවත් වෙන්නේ' කියල කියන්න පුළුවන් (විස්තර සමග).  එහෙම කියපු කවියෙක් අප අතරින් මීට සති කිහිපයකට පෙර නික්ම ගියා. කවියා ගේ නම ඉන්දික ගුණවර්ධන.  කවිය ට ඉන්දික දාපු හෙඩිම 'සිස්ටම් එකට එරෙහිව'.   මේකයි කවිය:
 

මකුළු දැල 
වෙනස් විදියට වියන 
මකුළුවෙක් වෙමි මම 

එහි සොඳුරු බව ම මිස 
එහි රැඳෙන 
ගොදුරු ගැන නොසිතන 
එහෙයින්ම 
අකාලේ මිය යන 

ඒ නමුදු 
නොතැවෙමින් 
සොඳුරු මරණය ගැන 
මකුළු දැල වෙනස් විදියට වියන
මකුළුවෙක් වෙමි මම... 

'සිස්ටම් එක' නැත්තම් 'ක්‍රමය' කියන දේ විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්.  එහෙම හිතනකොට මේක පට්ටම පට්ට දේශපාලනික කවියක්.  රැඩිකල් කවියක්.  ඒත් 'සිස්ටම් එක' එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්.  ' බලාපොරොත්තු නොවන විදිහට ජීවත් වීම' වර්ණනා කිරීමක් කියල කෙනෙක් ට කියන්න පුළුවන්.  තව කෙනෙක් කියයි 'ගොදුරු සොයා යන්න නියම කරන ක්‍රමවේදය ප්‍රතික්ෂේප කිරීමක් කියල.'  'ගොදුර' කියන එකත් එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන්.  'සොඳුරු බව' ත් එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. 

ඉන්දික යෝජනා කරන දේ හරියටම දන්නේ ඉන්දික.  දැන් ඉන්දික අප අතර නෑ.  ඒත් කවිය අයිති වෙන්නේ කියවන්නාට මිස කවියාට නෙවෙයි නම්, අපට කැමති විදිහට 'ගොදුරත්' 'ජීවිතයත්' අර්ථකථනය කරගන්න නිදහස තියෙනවා.  

සුන්දරත්වයට අගයක් යෝජනා වෙනවා කියල මට හිතෙනවා (සම්මතය කෙසේ වෙතත්).  මෙහෙම දේකුත් යෝජනා වෙනවා: කව්රු මොනවා කිව්වත් කල යුත්තේ තමන්ට රිසි දේ.  පොදුවේ, පුළුල් විදිහට ගත්තහම ජීවත් වෙන්න ක්‍රම දෙයක් තියෙනවා කියල මට හිතෙනවා.  'මේ විදිහට හිටු' කියලා කියන ලෝකයකින් 'මේවා මොන ජීවිතද බං?' වගේ අවලාද අහන්න අකමැති නිසා ඒ කියන විදිහට ජීවත් වීම එක විදිහක්.   ලෝකේ මොනවා කිව්වත්, බැන්නත්, අපහාස කෙරුවත්, 'මෝඩයා' කිව්වත්, 'මේවා මොන ජීවිත ද බං?' කියල ඇහුවත්, තමන්ට රිසි ආකාරයට ජීවත් වීම දෙවෙනි විදිහයි.  

හරි විදිහ මොකද්ද කියල මම කියන්නේ නැහැ.  එහෙම කියන්න මම දාර්ශනිකයෙක් නෙවෙයි.  වෙනස් වීම අනිවාර්යයෙන්ම සුන්දරයි කියල කියන්නෙත් නැහැ.  ඒ වුනාට වෙන කෙනෙක් ගේ ඇහැ පිනවනවට වඩා තමන් ට ම අවංක වෙන එක තුල මොකද්දෝ සුවඳක් තියෙනවා කියල හිතෙනවා මට.  

නදීක ගුරුගේ ගෙන් දවසක් ඔහු සමග වැඩමුළුවකට සහභාගී වුන පිරිසක් ඉල්ලීමක් කෙරුව: 'උයිරේ සින්දුව කියන්න.'  නදීක මෙහෙම උත්තරයක් දුන්න ලු:  'මම විඳින්නම්...උඹලා කැමතිනම් අහපල්ලා.' නදීක සින්දුව කිව්වේ නැහැ ලු.  ගිටාරය වාදනය කරමින් 'උයිරේ' තනුව විසිල් කෙරුව ලු. කතාව කියපු කෙනා කිව්වේ 'පුදුම ලස්සනයි' කියල.  අරමුණ වුනේ 'ලස්සන දෙයක් නිර්මාණය කිරීම' නෙවෙයි. විඳීම ම යි.  

නදීක කරෙත් මකුළු දැල වෙනත් විදිහකට වියපු එක.  නදීක දිහා බලල 'මොන ජීවිතයක් ද බං ඔය?' කියල කව්රුවත් කියන්නේ නැහැ.  ඒත් තමන් ට කැමති විදිහට තමන්ට විඳින්න පුළුවන් විදිහට ජීවිත තනුව මුමුණන බොහෝ අයගෙන් ඔය ප්‍රශ්නය අහනවා.  ඒකෙ මොකද්දෝ අවුලක් තියෙනවා කියල හිතෙනවා මට.

Reactions:

0 comments: