01 March 2018

රනිල් හරියටම හරි, එයාගේ දිව නම් බොරු කියන්නේ නෑ


(බය නැති) අගමැති වික්‍රමසිංහ අවුල් සහගත තත්ත්වයක් ඇතිවුනාම ඉමීඩියට්ලි කරන්නේ කමිටුවක් පත්කරන එක.  එජාපය තුලින් තමන්ගේ බලයට තර්ජන ඇති වුන හැම අවස්තාවකදීම  වාගේ රනිල් කෙරුවේ කමිටු පත්කරන එක. ඒවාට විවිධ නම් තිබුනට, විවිධ අය පත් කෙරුවට අවසානයේ වුනේ එකම දෙයයි: කිසිම දෙයක් නොවුන එක.

වැඩකරන ක්‍රමවේද අත්හරින්න හොඳ නෑ කියල න්‍යායක් තියෙනවා. ඒ ඔස්සේ ගියා වෙන්න ඇති.  කොහොම නමුත් රනිල් ලොක්කා සාගල රත්නායක නමට දාල තමන් ම පාලනය කරපු 'නීතිය හා සාමය අමාත්‍යාංශය' නිල වශයෙන් තමන්ගේ අතට ගත්ත ගමන් කමිටු එකක් නෙවෙයි තුනක් ම පත් කෙරුවා. 

එකක් අපරාධ යුක්තිය පිලිබඳ විශ්වවිද්‍යාලයක් සම්බන්ධව.  කරන්න තිබුනේ කබීර් හෂීම් ට කෙටි පණිවුඩයක් යවන එක විතරයි.  දැට්ස් ඕකේ. දෙවැන්න පොලීසියේ දේශපාලන පලිගැනීම් වලට අදාළ අභියාචනා ගැන.  19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ඇති ස්වාධීන පොලීස් කොමිසම ගැන එයාට අමතක වුනාද මන්ද.  දැට්ස් ඕල්සෝ ඕකේ.

තුන්වැන්න තමයි හොඳම එක. බට් ඉට්ස් නොට් ඕකේ.

 අග්‍රාමාත්‍ය කාර්‍යාලයෙන් නිකුත් කරපු මාධ්‍ය නිවේදනයක මෙන්න මෙහෙමයි කාරණය ලියල තිබුනේ:

"දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කරලීම සඳහා දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත්ක මිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් පත් කරන ලදී."

කියන්න හදන්න ඇත්තේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන්: 'මේවා නවත්තන්නේ කොහොමද කියල කල්පනා කරලා නිසි පියවර ගන්න  කමිටුවක්'.  'එරෙහි' කියන වචනය ඔය කොහාට හරි රිංගුවා නම් වැඩේ හරි.  ඒත් දැන් නම් කියවෙන්නේ වෙනත් විදිහකට.  මෙයාලගේ ඉතිහාසය නිසා වෙන්න ඕන.

නොකියා කියන දේ මේ විදිහට සාරාංශගත කරන්න පුළුවන්:

"දූෂණය සහ වංචාව විෂයෙහි අපට තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා.  මොන තරම් දූෂිත වුනත් වංචාකාරී වුනත්, අපට වැඩේ හරියට කරන්න බැරි වුනා. මීට වඩා කාර්යක්ෂමව කරන්න තිබුනා. මින් ඉදිරියටවත් පරණ වැරදි මගහරවාගෙන, පරණ මෝඩකම් නොකර, සුපිරි විදිහට වැඩේ දෙන්න ඕන. ආයෙත් අර මහේන්ද්‍රන්ලා, රවීලා, ඇලෝෂියස්ලා එක්ක අහුවෙන විදිහට වැඩ කරන්න බැහැ. අහුනොවන විදිහටයි කරන්න ඕන.  ඔය විෂයෙහි අනුගමනය කරන්න ඕන හොඳම විධික්‍රම ඔය මහත්තුරු ඩිවලප් කරන්න. ඒක ඔයාලටත්, ඔයාලගේ පවුල්වලටත්, විශේෂයෙන්ම පක්ෂයටත්, ඒ නිසා මටත් ගොඩක් වැදගත් වෙනවා!"

ඔන්න කටට කියන්න බැරිවුනඒත් දිව කොහොමහරි කිව්වා කතාව.       

0 comments: