මීට වසර 21 කට පමණ පෙර ආචාර්‍ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර ශාලාවේ මාක්ස්වාදය ගැන දේශනයක් පැවැත්වුවා. ඩෙස්මන්ඩ් කතා කෙරුවේ මාක්ස් ගේ ඊනියා මරණය ගැන. මාක්ස්ගේ ඝාතකයින් ගැන. ඩෙස්මන්ඩ්, කතාව තුල, 'ජාතික චින්තන' ගුරුකුලය විවේචනය කෙරුවා.
දේශනය අවසන් වුනාට පස්සේ ඩෙස්මන්ඩ්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා:
"ඇත්තටම මාක්ස්ව ලංකාව තුල ඝාතනය කරන්නේ කව්ද? ධනේශ්වර පක්ෂ එක්ක සභාග ආණ්ඩු ගහපු අය මාක්ස්ව මැරුවේ නැද්ද? කම්කරුවන්ගේ ඔළුගෙඩි වලට ගල්කටස් තියල 'ස්ට්‍රයික් කරපියව්' කියපු අය මාක්ස්ව ඝාතනය කෙරුවේ නැද්ද? 1940 දේ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කෙරුවට පස්සේ දයලෙක්තිකයට නැවතීමේ තිත තැබූ හතරවන ජාත්‍යාන්තරය මාක්ස්ව මැරුවේ නැද්ද?"
තුන්වෙනි ප්‍රශ්නය අහපු ගමන් මගේ ලඟින් වාඩි වෙලා හිටපු දර්ශන ලියනගේ වැලමිටෙන් මගේ ඉලයට ඇන්නා. දර්ශන ඒ කාලේ පේරාදෙණියේ සමාජවාදී සමානාත්මත පක්ෂයේ එකම සාමාජිකයා. ඒ තරම් රිදුනේ නැති නිසා, දර්ශන හිතවතෙක් නිසා ගණන් ගත්තේ නෑ.
ඩෙස්මන්ඩ් උත්තර දුන්නා. මුන්ලින් කෙටියෙන්, පසුව විස්තරාත්මකව: 'ඔව්, ඔව්, ඔව්!'
දර්ශන එක්ක මාක්ස්වාදය ගැන ඊට පෙරත් පසුවත් කතා කරලා තියෙනවා. ට්‍රොට්ස්කිගෙන් පසුව මාක්ස්වාදයේ න්‍යායන් වැඩි දියුණු කල අය ගැනත් අපි කතා කෙරුව. වෝල්ටර් බෙන්යාමින් වැනි අය ගැනත් කතා වුනා. දර්ශන මෙහෙම දෙයක් කිව්වා: 'ඉතිං මාලින්ද අයියේ බෙන්ජමින් හතරවන ජාත්‍යාන්තරය ආරක්ෂා කරලා තියෙනවනේ!'
ලොකු දෙයක් කියවුනා කියල පසුව මට හිතුනා. ඒ වගේ ම කතා බොස්ටන් නුවර මට මුණගැහුණු හතරවන ජාත්‍යාන්තරයට අයිතිවාසිකම් කියන විවිධ කණ්ඩායම් වල අය කියල තිබුන බව මට මතක් වුනා. කියවලා නැහැ, අහල තියෙනවා. හොඳක් කිව්වනම් අර දර්ශන කියපු දේ ට සමාන දෙයක් කියනවා, නැත්තම් ද්‍රෝහියා, ප්‍රතිගාමියා, පැබ්ලෝවාදියා, බන්ඩාවාදියා (මේ නම් කියන්නේ කුණුහරුපයෙන් බැන වදින ස්වරයෙන්), අධිරාජ්‍යවාදයේ ගැත්තා වගේ නම් වලින් බනිනවා.
ඒ නිසාම නෙවෙයි ලංකාවේ මාක්ස්වාදීන් ට '(අරික්)කාල් මාක්ස්වාදීන්' කියල කිව්වේ. ඇත්තටම අරික්කාලත් ලොකු වැඩියි කියල හිතෙනවා. දැන් මේ සටහනට නිමිති වුන කාරණය වෙත යොමු වෙමු.
මුහුණුපොතේ මෙහෙම සටහනක් දැක්කා: 'දුබලයාගේ - පරාජිතයාගේ අවසාන තුරුම්පුව නම් - ජාති වාදය සහා ආගම් වාදයයි. - (බුදු රජාණන් වහන්සේ)'. බුදුන් ඔයවගේ දෙයක් කියල නෑ මම දන්නා තරමින්. ඒ වුනාට 'වාද' ගැන 'අන්ත' ගැන බුදුන් පවසල තියෙනවා. කෙසේ වෙතත්18වන සියවසේ එංගලන්තයේ විසු සැමුවෙල් ජොන්සන් නම් මෙහෙම දෙයක් කියල තියෙනවා 'දේශප්‍රේමිත්වය යනු අධමයාගේ අවසාන රැකවරණයයි' (Patriotism is the last refuge of a scoundrel). මෙතන අදහස් වන්නේ 'ව්‍යාජ දේශප්‍රේමීන්/දේශප්‍රේමීත්වය බව ජොන්සන් ගේ සවිස්තර ලියැවිලි වලින් පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් සියලු දේශප්‍රේමීන් එක ගොඩකට දාල ගහන්න හොඳ පාඨයක් ඒක, අප සුලබව දකින, අසන.
සටහන නම් අපූරුයි. හාස්‍යජනකයි. ඉතින් ඒ පිලිබඳ ව සිනාසෙන අතර මට මෙහෙම දෙයක් මතක් වුනා. අසූව දශකයේ අග භාගයේ දී විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඇලවුන බොහෝ පෝස්ටර් අතර ලෙනින්ගේ, මාක්ස්ගේ කතාවලින්, කෘති වලින් උපුටා ගත්තයි කියන සටන්පාඨත් තිබුනා. මොනවා හරි ලියල දාල කෙලවරට 'වී. අයි. ලෙනින්' නැත්තම් 'කාල් මාක්ස්' කියල දානවා. ඒවා සියල්ලම ඒ වකවානුවේ ජවිපෙ දරපු මතවාදය, ජවිපෙ දේශපාලනයට ගැලපුනා. ඒවා ඇත්තටම මාක්ස් නැත්තම් ලෙනින් නැත්තම් චේ නැත්තම් ෆිදෙල් කියපුවා කියල හිතපු අයත් ඉන්න ඇති. මට හිතුනේ ලියපු කෙනා කව්රු වුනත් මාක්ස්, ලෙනින් විතරක් නෙවෙයි විජේවීරවත් කියවල නැති අය වෙන්න ඕන කියලයි. එක්කෝ ඒ කිසි දෙයක් අදාළ නොවුන කෙනෙක් වෙන්න ඕන කියල හිතුන.
මුහුණු පොතේ සටහන තුල ලොකු අර්ථයක් තියෙනවා, අර්ධ සත්‍යයක් වුනාට (බුදුන් කිව්වා කියන එක අමතක කරලයි එහෙම කිව්වේ). ජාතිවාදය සහ ආගම්වාදය තුල ලැගුම් ගන්න දුබලයෝ සහ පරාජිතයෝ ඇති තරම් ඉන්නවා. ඒ වගේම සියලු දුබලන්ගේ සහ පරාජිතන්ගේ අවසාන තුරුම්පුව නැත්තම් අවසාන රැකවරණය ආගම්වාදය හෝ ජාතිවාදය විය යුතුමයි කියල මම හිතන්නේත් නැහැ.
ඉතින් මම මෙහෙම සටහනක් මුහුණු පොතේ තැබුවා: "මාක්ස්වාදී දුබලයාගේ - පරාජිතයාගේ අවසාන තුරුම්පුව නම් පන්සලට සිවුරට නෙලීම . - (කාල් මාක්ස්)"
මේක ටිකක් සීරියස් ඇරගෙන විදර්ශන කන්නන්ගර මෙහෙම ලියල තියෙනවා: 'බොරුවෙන්ම තමයි මෙයාගෙ චරිතය වැඩකරන්නෙ.' තර්කයේ අඩුපාඩු කුණුහරුපයෙන් පුරවන ඒ හරහා විනෝදාස්වාදයක් ලබාදෙන ('අනේ වමට වෙච්ච දේ!' වැනි සිතුවිලි සිහියට නගන බැවින්) විදර්ශන වගේ අය ට විහිළු විතරක් නෙවෙයි තේරෙන්නේ නැත්තේ.
නැවත යමු මාක්ස්වාදී අධමයාගේ භූමිකාව වෙත.
අමල් පෙරේරා ගේ අලුත් සින්දුවක් (විරාග රාග) එළිදක්වන උත්සවයේ අපූරු දෙයක් සිද්ධ වුනා. උපුල් ශාන්ත සන්නස්ගල කතා කරන අතර නිවේදකතුමා ඔහුව මොහොතකට නැවැත්තුවා.
'පාරේ එහා පැත්තේ පන්සල ඇතුලේ වාහන නවත්තලා තියෙන අය ඒවා ඉවත් කරන්න....පන්සලේ ගේට්ටුව 9 ට වහනවා.'
සන්නා ආයෙත් කතාව පටන් ගත්තා. අසුන්ගෙන සිටි හිමි නමක් ආමන්ත්‍රණය කරමින් සන්නා මෙහෙම කිව්වා: 'කවදද හාමුදුරුවනේ පන්සලේ ගේට්ටු වැහුවේ?'
අවසානයේ, සින්දුව ලියූ බන්දුල නානායක්කාරවසම් ගේ ඉල්ලීම මත එම පදරචනය ඉංග්‍රීසියට පරිවර්තනය කරපු මටත් විනාඩියක් කතා කරන්න ලැබුන. මෙන්න ඒ කතාවේ පළමු තප්පර 20....ඉතුරු තප්පර 20 ආදරය ගැන (මෙතෙන්ට අදාළ නැත):
"පූජාවට විතරක් අරින පල්ලි බොහොමයක් දැකල තියෙනවා බ්‍රිතාන්‍යයේ. පන්සලට සිවුරට ගහන ගැහිල්ල ගැන හිතනකොට 9 වෙනකල් හරි පන්සල් වල ගේට්ටු ඇරලා තියෙන එකම ලොකු දෙයක්.'
සන්නට ඒක ඇහුනේ නෑ මට හිතෙන්නේ. පිටත් වෙන ගමන් වෙනදා වගේම සුහදව 'හමු වෙමු මචං' කියල මට කිව්වා. 'හමුවෙමු' කියල මමත් කිව්වා.
සන්නා මාක්ස්වාදියෙක් කියනව නෙවෙයි මේ. මාක්ස්වාදීන් විතරක් නෙවෙයි සිවුරටයි පන්සලටයි ගහන්නේ. සන්නාට නම් මාක්ස්වාදී විප්ලව කරන්න අවශ්‍යතාවයක් නැහැ වගේ. ප්‍රශ්නේ තියෙන්නේ මාක්ස්වාදීන් ට වගේම 'අපි වම්මු' කියන අයටත් විප්ලව කරන්න අවශ්‍ය නැති එකයි. 'පන්ති හතුරා' සමහරුන්ගේ ගජ මිතුරෙක් වෙනවා. පොදු සතුරා වෙන්නේ පන්සලයි සිවුරයි. ගලබොඩඇත්තේ ඥානසාර හිමිට ගහද්දි සියළු බෞද්ධයින්ට, භික්ෂුන් වහන්සේලාට ගහනවා.
(විදර්ශන නම් ඔය හැම දෙයක් ම කරන අතරේ පන්ති හතුරා ට එරෙහි වෙනවා. පන්ති හතුරා එක්ක පාටි දාන බවකුත් පෙනෙන්නේ නැහැ. සමාජවාදී සමානාත්මතා පක්ෂයේ අයත් ඒ වගේමයි. එකත් සඳහන් කරන්න ඕන).
මීට අවුරුදු 15කට විතර පෙර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මට මෙහෙම දෙයක් කිව්වා (ඉංග්‍රීසියෙන්): 'ඔයාගේ ලිපි කියවන්නේ භාෂා විලාසයට මිස අන්තර්ගතයට නෙවෙයි.' මම හිනාවෙලා මෙහෙම කිව්වා: 'ඒත් ඔය වාමාංශිකයින් කියන අයට පන්තිය, පන්ති සටන, ධනවාදය වගේ දේවල් අමතක වෙලා....මම නම් ඒවා ගැන තවම ලියනවා.' 'ඔව්, මම දන්නවා...ඒ ගැන සතුටු වෙනවා,' කාලෝ එහෙම කිව්වා.
ඕක තමයි කාරණය. ලංකාවේ බොහෝ මාක්ස්වාදීන් ට පන්තිය අමතක වෙලා. විප්ලවය අමතක වෙලා. ධනවාදය වගේම ධනපති පන්තිය ද අමතක වෙලා. නෑ, අමතක වෙලා නැහැ, ඒත් පෙනෙන විදිහට ඔය විෂය බරපතල වැඩි නිසා අතහැරලා වගේ. ඒ වුනාට 'වාමාංශික' නැත්තම් 'මාක්ස්වාදී' ලේබලය අතහරින්න ලෝබ ඇති. ඉතින් ලේබලයේ ලයිසන් එක තියා ගන්න මාක්ස්වාදී/වාමාංශික ප්‍රොජෙක්ට් එකේ අවශේෂ කාරණා බදා ගන්නවා; ජාතිය, ආගම වගේ. එතෙනදීත් තෝරලා බේරලා තමයි පහර දෙන්නේ. සොෆ්ට් ටාගට්.
"පන්සල සහ සිවුර ඕකේ ටු අටෑක්, බට් කීප් ද පල්ලිය සේෆ්. ඕකේ ටු අටෑක් සේරම සිංහලීස් (ජාතිවාදී සහ ජාතිවාදී නොවන) බට් ලෙට්ස් ප්‍රමෝට් අනිත් ජාතීන් සහ ජාතිවාදීන්."
ඔන්න ඔය වගේ තමයි වැඩ සිද්ධ වෙන්නේ. එක්කෝ ජාතිය, නැත්තම් ආගම, නැත්තම් මානව හිමිකම්, නැත්තම් සංහිඳියාව, නැත්තම් පරිසරය, නැත්තම් කාන්තා අයිතිය, නැත්තම් LGBT. එනිතිං බට් කැපිටලිසම්.
"මාක්ස්වාදී දුබලයාගේ - පරාජිතයාගේ අවසාන තුරුම්පුව නම් පන්සලට සිවුරට නෙලීම . - (කාල් මාක්ස්)". මෙහෙම ලිව්වේ විහිළුවට වගේ. සැ.යු: මේ කියන්නේ මාක්ස්වාදී අධමයින් ගැන. ඔය මාක්ස්වාදී කුලය තුල අධමයින් බහුතරය වීම මට නම් ප්‍රශ්නයක් නෙවෙයි. එයාලට ප්‍රශ්නයක් නොවීම නම් හාස්‍යජනකයි.
0 comments:
Post a Comment