29 March 2018

යහපාලන බෝල-සෙල්ලම ට වගකියන්න ඕනේ 'නායකත්ව කණ්ඩායම'


ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවන්, පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ඉන්නවා. කඩුලු රකින්නෙකුත් හැම කණ්ඩායමේ ම ඉන්නවා.  නායකයෙක්, උප නායකයෙක් වගේම පුහුණුකරුවෙකුත් ඉන්නවා.  ඒත් 'නායකත්ව කණ්ඩායමක්' ගැන අහන්න වුනේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පන්දුවේ හැඩය වෙනස් කරන්න ගිහින් මාට්ටු වුනාට පසුවයි. නායක ස්ටීව් ස්මිත් මාධ්‍යවේදීන් අමතමින් මේ නොමනා වැඩේ වගකීම 'නායකත්ව කණ්ඩායම බාර ගන්නවා' කියල කිව්වා. අවසානයේ ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් යන අයට දඬුවම් විඳින්න වුනා.  පුහුණුකරු ඩැරන් ලීමන් බේරුනා. 

එතන තිබුනේ පන්දුවක්. මෙතන තියෙන්නේ බැඳුම්කර නිකුතුවක්. එතන වැඩේ වැරදුනා ඒත් තරඟයට බලපෑවේ නැහැ. මෙතැනත් වැඩේ වැරදුනා. සමහරු දැවැන්ත ලාබ ලබාගත්තා. රටට, ජනතාවට දැවැන්ත පාඩු විඳින්න වුනා. එතන දඬුවම්, මෙතන නඩු.  එතනත් මෙතනත් නායකයින්. එතන නායකත්ව කණ්ඩායමක්. මෙතන එහෙම එකක් නැහැ.

ඒ කෙසේ වෙතත් මෙතන 'නායකයෙක්' ඉන්නවා. අපේ ස්ටීව් ස්මිත් මොනවාද කෙරුවේ? එයා තමයි වැරදිකරුවන් වැරදි කරන්න පුළුවන් තනතුරු වලට දැම්මේ. එයා තමයි 'මේ අය මාරයි' කියල කිව්වේ. එයාම තමයි එයාලව ආරක්ෂා කෙරුවේ. එයත් හවුල් වුනා කෝප් වාර්තාව යටගහන්න (පාර්ලිමේන්තුව විසුරුවලා). දෙවැනි කෝප් වාර්තාවේ සමහර කොටස් කපල දාන්නත් හවුල් වුනා. මගඩියෙන් උපයාගත්ත සල්ලි වලින් කොටසක් පක්ෂයේ මැතිවරණ වැඩ වලට දුන්නද නැද්ද කියල අපි දන්නේ නැහැ. ඒත් පක්ෂ මූලස්ථානයේ ලයිට් බිල ගෙවන්නවත් සල්ලි නොතිබුන පක්ෂයක් කෝටි ගානක් ප්‍රචාරණ කටයුතු වලට යොදවන්න පුළුවන් වුනා.  මේවා ප්‍රශ්ණ, උත්තර ලැබෙන්නේ නැති. 

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බාරව කටයුතු කරන අය කියන්නේ මේ සියලු දේ ට අදාළ වන 'සංස්කෘතියක්' තිබුන කියලයි. ඇත්ත වෙන්න ඇති. මෙහෙත් එහෙමයි. සංස්කෘතිය කෙසේ වෙතත් ආයතනික පද්ධතිය දුර්වල නම් ඒ ගැන උනන්දු වෙන්න ඕන.  එහෙම උනන්දුවක් නම් තිබුනේ නැහැ. තිබුන සිදුරු වලින් රිංගල ගියා. එච්චරයි.  කව්ද මේවට වගකියන්නේ? හ්ම්ම්....මට හිතෙන්නේ 'නායකත්ව කණ්ඩායම' ම තමයි. 'නායකයා' කිව්වත් වැරදි නැහැ.   

2 comments:

සෙන්නා said...

ස්ටීව්ලා මොන ලපටියොද? උන් නායකත්ව කණ්ඩායමක් හදනකොට අපි "නායකත්ව පරපුරක්ම" හදලා ඉවරයි. ඒකෙ නායකයා පරපුරක් නැති එකෙක්.. හැබැයි අවුලකට තියෙන්නේ වගකීම ගන්න, දඬුවම් විඳින් එකෙක් නැති එක. ප්‍රශ්ණයක් නෑ, ඒකට කෝටි දෙකක්ම ඉන්නවනේ....

Anonymous said...

ඇත්ත. මේ මොන නිවට නායකයොද..? රට හදන්න කිසිම උවමනාවක් නැහැ..තමන්ගෙ බලය සදහා විතරයි මේ අය වෙහෙසෙන්නෙ.. මහින්ද,රනිල්, මෛත්‍රි,අනුර මේ හැමෝම එහෙමයි... මහතීර් මොහොමඩ්, ලි ක්වාන්යු, නෙල්සන් මැන්ඩෙලා, Deng Xiao Peng, Vladimir Putin වගේ රටට ආදරේ කරන නායකයො කවදා මේ රටට ලැබෙයිද? හරි නායකයෙක් ආවොත් අවුරුද්දෙන් මේ රට ගොඩ දාන්න පුළුවන්...