02 August 2019

ටෙප්ලිස් නෝනාගේ හදිස්සිය ඉඟි කරන දේශපාලනයේ හෙට දින

කාලා යන්නයි ඇවිත් ඉන්නේ මචෝ 
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති අලෙයිනා ටෙප්ලිස් මහත්මිය කලබල වී ඇත. එතුමිය ජනපති මෛත්‍රිපාල සිරිසේන, අතිගරු, වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ මිලෙන්නියම් චැලේන්ජ් කෝපරේෂන් කම්පක්ට් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මෙදිහත් වන ලෙසයි.

ගිවිසුම හොඳයි ලු. විනිවිදභාවයෙන් අඩුවක් නැතිලු.  සකස් කර ඇත්තේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට සෞභාග්‍යය උදා කිරීමට ලු. නොකියා කියන්නේ ජනපතිතුමාට මේ කිසිවක් අවබෝධ නොවුණු බවයි.

කියන තරම් විනිවිදභාවයක් තිබේ නම් මේ ගිවිසුම් තුන පිළිබඳව සාකච්ඡා පදනම් වන කෙටුම්පත් ජනතාව හමුවට නොගෙනෙන්නේ ඇයි? ගිවිසුමට විරුද්ධ අය ගිවිසුම් කියවා නැති බව සඳහන් කරමින් ඔවුනට බැන වදින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු ගිවිසුම් කියවා තිබේද? නොඑසේ නම් ගිවිසුම් 'හොඳයි' කියන්නේ කෙසේද?

මේ තත්ත්වය හමුවේ ගිවිසුම් ගැන සිතිය යුත්තේ එජාපය සහ ඇමරිකාව යන පාර්ශව දෙකේ ඉතිහාසය සලකා බැලීමෙනි. බලයේ සිටින විට හොර ගිවිසුම් වලට ප්‍රසිද්ධ පක්ෂකයි එජාපය. බොහෝ විට කැබිනට් ඇමතිවරුන්ට  පවා ඇතැම් කෙටුම්පත් කියවීමට අවස්ථාවක් නොදී ඒවා අත්සන් කර ඇත. ඇමරිකාව යනු සිය ආයුධ සහ මුදල් බලය මෙහෙයවා ලොව පුරා යුද්ධ නිර්මාණය කරන, සම්පත් මංකොල්ලකන, රටවල් විනාශ කරන, ඒ සියලු දේ හරහා වෙළඳපොළවල් නිර්මාණය කොට ආරක්ෂා කරන රටකි. ඇමරිකාවේ ආදරය යනු මේ කාරණා වලින් කියවෙන කෑදරකමයි.    

ටෙප්ලිස් මැතිනිය හදිස්සියේ ජනපතිගේ අනවබෝධය ගැන කම්පා වී ඔහුව අන්ධකාරයෙන් ආලෝකයට, ස්වප්නයෙන් යතාර්තයට, අසත්‍යයෙන් සත්‍යයට ගෙනෙන්න වෙර දරන්නේ ඇයි? මෙය අප කල්පනා කල යුතු වේ.

රටවල් වෙන රටවල් වලට ආදරේ නැත. රටවල් අතර ගනුදෙනු සිදිවන්නේ ඒ ඒ රටෙහි ආර්ථික, දේශපාලන සහ උපායික උවමනාවන් සාක්ෂාත් කර ගැනීමට යි. කෙසේ වෙතත් ඇමරිකාවේ ආදරය මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සම්මුතිය හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීයභාවයටත් ආත්ම ගරුත්වයටත් කල හානියෙන් මොනවට පැහැදිලි වී ඇත. ඒ කාරණයට යහපාලන ආණ්ඩුව ස්වකැමැත්තෙන් සම්මාදම් වූ බව ද සඳහන් කල යුතුයි. වෙන රටවල් වල ඒජන්තයින් ලෙස කටයුතු කරන ඇමතිවරු සිටින බවත්, වෙන රටවල් හමුවේ නිවටකම් පෑමට සූදානම් රජයන් තිබෙන බවත් අමතක නොකළ යුතුයි.

ඉතින් මෙලෙස, මේ තරම් හිතේ අමාරුවක් ඇතිව, මේ තරම් කලබලයකින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ආදරය ප්‍රකාශ කරන්න ඇයට සිතුනේ ඇයි?

මීට දින කිහිපයකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීතීඥ සංගමයේ සභාපති ඇතුළු පිරිසක් හමුවී කියා සිටියී ඇමරිකා එක්සත් ජනපදය සමග කිසිම ගිවිසුමක් (සෝෆා සහ ඇක්සා ගිවිසුම්) මේ වසර තුල අත්සන් නොකරන බවයි. එනම් අත්සන් කරනවා නම් එය සිදුවන්නේ 2020 ජනවාරි 1දාට පසුවයි.  තව මාස පහයි. ටෙප්ලිස් මැතිනියට එතෙක් ඉවසන්න බැරි ඇයි? ඇයත් ඇමරිකාවත් ශ්‍රී ලංකාවට ඒ තරම්ම ආදරේ ද?

ආදරේ නැත. දේශපාලන චලනය ගැන යම් බියක් සැකයක් ඇතැයි අනුමාන කල හැක. මන්ද ජනවාරි 1 දා වනවිට ඇමරිකාවට ගැති, ඇමරිකාවේ අනසකට අවනත වීමට සෑදී පැහැදී සිටින යහපාලන ආණ්ඩුව බලයේ සිටියි ද නැතිද යන්න පිළිබඳව අවදානමක් ඇයට දැනුනා විය හැක.  ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිලිබඳ ඉඟියකි ඇය නොපවසා පවසා සිටින්නේ.

ජනවාරි 1 දා වන විට යහපාලකයින් පරාජය වී තිබුනත් එය අස්වැසිල්ලක් මිස ජයග්‍රහණයක් නොවන බවද මතක තබා ගත යුතුයි.  ඒ වන විට බලයේ සිටින පාර්ශවයන් යහපාලකයින් තරම්ම දීන නොවනු යැයි සිතිය නොහැක. හැත්තෑ වසරක දේශපාලන ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු පාඩම එය වේ.

මීට වසර 25කට පෙර ඇමරිකාවේ තානාපති තුමිය තෙරෙසිටා ශාෆර් මහත්මිය කියා සිටියේ 'තොපලාගේ ආහාර සුරක්ෂිතභාවය පිහිටා ඇත්තේ උතුරු ඇමරිකාවේ තිරිඟු යායන් වලයි' කියාය. ලංකාව කෙරෙහි ඇයට තිබුණු ආදරයක් නැත. ඇමරිකාවේ උවමනාවන් වෙනුවෙන් ම ඇය පෙනී සිටියාය. එහි වරදක් නැත. වරද ඇත්තේ ඇමරිකාවේ උවමනාවන් වලට ඇමරිකාවේ උවමනාවටම ලංකාවේ අවශ්‍යතාවයන් පාවා දීමයි. ටෙප්ලිස් මැතිනිය බිය වී ඇත්තේ ඇයට ඇයගේ රාජකාරිය කර ගැනීමට බැරි වෙතැයි සිතා ය. එනම් දේශපාලන විපර්යාසයක් ඇති වේ යැයි ඇය සිතන්නීය. නිගමනය කල හැක්කේ එය වේ.


1 comments:

සෙන්නා said...

හොඳ ඉඟියක්නෙ ඒ නෝනා දීලා තියෙන්නෙ.. :D