26 February 2023

රනිල් ටියුෂන් ගන්නේ කාගෙන්ද?


වෘත්තීය සමිති කියන විදිහට රට පාලනය කරන්න බැරි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පහුගියදා පැවසුවා. රනිල් හරි. ජනාධිපති බැඳිලා නැහැ වෘත්තීය සමිති කියන විදිහට කිසිම දෙයක් කරන්න.  ඒත් රනිල් නොකියපු දෙයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් රනිල්ගෙන් අහපු නැති දෙයකුත් තියෙනවා. මේකයි ප්‍රශ්නේ: 'රනිල්, ඔයා කවුරු කියන විදිහටද රට පාලනය කරන්නේ?  

ජනතාව කියන විදිහටද? එහෙමනම් ඉතින් ජනතා නියෝජිතයින්, ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, කියන විදිහටනේ කරන්න ඕන. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාමික ජනවරමක් තියෙනවා, ඒක ඇත්ත. ඒ වුනාට පහුගිය මාස 12 තුල ඇතිවූ දේශපාලන විපර්යාස වලින් ගම්‍ය වෙන්නේ ඒ ජනවරම (අඩුම තරමින්) පලුදු වෙලා කියලයි. හේදිලා ගිහින් කියල කියන්නත් පුළුවන්, ඒත් ඒ බව මැතිවරණයකින් මෙහා කිසිම දෙයකින් හරියටම සනාථ කරන්න බෑ. අනික රනිල් කවද්ද මන්ත්‍රීලගේ අදහස් විමසුවේ, නේද?

කෙසේ වෙතත්, තමන්ට ජන වරමක් නැති බව රනිල්ට පවා පිළිගන්න වෙනවා. 1978 ව්‍යවස්ථාව ප්‍රකාරව විධායකය සතු බලතල සලකා බලද්දී, මේ ජනවරමක් නොමැති ජනාධිපතිට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති මුත් දේශපාලනිකව අප්‍රාණික වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු අවනත විය යුතු වේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. මෙය නොයෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියක්ම වේ.

නැවත මුල් ප්‍රශ්නය වෙත යමු. 'රනිල් කවුරු කියන විදිහටද රට පාලනය කරන්නේ?'

තමන්ගේ හිතු මතේට ද?  වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ වචන පාවිච්චි කරන එක රනිල් වහාම නැවැත්විය යුතුයි. රනිල් තමන්ට ඕන දේ කරනවා කියන එක භයානකයි, මන්ද ඒ සියල්ල පදනම් වෙන්නේ රනිල්ගේ ඕන එපාකම් අනුවයි. ඉතින් මොන කරණමක් ගහල හෝ බලයේ සිටීමට රනිල්ට අවශ්‍යනම් කරණම් කෝටියක් වුනත් ගහයි. ඒ එයාගේ අවශ්‍යතාවයන් සාක්ෂාත් කරගන්න. රනිල්ට රට අවශ්‍ය නැත්තම් රට විකුණන වැඩපිළිවෙලකට වුනත් ප්‍රවේශ වෙන්න බැරි නෑ. දැනටමත් ඒ පාර දිගේ රනිල් සෑහෙන්න දුරක් ගිහින් බව පැහැදිළියි.

හිතුමතේට වැඩ කරන අය තමන්ට කැමති ගුරුවරුන්ගෙන් ටියුෂන් ගැනීම සාමාන්‍යයි. ටියුෂන් ගුරුවරු නෙවෙයි, 'අඩෝ මෙහෙම කරපිය' කියල ගෝලීය හෝ කලාපීය බලවතෙක් කියනවනම් ජනතා මතය නොවිමසා එයාලට අවනත වෙන්න පුළුවන්. හිතුමතේට. දීන, අඥාන, තක්කඩි නායකයිගේ සිරිත මෙය වේ.  

රනිල්ගේ යාළුවෝ කවුද? රනිල් බය කාටද? මේවට උත්තර දෙන්න වෙන්නේ රනිල්ටම තමයි. ඉතින් අපිට ඉතුරු වෙන්නේ පුද්ගලයින් සහ රටවල් සඳහන් කරලා, 'රනිල් ඔයා මෙයාලගෙන්ද ටියුෂන් ගන්නේ, රනිල් ඔයා මෙයාලටද බය?' කියල අහන එක විතරයි.

රනිල් අවවාද උපදෙස් ගන්නේ මෛත්‍රී වික්‍රමසිංහගෙන් ද? එදා මෙදා තුර සෙවනැල්ලක් සේ තමා ලඟින්ම සිටින සාගල රත්නායකගෙන්ද? මලික් සමරවික්රමගෙන්ද? අඛිල විරාජ් කාරියවසම්ගෙන්ද? එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද (එහෙම එකක් තියෙනවද, තියෙනවනම් පක්සහය සජිත්ගේ සමගි ජන බලවේගයට හේදිලා ගියාට පස්සේ කවුද ඉතුරුවෙලා ඉන්නේ වගේ ප්‍රශ්න නැතුව නොවේ)? ජනාධිපති ලේකම්ගෙන්ද? අර්ජුන මහේන්ද්‍රන්ගෙන්ද? 'ගොටාගොගම' හා අනන්‍ය වූ හැමෝගෙම වෛරයට ලක් වුනු බැසිල් රාජපක්ෂගෙන්ද? මහින්දගෙන්ද? නාමල්ගෙන්ද? චන්ද්‍රිකාගෙන්ද? ධම්මික පෙරේරාගෙන්ද? ඩඩ්ලි සිරිසේනගෙන්ද?

රනිල්ට රට පාලනය ගැන ටියුෂන් දෙන්නේ බන්දුල ගුණවර්ධනද? සන්නස්ගල සර්ද? සුමේධ සර්ද? සාරදා මැඩම්ද? රට පුරා ටියුෂන් කඩවල උපකාරක පංති පවත්වන ගුරුවරුන්ගෙන් සැදුම්ලත් උපකාරක සභාවක අධ්‍යක්ෂ මණ්ඩලයද රනිල්ද රට පාලනයේ අයන්න ආයන්න කයල දෙන්නේ?

රනිල් අවවාද උපදෙස් ගන්නේ සාලිය පීරිස්ගෙන්වත්ද? මැල්කම් රන්ජිත් කාදිනල්තුමාගෙන්ද? පාස්ටර් ජෙරෝම්ගෙන්වත්ද? ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද? රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයෙන්ද? මහින්ද තරම්ම ලෙන්ගතු වූ අනුර කුමාර දිසානායකගෙන්ද?සජිත්ගේ ඊර්ශියාවට හෝ වෛරයට හෝ දෙකටම ලක්ව සමගි ජන බලවේගයෙන් ඉවත් වූ චම්පික රණවකගෙන්ද? කවදත් එක්සත් ජාතික පක්ෂයට ආදරේ කරන ජාතියක් ජන්මයක් නැති, සිංහලයාට සහ සිංහලත්වයට, බෞද්ධයාට සහ බුද්ධාගමට ගැරහීම හුස්ම ගැනීම හා සමාන දෙයක් ලෙස සලකන කොලොම්බියානුවන්ගෙන්ද? සංයුතිය හංගලා බහු ආගමික බහු ජාතික වගේ සූත්තර දෙඩවීම ජීවිකාව කරගත් එනජීඕ මාෆියාවෙනද? ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, එය හසුරවන අය සහ අදාළ දේශපාලන ආර්ථිකයන් ගැන මෙලෝ දෙයක් නොදන්නා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලොක්කන්ගෙන්ද? කාගෙන්ද?  

අරක විකුනපන් මේක විකුනපන් යනාදී නියෝග පනවන ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත සර්වට් ජහාන්ගෙන්ද රනිල් උපදෙස් ගන්නේ? එයාද රනිල්ගේ ලොකු ඉස්කෝලේ මහත්තයා? නැත්තම් ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව කළමනාකරණය කිරීම සඳහා පත් කර ඇති චියෝ කන්ඩාගෙන්ද මේ දවස්වල රනිල් රට පාලනය ඉගෙන ගන්නේ? බැන් කි-මූන්ගෙන්ද? යැස්මින් සූකාගෙන්ද? දරුස්මාන්ගෙන්ද?  එරික් සෝල්හයිම්ගෙන් ද? වික්ටෝරියා නියුලන්ඩ්ගෙන්ද? පාස්කරලින්ගම්ගෙන්ද?

බ්‍රිතාන්‍ය තානාපතිනිය සේරා හුල්ටන් රනිල්ටම මේ විෂය ගැන කියල දෙනවද? එහෙම නැත්තම් යුරෝපා සංගමය නියෝජනය කරන ඩෙනිස් චයිබි සර් රනිල්ට උගන්නනවද 'වයිල් හැවින් කෝපි'? එහෙමත් නැත්තම් රනිල් කියන්නේ ඇමරිකාවට ඕන විදිහට නටන රූකඩයෙක්ද? ඒ කියන්නේ ටියුෂන් අවශ්‍ය නෑ, අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව පාලනය කරන්න ජෝ බයිඩන් පත් කර ඇති ජූලි චුං කියන දේවල් තමන්ගේ අදහස් වගේ කියන්න බැඳිලා ඉන්න වහලෙක්ද?  

වෘත්තීය සමිති කියන කියන විදිහට නටන්න බැරි බව ඇත්ත. ඔවුන්ට සවන් දෙනවා මිස ඔවුන් කියන විදිහට රට පාලනය කිරීමට මොන නායකයෙක්වත් බැඳිලා නැත. ඇත්ත. රනිල් හරි. මුල් ප්‍රශ්නේ තවමත් ඉතුරු වී ඇත:

'රනිල් වික්‍රමසිංහ ට රට පාලනය ගැන අවවාද උපදෙස් දෙන්නේ කවුද හැබැටම?'

 





0 comments: